16 කොටස
පුර පෑළවිය
සඳ
සාමණේරයන් වහන්සේ නමකගේ
ජීවිතය අලලා ලියැවුණු නවකතාව
බඩල්ගම විපුලසිරි හිමි
මෙතෙක් කතාව
දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුව ද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට
සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට
පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය.
පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ
සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට
වැරැදි පිට වැරැදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි
හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරුවන්ට කරන
අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි. නන්ද හිමි සිත දමිත පොඩිහාමුදුරුවන්
ගැන ඇති වූයේ මහා දුකකි. මේ අතර සිරිල් මාමා රෝගී වේ.
සැට වයස් ඉක්මවා සිටි මැණික් රාළ උපාසක උදෑසනින් ම පන්සලට පැමිණියේ ය. හීල් දානයවත්
තව ම පන්සලට රැගෙනවිත් නොතිබිණි.
නන්ද හාමුදුරුවන් සිටියේ බෝ මළුව අමදිමිනි.
පන් මල්ලේ එල්ලාගෙන ආ භාජනය පසෙකින් තැබූ උපාසක නන්ද හාමුදුරුවන්ට පසඟ පිහිටුවා
වැන්දේය.
“ තෙරුවන් සරණයි! සුවපත් වේවා උපාසක මහත්තයා.”
නන්ද හාමුදුරුවන් කාටත් ආශීර්වාද කරන්නෙ ඔය ලෙස ම ය.
“ අපේ හාමුදුරුවනේ උදැහැනැක්කේ ම වළඳන්න හොඳ කැඳ ඩිංගිත්තක් හදන් ආවා. “
එසේ කියමින් උපාසක තැන මල්ල තුළ වූ කැඳ භාජනය එළියට ගත්තේ ය.
සමහරු මැණික් රාළට කියන්නේ ‘මහ උපාසක’ කියා ය. සමහර අය අවඥාවෙන් ‘මෝඩ උපාසක’ හෝ
‘උපාසක බක බක’ යැයි ද කියති.
‘මහා උපාසක’ යැයි ඔහුට පවසන්නේ, ඔහු සෑම පෝය දිනකට ම සිල් සමාදන් වන නිසා ය. එසේ ම
කොහේ හෝ ධර්ම දේශනාවක් තිබුණොතින් ඊට සම්බන්ධ වීමට ද ඔහු කිසිවිටක අමතක නොකළේය.
එනිසා ම බණ කතා පිළිබඳ ව බොහෝම හොඳ දැනුමක්, මතකයක් ඔහුට තිබිණි. නමුත් ඔහු දන්නා
ගැඹුරු ධර්මයක් නම් නැත. ඔහු සිතා සිටින්නේ බණ කතා යනු ධර්මය කියා ය.
චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණය, ස්කන්ධ ධාතු, ආයතන ආදී බුද්ධ
දේශනා පිළිබඳ ව ඔහුට දැනීමක් ඇත්තේ ම නැත. ඔහු සෑම දිනක ම බණ කියනවා ය කියා කාට හෝ
කතන්දරයක් කියා දෙයි.
ධර්මය පිළිබඳ ව ගැඹුරට නොදත් බොහෝ දෙනා ඔහු හොඳට ම බණ දන්නා උපාසක මහතෙකැයි වර්ණනා
ද කරති. උපාසක නම් ඊට බෙහෙවින් ම කැමැති ය.
මොහුට මෝඩ උපාසකයා යැයි කියන්නට ද හේතු තිබේ. එයට ප්‍රධාන ම හේතුව ඔහු කරතොත්
කරන්නේ මිනිසුන් සිනහ ගන්වන මෝඩ ම මෝඩ වැඩක් වීම ය.
ගමයාට හරියන ගමමහගේ ය කියන්නා සේ ඔහුට ලැබී ඇති බිරිඳ ද එවැනි ම තැනැත්තියක් බව
ගම්මුන්ගේ අදහස ය.
දිනක් ගම්වාසීන් සමඟ කුඹුරෙහි අස්වනු නෙළා කමතෙහි රාත්‍රියේ බැත පාගමින් සිටි
මොහොතක මොහු අපූරු දෙයක් සිදු කර තිබිණි.
රාත්‍රිය උදාවූයේ වැඩ කරමින් සිටියදී ම ය. එහි ප්‍රදේශයකට විදුලි ආලෝකය තිබුණත්
සැමතැනට ම එය ප්‍රමාණවත් නොවිනි. තේ වේලාවෙහි ඉඳගන්නා තැනට ආලෝකයක් අවැසි නිසා
මැණික් රාළ හොඳ නුවණක් සිතුවේ ය.
ලන්තෑරුම කමතට රැගෙන ආ ඔහු එය දල්වා ගසක අත්තක එල්ලන්නට කල්පනා කළේ ය. එය එතැනට
ආලෝකය ලැබෙන හොඳ වැඩකි.එහි වරදක් නැත.
වරද තිබුණේ එය එල්ලන්නට තෝරාගත් අත්තේ ය.
හොඳ බුලත් විටකුත් ඒදා සපමින් පිරිස ඉදිරියේ පණ්ඩිතමානී ව නැඟිටගත් මැණික්රාළ
ලන්තෑරුම දල්වා එය එල්ලන්නට ගසක් බැලුවේ ය.
කමත කිට්ටුව රූස්ස ගස් හෝ තරමක උස ගස් හෝ නොමැත. තිබුණේ නියරට මායිම් ව තිබුණු පොල්
ගසකි. එය ද තරමක් දුරට වැඩී තිබිණි. පහළ ම තිබෙන අත්තක් කීප වරක් උඩ පැන්නොතින්
අල්ලා ගත හැකි යැයි ඔහුට සිතුණි.
පොඩි කොල්ලකු සේ උඩ පනින්නට අකැමැති වූ ඔහු කරු ලීයක් ගෙන පොල් අත්ත පහළට ඇදගත්තේ
කෙළවර කොළ, කරුවෙන් අඹරවමිනි.
පොල් අත්ත අතින් අල්ලා ගත්තෙන් එහි අමාරුවෙන් ඔහු එසවී ලන්තෑරුම ගැට ගසන්නට විය. මේ
කටයුත්ත පිළිබඳ ව කොලු ගැටව් සහ මහ එව්වෝ යටි සිතින් සිනාවෙමින් බලා නිහඬ ව ම
සිටියහ.
මැණික් රාළට දැනුනේ තමා මහා නුවණක්කාරකමක් කරනවා කියා ය. වටපිට බලා සියලු දෙනාගේ ම
ගෞරවය ලබන්නට මෙන් ඔහු ලන්තෑරුම බැඳී අත්ත අතෑරියේ ය.
අතෑරියා අතෑරියා ම ය. ලන්තෑරුමත් රැගෙන අත්ත ඉහළට එසවී ගැට ගසා තිබූ පොල් කොළ
කිහිපයෙන් ද එය ගැලවී ඈතට වීසි විය.
ගමේ අය කොක්හඬලා සිනාසෙන්නට වූහ. කොහේට හෝ වැටී ලන්තෑරුම ද නොපෙනී ගියේ ය. |