මාන්නය දුරු කරමු
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයකි. ඒ වස් කාලය උන්වහන්සේ
නුවර වැසියන්ට ධර්මය දේශනා කළ සේක. ඒ සද්ධර්ම දේශනා ඇසීමටත්, බුදුරජාණන් වහන්සේට
පුද පූජා පැවැත්වීමටත්, බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමටත් සෑම දිනක ම විශාල පිරිසක්
ජේතවනාරාමයට පැමිණියහ.
සැවැත්නුවර වැසියන් පමණක් නොව අවට නුවර වැසියන් ද ඒ අතර විය. තමන්ට ඇති යම්
ප්‍රශ්න, ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා උපදේශ ලබා ගැනීමට පැමිණි අය ද විය.
ජේතවනාරාමයට පැමිණෙන මේ පිරිස දෙස සැවැත්නුවර වාසය කළ එක් බ්‍රාහ්මණ තරුණයෙක් බලා
සිටියේ ය. ඔහු මානත්ථද්ධ ය.
බ්‍රාහ්මණ වංශිකයෝ බොහෝ මාන්නක්කාර ය. තමන් කුලයෙන්, ගෞරවයෙන් ඉහළ ම පිරිසක් ලෙසයි
මේ බ්‍රාහ්මණයන් සිතා සිටින්නේ. එදා ඉන්දියාවේ ප්‍රධාන කුල හතරක් තිබුණා. ඒ කුල
හතරෙන් බ්‍රාහ්මණ කුලය ඉහළ ම කුලය ලෙසයි බ්‍රාහ්මණයන් සිතුවේ.
ජේතවනාරාමයට පැමිණෙන පිරිස දෙස බලා සිටි මානත්ථද්ධ බමුණා "ඇයි මේ තරම් පිරිසක්
බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණෙන්නේ. බුදුරජාණන් වහන්සේ යම්කිසි, විශේෂ යමක්
දන්න, විශේෂ හැකියාවක් තිබෙන කෙනෙක් විය යුතුයි." නැති නම් හැම දිනක ම මෙතරම්
පිරිසක් ජේතවනාරාමයට පැමිණෙන්නට හේතුවක් නැහැ. මානත්ථද්ධ බමුණා අවසානයේ තීරණයකට
පැමිණියා. මාත් යන්න ඕනෑ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට කියලා.
මානත්ථද්ධ බමුණා මෙහෙම සිතිවිල්ලක් ඇති කර ගත්තා.
“මම යනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. එනමුත් උන්වහන්සේ මා සමඟ කතා කළේ නැතිනම්
මා ද කතා කරන්නේ නැහැ”.
එම සිතිවිල්ලත් සිතේ සඟවාගෙන ජේතවනාරාමය දෙසට පිය නැඟුවා.
යමෙක් මෙහෙම සිතිවිල්ලක් ඇති කර ගන්නේ ඇයි? ඒ සිතේ හට ගන්නා මාන්නය නිසයි. " මා සමඟ
යමෙක් කතා කරන්නේ නැත්නම් මා ද කතා කරන්නේ නැහැ." සමහර පුද්ගලයන් තුළ එවන් මාන්න
ස්වභාවයන් පිහිටනවා. ඒ මාන්නය තමයි මෙතැන දී තදබල ලෙස මානත්ථද්ධ බමුණාට ද ඇති වුණේ.
" කොපමණ බලවතෙක් වූව ද මට කතා කළේ නැත්නම් මා ද කතා කරන්නේ නැහැ."
වර්තමාන සමාජය ගත්තත් සමහර පුද්ගලයන් සිතන්නේ එහෙමයි. යමෙක් සමඟ හිනාවෙන්නේ නැහැ.
කතා කරන්නේ නැහැ. සුහදවීමක් නැහැ. එසේ වන්නේ සිතක පවතින දැඩි මාන්නය නිසයි. ධනය,
ඉහළ රැකියාව, වෘත්තිය, රූපය, කුලය ආදී යම් යම් හේතූන් නිස ද අන් අයට වඩා ඒ වත්කම්
මට තිබෙනවා යැයි සිතන නිසා ද විය හැකියි.
මේ බමුණා ද තමාගේ උසස් බව, උත්පත්තිය ගැන කල්පනා කරමින්,
" බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශයේ ක්ෂත්‍රීය කුලයට අයත් කෙනෙක්. අපගේ කුලයට වඩා
පහත්. ඒ නිසා මම මුලින් ම කතා කරන්න ඕනෑ නැහැ. බුදුරජාණන් වහන්සේ'යි මුලින් ම කතා
කරන්න ඕනෑ’යි සිතමින් ජේතවනාරාමයට පැමිණ ධර්ම ශාලාවේ පිරිස අතර ඔහු ද පසෙකින් හිඳ
ගත්තා.
