නිවසක කැණිමඬල ගිනි ගත්තාට පසුව විලාප තියලා වැඩක් නැහැ
කටුගස්තොට උපරතන නාහිමි
සතුට වෙනුවෙන් මොන තරම් දුක් වින්දත් ජීවිතයේ හිස් බවක් දැනෙන බව බොහෝ අය පවසනවා.
ශ්‍රී සද්ධර්මය ජීවමාන කාලයක බෞද්ධයකුට එවැනි ගැටලුවක් ඇතිවීම ම ගැටලුවක්. එවැනි
තත්ත්වයකට බලපාන හේතු මොනවාද ? මේ ඒ පිළිබඳ කටුගස්තොට උපරතන නාහිමියන් සමඟ කළ
සාකච්ඡාවකි.
පින්වත් ස්වාමීන් වහන්ස, සතුට වෙනුවෙන් මොනතරම් මහන්සි වුණත් එය ලබා ගත නොහැකි
දෙයක් බවයි බොහෝ දෙනකුගේ අදහස. මනුෂ්‍ය ජීවිතයට සතුට දුර ද?
කළ යුතු දේ කළ යුතු මොහොතේ නො කිරීම නිසා අප වෙතින් සතුට දුරස් කරනවා.
ලෞකික සාර්ථකත්වයක් නොමැති වුණොත් ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කර ගැනීමට අපහසුයි.
එදිනෙදා ජීවිතයේ අලස නැති ව යහපත් විදිහට ජීවිතය සාර්ථක කර ගන්නට උත්සාහ කරන්න ඕනෑ.
පාසල් වයසේ වෙන්න පුළුවන්, තරුණ, වැඩිහිටි වයසේ වෙන්න පුළුවන්. ඒ ඒ වයස් සීමාවල දී
කළ යුතු කාර්යයන් අපට පැවරී තිබෙනවා. ඒ කටයුතු, ඒ ඒ කාලවල දී කළ යුතු ව තිබෙනවා.
ඒ වගේ ම ඕනෑම දෙයක ඇතිවීමක් තිබෙන්නට ඕනෑ. බොහෝ දෙනකුට ජීවිතයේ ඇතිවීමක් නැහැ. ඒ
නිසා ම ඔවුන්ට ජීවිතය වෙහෙස යි. ගෙවුණු ජීවිතයේ වින්ද සැපයකුත් නැහැ. සතුටකුත්
නැහැ. කාලයත් සමඟ වයසට ගිහින් ලෙඩවෙලා මරණයට පත්වෙනවා. ධර්මය සමඟ ජීවිතයේ ගැලපීමක්
ඒ ජීවිතවල දකින්නට නැහැ. එනිසා ලැබෙන දේ ගැන, ලැබුණු දේ ගැන සතුටක් අපට තිබෙන්නට
ඕනෑ. ඒ සතුට එකිනෙකාට වෙනස්.
සමාජයේ දී මුහුණ දෙන අනේක විධ ප්‍රශ්න, ගැටලු හමුවේ බොහෝ අය මනසින් වැටිලා.
පීඩාවෙන් ජීවත් වෙන්නේ. ඒ සඳහා බුදුදහමෙන් ලබා දෙන උපදෙස් මොනවා ද?
ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල් මුල්වීමෙන් අපේ සිත විවිධ පැතිකඩවලට විසිරෙනවා.
අවිද්‍යාව, එහෙමත් නැතිනම් නො දැනුවත්කම, නූගත්කම, අවබෝධයක් නැතිකම නිසා යම් යම් දේ
තේරුම් ගැනීමේ දුර්වලතාවක් තිබෙනවා. කුඩා කාලයේ සිට ම මවුපියන් කියන දේ, පන්සලේ
ලොකු හාමුදුරුවෝ, වැඩිහිටියන් කියන දේ අසන්නට පුරුදු වුණොත් අපේ ජීවිතවල සුවතාවක්,
පිරුණු බවක් ඇති කර ගන්නට අවස්ථාව තිබෙනවා.
ඇතැම් දෙනා මානසික ව පීඩා විඳින්නේ තමාගේ වරද, වරදක් ලෙස දකින්නේ නැති නිසයි. මම
හැමදේ ම දන්නවා, මට කාගේවත් උපදෙස් ඕනෑ නෑ කියන තැන සිටින තාක් ඔවුනට බැහැ මානසික
සුවතාව හදාගන්න. මේ සමාජයේ ජීවත්වන අපි බොහෝ දේ ඉගෙන ගන්නට ඕනෑ. පුරුදු කරන්නත්
ඕනෑ. ආශ්‍රය කිරීමෙන් දැන ගන්නටත් ඕනෑ.
දරුවෝ වේවා, තරුණ පිරිස වේවා, වැඩිහිටි පිරිස වේවා, සිල්වත් නැත්නම්, ගුණගරුක
නැත්නම්, අවවාදයක් පිළිගන්නට කැමැත්තක් නැත්නම් ඒ අයට වැඩිපුරම ඇතිවන්නේ පසුතැවීම
පමණයි. පසුතැවීම කියන නීවරණය නිසා මානසික සුවතාව අඩුවෙනවා. තමන් ගැන තෘප්තියට
පත්වීම බෞද්ධයාගේ අංගයක් විය යුතුයි.
දුගී කෙනෙක් දුටු විට මට වඩා බොහෝ සේ දුක් විඳින මිනිසුන් මේ ලෝකයේ ඉන්නවා. මම ඒ අය
අතරින් පින් කරපු කෙනෙක් කියලා හිතන්න. තෘප්තිමත් වෙන්න. එවිට ඔබටත් මානසික සුවතාව
ඇතිකර ගන්නට පුළුවන්.
අතීතය ගැන කම්පා වෙන්න එපා. වර්තමානයට සතුටින් මුහුණ දෙන්න. ඒ වගේ ම සතිමත් බවෙන්
වැඩ කිරීම සැහැල්ලු මනසක් ඇති කර ගැනීමට රුකුලක්. සිතේ උපදවා ගන්නා කරුණාව,
මුදිතාව, මෛත්‍රිය, මානසික සැහැල්ලුවට උදව්වක්. ඒක දෙවියන්ට කරන්න පුළුවන් දෙයක්
නොවෙයි. බුදුරජාණන් වහන්සේට කරලා දෙන්න පුළුවන් දෙයකුත් නොවේ. ඔබයි එයට කැපවෙන්න
ඕනෑ. ඔබයි ඒ දර්ශනය තුළ ජීවත් වෙන්න ඕනෑ.
නිතර ම ඔබ, ඔබ ව දකින්න. ඉවසීම පුරුදු කරන්න. වාහනයක් ගෙන පාරට ගියා ම හොඳ සතිමත්
බවකින් ඉන්න. පාරේ යන අන් රියදුරන් සමඟ සිතින්වත් පැටලෙන්න එපා. ඔහුට ඉඩදී ඔබ ඔබගේ
ගමන යන්න. අන් අයගේ වැරැදිවලට ඔබගේ මනස අවුල් කර ගන්න එපා. කරුණාව, මෛත්‍රිය තුළින්
අපට බොහෝ දේ දරාගන්න පුළුවන්. මේ ලෝකයේ හැම දෙයක ම ඇතිවීම, පැවැත්ම හා නැතිවීම කියන
ස්වභාවය තේරුම් ගත්තොත් අපට මධ්‍යස්ථ ව ජීවිතයට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා.
ජීවිතයට හිස් බවක්, පීඩාවක් දැනෙනවා නම් එහි වගකීම තමන්ට ද ? ජීවත්වන සමාජයට ද?
සිඟාලෝවාද සූත්‍රයේ කියාදෙන ආකාරයට යම් කෙනෙක් ජීවිතය පුරුදු කරනවා නම් ඒ ජීවිත තුළ
තිබෙන පවුල බොහෝ ම ලස්සන වෙනවා. සිඟාලෝවාද සූත්‍රය අර්ථවත් කර ගන්න පුළුවන් නම්
තමාට තමා ව දකින්න පුළුවන්.
අද වන විට ඇතැම් පවුලක පස් දෙනෙක් ඉන්නවා නම්, ඒ සියලු ම දෙනා සීලයෙන් ඈත යි.
