[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසුනඹරට පෑයූ සුපුන් සඳ දෙබත්ගම සෝමරතන අනු නාහිමිපාණන් වහන්සේ

සසුනඹරට පෑයූ සුපුන් සඳ දෙබත්ගම සෝමරතන අනු නාහිමිපාණන් වහන්සේ

දෙබත්ගම උඩබාගේ වැදගත් කුල පරපුරකින් පැවත එන ඩී.එස්. නුවරපක්ෂ හා ඩී.කේ. නුවරපක්ෂ යන දම්පතීන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රරත්නය වූ මුන් වහන්සේ ජන්ම දායාදය ලද්දේ 1937 මැයි මස 22 දින දී ය.

එස්. ප්‍රේමදාස නුවරපක්ෂ යන නමින් හැඳින්වූ මෙම කුල කුමරුවා නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු දෙබත්ගම කනිටු විදුහලට ඇතුළත් ව මූලික අධ්‍යාපනය ලැබුවේ ය. මෙම කුල කුමරුට අවුරුදු 11 පමණ වන විට දෙබත්ගම රතනජෝති නායක සමිඳුන් වෙත ස්වකීය දෙමාපියන් විසින් ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් කිරීම සඳහා භාර කෙරිණි. පැවිදි දිවියට අවශ්‍ය ශිෂ්‍යකාමීත්වය ලැබීමෙන් පසු 1948 ජනවාරි 30වැනි දින දෙබත්ගම සෝමරතන නමින් මේ කුල කුමරුවා පැවිදි විය.

කුඩා සාමණේරයෝ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පොල්අඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙනට ඇතුළත් වූහ. මේ අවධියේ දී මුන් වහන්සේට මුහුණ දෙන්නට වූ ගැටලුවක් නම් ස්වකීය ගුරුවරයාණන්ගේ අපවත්වීමයි. මෙවකට ගැවිලිපිටියේ වේළුවනාරාමාධිපති ව වැඩ විසූ පූජ්‍ය අලපලාවල පඤ්ඤාසීහ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්යවරයකු මෙන් කුඩා සාමණේරයන් වහන්සේට අවවාද අනුශාසනා කළහ. ඉදිරි දිවිය සවිමත් වීම සඳහා මේ අවවාද අනුශාසනා බොහෝ උපකාර විය. 1957 ජූලි මස 09 දින බලපිටි මෝදර උදකුක්ඛේප සීමාමාලකයේ දී මුන් වහන්සේ අධිශීල සංඛ්‍යාත උපසම්පදාවෙහි පිහිට වූහ.

ගුණ නුවණින් හා බුද්ධියෙන් ඉදිරියට ආ අප නායක සමිඳුන් වැඩිදුර අධ්‍යාපනය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ. මෙහිදී මනා ලෙස ධර්මවිනය ශබ්ද ශාස්ත්‍ර හැදෑරීමෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව 1967 වසරේ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. උසස් අධ්‍යාපනය ලබන අවධියේ දී උන්වහන්සේ නේවාසික ව වැඩ සිටියේ කැලණිය, පොල්හේන, ශාන්ත්‍යාරාම විහාරස්ථානයෙහි ය. එම විහාරයෙහි විහාරාධිපති ගැවිලිපිටියේ පඤ්ඤාරංසි තිස්ස නායක සමිඳුන්ගෙන් ලද අවවාද අනුශාසනා අප නාහිමියන්ගේ අනාගතය ආලෝකවත්වීම සඳහා බෙහෙවින් හේතු විය.

විශ්විවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ස්වකීය විහාරස්ථානයට වැඩමකළ අප නාහිමියෝ වසර කීපයක් පොල්අඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙනට ඇතුළත් ව ආචාර්යවරයකු ලෙස සේවය කළහ. මින් අනතුරුව 1976 වසරේ මාතලේ දිස්ත්‍රික්කයේ සිල්වත්ගල කනිෂ්ඨ විද්‍යාලයෙහි ආචාර්යවරයකු ලෙස පත්වීමක් ලැබ එහි වැඩම කළහ. මුල දී කනිෂ්ඨ විද්‍යාලයක් ව පැවති මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් කිරීමට අප නා හිමියෝ පුරෝගාමී ව කටයුතු කළහ. සිල්වත්ගල මහා විද්‍යාලයෙන් මාරුවීමක් ලැබ දෙබත්ගම කනිෂ්ඨ විද්‍යාලයට 1984 දී වැඩම කළහ. නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවය කළ මුන්වහන්සේ එම විද්‍යාලයෙහි බුදු මැදුර ආදී අංගයන් ගොඩනැඟීමට පුරෝගාමී ව කටයුතු කළ අතර 1990 වසරේ දී විශ්‍රාම ගැනීම තෙක් මෙම විද්‍යාලයෙහි සේවය කළහ.

“මානිවත්ථ අභික්ඛම” යන බුදුවදන සැබෑ ලෙස ම ජීවිතයට බද්ධ කර ගත් අයුරු අපට අවබෝධ වන්නේ උන්වහන්සේට නොයෙක් අවස්ථාවන්හි දී ඇති වූ අභියෝග ජයගත් අයුරු බැලීමෙනි.

ඉතා චාම්, සරල දිවි පැවත්මකි උන්වහන්සේ ගත කරනුයේ, දුප්පත්, පොහොසත් භේදය උන්වහන්සේ පිටු දකිති. වඩ වඩාත් පොදු ජනතාව අතරට නැඹුරු ව ඔවුන්ගේ කුදු මහත් සෑම කටයුත්තක් ම ඉටු කර දීමට උනන්දුවෙති. ධර්ම දේශනයෙහි ව්‍යක්ත බවක් ඇති උන්වහන්සේට ශ්‍රාවකයාට ධර්මාවබෝධය ලබා දීමට ඇත්තේ මනා හැකියාවකි.

අප නායක හිමිපාණන් වෙත පැවිදි වූ සිසු පිරිස අද සසුන් කෙත සරු කරති. ශිෂ්‍ය භික්ෂූන් අතරින් කෙනෙක් ග්‍රන්ථ ධූරය සපුරන අතර, කෙනෙක් විදර්ශනා ධුරය සම්පූර්ණ කරති.

අප නා හිමිපාණන් වහන්සේ සිදුකරන ආගමික, සාමාජික සේවාවන් අගයමින්, උන් වහන්සේ කළ සුවිශේෂී සේවාවන් තවත් ඔප්නංවමින් අමරපුර මහා නිකායේ සතරකෝරල මහදිසාවේ ප්‍රධාන සංඝනායක පදවියත්, පසුව සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියත් පිරිනමා ඇත. මේ වන විට අප නා හිමිපාණන් වහන්සේ අමරපුර මූලවංශික පාර්ශ්වයේ අනුනායක පදවිය ශෝභාවත් කරති. උන්වහන්සේට බොහෝ කාලයක් සමාජයීය, ශාසනික සේවාවන් සිදු කිරීමට ශක්තිය ලැබේවා’යි ප්‍රාර්ථනා කරමු.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]