[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

සත් සිත් සෙත් සදන අභිමානනීය පින්බිම දෙබත්ගම වියන්එළිය ශ්‍රී රතනජෝත්‍යාරාම පුරාණ විහාරය

සිරි සම්බුදු පහසින් අතිපාරිශුද්ධියට පත් මෙම කුඩා දිවයින මිහිඳු මාහිමියන්ගේ වැඩම වීමත් සමඟ ම දහම් දිවයින ලෙස ලොව පතළ වන්නට විය. මිහිඳු මාහිමියන්ගෙන් ඇරඹුණු ථෙරවාදි භික්ෂු පරපුර මහ ජනතාව අතර මහත් ගෞරවයට පාත්‍ර විය. බොදුනුවනට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළ උන්වහන්සේ හා ගිහි ජනතාව ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් එකිනෙකා අතර බැඳී පවතියි. හෙළ දිවයිනට වරින්වර එල්ල වූ පරසතුරු උවදුරු නිසා බුදු සසුනට එල්ල වූයේ මහත් තර්ජනයකි. විශේෂයෙන් මහනුවර යුගය වන විට සිංහල දැහැමි පාලකයන් නොමැති වීමත්, ඉංගී‍්‍රසි ආක්‍රමණය නිසාත් බුදුසසුන අන්තයට පිරිහිනි. මෙවන් තත්ත්වයන් තුළ වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයෝ සියම් දේශයට වැඩම කරවා එහි වැඩ සිටි ථෙරවාදී භික්ෂූන් වහන්සේ වෙතින් උපසම්පදාව ලැබ දිවයිනට වැඩම කරවා ථෙරවාදී බුදුසසුන ස්ථාපිත කළහ. මෙයින් නැවතත් ලක්දිව ධර්මාලෝකයෙන් ඒකාලෝක විය. වැලිවිට සරණංකර සංඝ රාජයන් වෙතින් පැවැදි බව ලැබ, ව්‍යවහාර වර්ෂ 1800 දී පමණ බුරුම රට අමරපුර නගරයට වැඩමවා එහි ථෙරවාදී භික්ෂූන් වහන්සේ වෙතින් මහණ උපසම්පදාව ලබා ගත් වැලිතර අඹගහපිටියේ ඥානවිමල ස්වාමීන්ද්‍රයාණෝ එහි භික්ෂූන් වහන්සේ වෙතින් “රාජගුරු” පදවියෙන් ද සම්මානිත ව 1802 දී පමණ ලක්දිවට වැඩමවා අමරපුර මහා නිකාය පිහිටුවා වදාළ සේක. මේ නිසා මුළු ලක්දිව පුරා ම බුදු සසුන ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. කාලයාගේ ඇවෑමෙන් පසු අමරපුර නිකාය නොයෙක් හේතූන් නිසා විවිධ කොටස්වලට බෙදී ගියේ ය. අඹගහපිටියේ දී අරඹන ලද අමරපුර නිකාය පසුව නිකායික මූලස්ථානය කේන්ද්‍රිය කොට ගෙන අමරපුර මූලවංශ පාර්ශ්වය යනුවෙන් ව්‍යාප්ත වන්නට විය. හෙළ ඉතිහාසයෙහි අද්වතීය ස්ථානයක් සබරගමු පළාත් කෑගලු දිස්ත්‍රික්කයේ සතර කෝරළයට හිමි වේ. සතර කෝරළයට අයත් ගල්බඩ කෝරළයෙහි පිහිටි “දෙබත්ගම” නමැති ග්‍රාමය උතුරින් හා දකුණින් දර්ශනීය කඳු පන්තියෙන් ද, නැඟෙනහිර හා බටහිර දක්වා සරුසාර කෙත් යායකින් ද යුත් අතීතයේ හෙළ රජ දරුවන්ට අවශ්‍ය ධාන්‍ය සැපයූ ශෝභාසම්පන්න ගම් පියසකි. මීට අවුරුදු 150කට පමණ පෙර අමරපුර නිකායික භික්ෂූන් වහන්සේ ගම් දනව් සැරිසරමින්, දහම් ආලෝකය බෙදා දෙමින් වඩින විට දෙබත්ගම ග්‍රාමය ද උන්වහන්සේගේ නෙතට ලක්විය.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk