[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ නවම් පෝදා

නවම් මහේ එළඹෙන නවම් පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයෙහි ලා සදානුස්මරණීය සිදුවීම් සතරකට මුල් වූ දිනයකි. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහොය දිනෙක සිදුවී තිබේ. බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව දලු ලා වැඩුණු වෘක්ෂයක් සේ බබළන්නට විය. විවිධ දර්ශනවාද පිළිගනිමින් සත්‍ය ගවේෂණයෙහි යෙදී සිට පසුව බුදු සමය කෙරෙහි පැහැදී යථාර්ථය අවබෝධ කර ගැනීම් වස් පැවිදි වූ නා නා වර්ගික භික්ෂූන් වහන්සේගෙන් සංඝ සමාජය ජනාකීර්ණ තත්ත්වයකට පත් කෙරිණි. මෙසේ සකස් වූ භික්ෂු සමාජය පළමුවරට එක්රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ නවම් පුර පසළොස්වක පොහොය දිනෙක දී ය. උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිල භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ දහසක භික්ෂු පිරිස ද, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රමුඛ දෙසීය පනහක භික්ෂු පිරිස ද යන 1250ක් වූ මහා සංඝ සන්නිපාතයකින් එදා රජගහනුවර වේළුවනාරාමය බබළන්නට විය. තාරකා පිරිවරාගත් පුන්සඳ මඬල සේ එම රහතන් වහන්සේ මැද බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සේක. ප්‍රථම සංඝ සම්මේලනයේ දී භික්ෂු සමාජයේ අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදු වුණි. මෙහිදී සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේ දෙනම පිළිවෙළින් දකුණත් සව්, වමත් සව් වශයෙන් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කෙරිණි. මේ සමඟ ම සැරියුත් තෙරණුවන් ප්‍රඥාවන්තයින් අතර ද, මුගලන් තෙරණුවන් සෘද්ධිමතුන් අතර ද අග්‍රස්ථානයට පත් කරමින් සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ කෙරිණි. මෙයින් බුදුරදුන් අපේක්ෂා කළේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ක්‍රියා කළ හැකි විශේෂ පුද්ගලයින් සකස් කිරීමයි.


නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]