දහමින් ඈත යි. දහමේ අර්ථ ජීවිතයට ගළපා ගන්නේ නැහැ. ඒවා අවශ්‍ය වන්නේ පැවිද්දාට
කියලයි ඇතැම් දෙනා සිතන්නේ. බුදුරජාණන් වහන්සේ ගිහියාට මූලික ව රකින්න කියලා
අනුශාසනා කළේ පංචසීලය යි. එහෙත් ඇතැම් පවුල් තුළ ඒ සිල්පද රකින්නට යම් උත්සාහයක් හෝ
ගන්නා බවක් පෙනෙන්නට නැහැ. තාත්තා බොරු කියනවා. බොරු කරනවා. අම්මත් බොරු කියනවා.
බොරු කරනවා. ඉතින් දරුවොත් මවුපියන්ට බොරු කියනවා, බොරු කරනවා. ඒ සමඟ ම ඒ පවුල තුළ
තිබිය යුතු සතුට, සමාදානය, ආරක්ෂාව, රැකවරණය, සෙනෙහස, ගිලිහී යනවා. ඒ පවුල, එතැන්
පටන් ගිනි ගන්නවා. නිවසක කැණිමඬල ගිනි ගත්තාට පසුව විලාප තියලා වැඩක් නැහැ.
එනිසා පවුලක් තුළ ගුණධර්ම රැක ගන්නට නම් පළමුව අම්මා, තාත්තා. හොඳ අධිෂ්ඨානයකින්
සිල්පද රකින්න ඕනෑ. රකින සීලයේ අර්ථ මෙනෙහි කරන්නත් ඕනෑ. සිල්පද රකින පවුලක් තුළ
තිබෙන සතුට, දරුවන්ටත් මුහු වෙනවා. එවිට ඔබට පුළුවන් තම පවුලේ සතුට රැක ගන්න. තම
තමන් සිල්පද රැකීම තුළින් පවුලේ සමඟිය වගේම ගමේ, නගරයේ, පළාතේ රටේ සමගිය රැක ගන්නට
තරම් එය ප්‍රබල වෙනවා.
ස්වාමීන් වහන්ස, යම් හෙයකින් සිත වරදට යොමුවුණොත් නිවැරැදි කරගන්න පුළුවන් පහසුම
ක්‍රමයක් තිබෙනවා ද?
එයට මූලිකව ම උපකාරි වන්නේ සතිමත් බව යි. සිහියෙන් වැඩ කිරීම වගේ ම පින්, පව් ගැන
විශ්වාසයක් ඇති කර ගන්න. නිතර ම තමන් උපමා කර ගන්න. මම මේ දේට කැමැති නැහැ වගේම යි
අන් අයත් ඒ දේට කැමැති නැහැ කියා සිතන්න. එනිසයි භාග්‍යවතුන් වහන්සේ ගිහියාට සිල්පද
පහක් පැනවූයේ. කුඩ සතෙක් පවා මම වගේ ම මරණයට බය යි. එනිසා කුඩා සතකුට පවා හිංසා
කරන්න හොඳ නැහැ කියා අධිෂ්ඨානයක් ඇතිකර ගන්න. තමා තුළින් වරදක් සිදු වුණොත් ඒ තුළ ම
ගිලී සිටින්නට බුදුදහම කියා දෙන්නේ නැහැ. වරදින් නැඟී සිටින මාවතයි අපට බුදු දහමින්
කියා දෙන්නේ.
කිසිදු වරදක් විපාක නොදී අවසන් වන්නේ නැහැ. එහෙත් සිදු වූ වරද නිවැරැදි කර ගත්තොත්
එතැන් පටන් ඔබට පුළුවන් නිවැරැදිකරුවෙක් ලෙස ජීවත් වෙන්න. එනිසා හිතාමතා, දැනුවත්
ව, උපක්‍රම යොදා වැරැදි කරන්න එපා. එහි විපාකය බරපතළයි. ඇතැම් විට සසර පුරා ම එහි
විපාකය ඔබ පසුපස එන්නට පුළුවන්.
නයනා නිල්මිණී |