නිවස විශේෂාංගපුරපෑලවිය සඳ

පුරපෑලවිය සඳ

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

by Test User
August 27, 2026 12:22 am 0 comment

ධම්මාලංකාර හාමුදුරුවෝ අල්ලා ගත්තේ සාමණේරයන්ගෙ වම් කන ය.

“ තමුන්ට මං කිව්වා නේද මෙතන අස්කරල දාන්න කියලා… දැන් මේ අස්කළ හැටිද ? “

කන අල්ලාගෙන තිබෙන්නේ මහපටැඟිල්ලේ නියපොත්ත කන් පෙත්තට හොඳීන් ම තද කරගෙන ය. සැරෙන් සැරේ ධම්මාලංකාර හාමුදුරුවෝ නියපොත්ත මසට ම තදකරයි. කුඩා අහිංසකයෙක් සමඟ හෝ වෛරයක් පිරිමසා ගැනීමට ඇතිනම් ඊටවඩා සතුටක් ධම්මාලංකාරට නැති ය. ඒ තරමටම ඒ හිත කුඩුකේඩු ය. අසත්පුරුෂය.

කන රිදෙන නිසා සාමණේරයන්ට කතා කර ගන්නටත් බැරිය. මොකුත්ම නොකීවොතින් කන මිරිකාම නම් නතර වන්නේත් නැත.

“ ආයි…. ආයි… අනේ ධම්මාලංකාර හාමුදුරුවනේ..

මං මේ ඔක්කොම අස් කරලනෙ ගියේ… “

තමන් දානශාලාව පිරිසිදු කෙරුවා සාමණේරයන්ට හොඳට ම මතක ය. සක්මන් කරන්නට ගියේ ඒ ඔක්කො ම කරලාය. ඒ ගිහින් එන ටිකට දානශාලාව මේ තරමට ම හැඩි වූයේ මොනවා වෙලා දැයි සාමණේරයන්ට කිසි අදහසක් නැත.

හොර පූසකු වාගේ කොස්සක් ගෙන කවදාවත් ම නැතුව අතුගාමින් සිටින සුදුබබා සාමණේරයන් දෙස සැරින්සැරේ බලන්නේ යටි ඇසිනි.

“ පෙනේද ලොකු හාමුදුරුවනේ.. මුන්දගෙ හැටි…

අකීකරුකම මදිවාට තව බොරුත් කියන්න එනවා… “

ධම්මාලංකාර හිමියන් සාමණේරයන් කියනා දෙයක් පිළිගන්නේ ම නැත. ඒ තබා හරියට කතා කරන්න දෙන්නේත් නැත.

මොනවා වුනත් ලොකු හාමුදුරුවන්ට සාමණේරයන් ගැන ඉස්සර තරම් අපැහැදීමක් දැන් නැත. බෝ මළුවේ සක්මන් භාවනා කරනවාත් දුටු බැවින් මොකද්දෝ මෙළෙක් බවකුත් සාමණේරයන් පිළිබඳ ව සිතෙහි ඇති වී තිබේ.

“ ධම්මාලංකාර , නිකා ඉන්නකො… ඔහොම නෙවෙයිනෙ ප්‍රශ්න විසඳන්නෙ… පොඩි එකාගෙ කන අතාරින්න හොඳයි…”

ලොකු හාමුදුරුවො එසේ කීවත් ධම්මාලංකාරට සාමණේරයන් අතහරින්නට හිතක් කොහෙත්ම නැත. දෙකක් දෙනවා නම් මේ හොඳම මොහොතක් ය.

“ අතාරින්න නෙවෙයි ලොකු හාමුදුරුවනේ මුන්දට…. “ කියා අත එසවූයේ කනහරහා පහරක් ගැසීමටය.

නමුත් එක්වනම ඇතිවූයේ ප්‍රාතිහාර්යයකි. මෙතෙක් වේලා පුපුරමින් රෞද්‍ර ව සිටි ධම්මාලංකාර හිමියෝ හරි ආදරෙන් සාමණේරයන්ට උපදෙස් දෙන්නට වුණි.

කනහරහා යන්නට ගිය අත දැන් ආදරෙන් සාමණේරයන්ගේ හිස ද අතගායි.

“ හරි හරී.. හොඳ පුතානෙ.. ආයෙ එහෙම වැරදි කරන්න එපා. අඬන්න ඕනයැ ඕකට.. හා යන්නකො යන්නකො කුටියට. මං සුදුබබා එක්ක මේ ටික අස්කරන්නම්.

කෝ පිහදාගන්නකො ඔය කඳුලු.. පාඩම් වැඩක් බලාගන්නකො ගිහින්..”

ලොකු ස්වාමින් වහන්සේගේ කටත් ඇරිලා තියෙන්නේ සිද්ධ වුනේ කුමක් දැයි තාමත් නොවැටහුන නිසා ය.

සාමණේරයන් පෙළහරක්වත් පෑවාද ? එකපාරක් සක්මන් කළ පමණින්, දවසක් භාවනා කළ පමණින් එසේ කළ හැක්කේ නම් නොවේ. එසේ නම් සිදු වූයේ කුමක් ද? ඔලුවත් එක්ක අන්දුන්කුන්දුන් ය.

සුදුබබා ද කොස්ස අල්ලාගෙන ඇස් උඩදමාගෙන ධම්මාලංකාර හිමියන් දෙස බලා සිටී. මෙච්චර වේලා හොඳීන් ම වැඩ කළ තමාගේ සැලසුමට මේ වූයේ කුමක්දැයි ඔහුට ද නොතේරේ.

හරි ආදරයෙන් සාමණේරයන්ව පිට අතගාමින් ම ආවාසයට මෙහෙය වූ ධම්මාලංකාර හිමියෝ ඒ අතරේම සිනා මුහුණින් ම ලොකු හාමුදුරුවන් දෙස ද සුදුබබා දෙස ද බැලුවේ ය.

“ සුදු පුතා…, ඉක්මනින් ඔයටික අතුගාලා ගන්නකො…”

ධම්මාලංකාර හිමියන් යම් ඉඟියක් දුන්න ද ලොකු ස්වාමින් වහන්සේට නම් කිසිවක් නොතේරුණේ ය.

කුමක්දැයි කියා ඇසුවත් දානශාලා සීමාව ඉක්මවා සාමණේරයන් ව අරලවන තෙක් ම ධම්මාලංකාර හිමියන් ආපසු නොහැරුණේ ය.

මතු සම්බන්ධයි

You may also like

Leave a Comment