ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ උඳුවප් අමාවක පෝදා 2024 දෙසැම්බර් 30 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශ්‍රී ලාංකේය බෞද්ධ ජනයාගේ පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවගේ ම අසහාය පූජනීය වස්තුව වනාහි සෙංකඩගල පුරවරයේ වැඩ වසන සිරි දළදා වහන්සේ ය. “දළදා හාමුදුරුවෝ” යන භාවාත්මක ගෞරවාදර වදනින් වහරන දන්ත ධාතූන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වශයෙන් එදා සිට පවත්නේ ය. බුදුරජාණන් වහන්සේ අසූවියේ දී මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ඉතිරි වූ ශාරීරික කොටස් ධාතූන් වහන්සේ නම් වෙති. මෙහිලා දළ යනු දත් ය. ‘දා’ යනු ධාතු ය. එබැවින් දළදා වහන්සේ නම් බුදුරජාණන් වහන්සේගේ දන්තයෝ ය. පාලි භාෂාවෙන් දන්ත ධාතු වන අතර, එහි සංස්කෘතික වචනය දංෂ්ට්‍රා ධාතු ය. ධාතූන් වහන්සේගේ පැරැණි ම මූලාශ්‍රය, ත්‍රිපිටක පාලියට අයත් දීඝ නිකායේ මහා වග්ගයේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි අන්තර්ගත වන්නේ ය. ඒ පිළිබඳ සංක්ෂිප්තය පහත සඳහන් ය. මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්වනයේ දී බුදුරජාණන් වහන්සේ නිරුපධිශේෂ පරිනිර්වාණයට පත්වූ සේක. එබැවින් කුසිනාරානුවර මල්ල රජවරු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය අලුත් වස්ත්‍රයකින් වෙළූහ. ඉන්පසු නෙළූ පුළුන්වලින් වෙළූහ. නැවත අලුත් වස්ත්‍රයකින් වෙළා නෙළූ පුළුන්වලින් වෙලූහ. මෙසේ යුගල පන්සියයකින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය වෙළා යකඩ (අයසාව) තෙල් දෙනක බහා, යකඩ දෙනකින් වසා සියලු වර්ගයේ සුවඳ දරින් චිතකයක් තනවා ශ්‍රී දේහය එහි තැන්පත් කළහ. අසිරිමත් පූජා පවත්වමින් දින සතක් ගත වූ පසු ශ්‍රී දේහයට ගිනි දැල්වීමට මල්ල රජදරුවන් උත්සුක වුවත් නොහැකි විය. පාවා නුවර සිට වැඩම කළ මහාකාශ්‍ය මහරහතන් වහන්සේ දොහොත් නඟා තුන්වටක් චිතකය පැදකුණු කොට වැන්දාහ. ඒ සමඟ ම ඉබේම චිතකය ගිනි ඇවිළිණි. දැවෙන ගිතෙල් හෝ තලතෙල්වල යම් සේ අළු හෝ දැලි නොවන්නේ ද එසේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ උඩු සම හෝ නහර හෝ මිදුළු හෝ දැවුණත් එහි අළු හෝ දැලි නොවීය. එහෙත් ශාරීරික ධාතුන් වහන්සේ ඉතිරි වූහ. මල්ල රජදරුවෝ මෙම ධාතූන් වහන්සේ සන්ථානගාර ශාලාවේ ආරක්ෂා සහිත ව තැන්පත් කොට දින සතක් ම අසීමිත ගෞරවයෙන් පූජා සත්කාර කළහ.
දෙසැම්බර් 30 සඳුදා පූ.භා. 04.02 අමාවක ලබා 31 අඟහරුවාදා පූ.භා. 03.57 ගෙවේ. 30 සඳුදා සිල්
අමාවක
දෙසැම්බර් 30
පුර අටවක
ජනවාරි 07
පසළොස්වක
ජනවාරි 13
අව අටවක
ජනවාරි 21
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]