මානත්ථද්ධ බමුණා බුදුරජාණන් වහන්සේ සමඟ වචනයක්වත් කතා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ
ද බමුණා සමඟ කතා කළේ නැහැ. එසේ කතා කළේ නැති නිසා බමුණා කල්පනා කරනවා. “බුදුරජාණන්
වහන්සේ කසිවක් ම දන්නේ නැහැ. ඒ නිසා ධර්මය ශ්‍රවණය කර පලක් නැහැ. මම ආපසු යන්න
යනවා". එලෙස සිතිවිල්ලක් පැමිණියේ බමුණාගේ සිතෙහි තිබෙන ප්‍රශ්නය පිළිබඳ ව
බුදුරජාණන් වහන්සේ කිසිවක් දේශනා කළේ නැති නිසයි.
ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දුටුවා බමුණාගේ සිතිවිල්ල. බුදුරජාණන් වහන්සේ
බමුණාට කතා කළා. මෙසේ ධර්මය දේශනා කළ සේක.
“බ්‍රාහ්මණය, යම් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් යම් තැනකට යනවා නම්, මාන්නය ඇතිව
එතැනට යනවා නම් ඒ කාරණය ඉටු කර ගන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා ම කාර්යයක් ඉෂ්ට කර
ගන්න යම් තැනකට යනවා නම්, ඒ යන විට මාන්නය කියන දේ යටපත් කර ගෙන, තමන්ගේ අවශ්‍යතාව
ඉටුකර ගන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නට අවශ්‍යයයි. එසේ නොවන පුද්ගලයකුට තමන්
අපේක්ෂා කරන දෙය කවදාවත් ඉටු කර ගන්න ලැබෙන්නේ නැහැ” යැයි බුදුරජාණන් වහන්සේ දේශනා
කොට වදාළා.
සිනහව සහ කතාව නැති නම් වචනය කියන්නේ මහ පුදුම දෙයක්. යමෙක් සමඟ හිනාවෙලා කතා
කරන්නේ නම් උදව්වක්, උපකාරයක් නො කරන්නට සිටි පුද්ගලයකුට වුව ද එය ඉටු කර දෙන්නට
තරම් වචනය ශක්ති සම්පන්නයි. වචනය අප හරියට ම හසුරුවන්නේ නම් එයින් ළඟා කර ගන්න
පුළුවන් ප්‍රයෝජන ඉතා ඉහළයි
ඒ වගේ ම මුදලකින් කර ගන්නට බැරි කාර්යයක් වුව ද සමහර විට හිනා වෙලා සුහද ව භාවිත
කරන වචනයට ඉටු කර ගන්නට හැකියාව ඇති වෙනවා.
ඒ වගේ ම තමන්ගේ වචනය පිළිබඳ අනෙකාට ප්‍රසාදයක් ඇති වන්නේ නැති නම්, හිනාවක් නැති
නම්, කොයිතරම් සුදුසුකම් තිබුණත් තමන්ට ඒ දේ නොලැබෙන්නට ඇති ඉඩ වැඩියි. අපගේ
හැසිරීමේ, වචනයේ, ස්වභාවය නිසා අපට කර ගැනීමට අවශ්‍ය දේ නැති ව යන අවස්ථා කොපමණවත්
තිබෙනවා.
මේ නිසා මාන්නය අඩු කර ගෙන නිහතමානී ව යම්කිසි දෙයක් පිළිබඳ ව ක්‍රියා කරන්නේ නම්,
ඒ තමන්ගේ අවශ්‍යතාව ඉටු කර ගන්නට පුළුවන් බවයි මානත්ථද්ධ බමුණාට බුදුරජාණන් වහන්සේ
දේශනා කර සිටියේ.
මේ කාරණය එදා සමාජයට පමණක් නොව වර්තමාන සමාජයටත් එකසේ වැදගත් වෙනවා.
මානන්ථද්ධ බමුණා බුදුරජාණන් වහන්සේ කෙරෙහි මුලින් තිබූ අදහස වෙනස් කර ගත්තා.
බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශාල ගෞරවයක් ඇති කර ගෙන බුදු සිරිපතුල් සිඹිමින් වන්දනා
කරන්නට වුණා.
එසේ වන්දනා කරන බමුණා දුටු අයට හරිම පුදුමයි. අම්මා, තාත්තා, වැඩිහිටියන්,
ගුරුවරුන් වන්දනා කරන්නේ නැති මේ බමුණ අද ඇයි මේ ආකාරයට බුදුරජාණන් වහන්සේට පෙරළි
පෙරළී වන්දනා කරන්නේ කියා.
මෙසේ වන්දනා කරන බමුණට නැඟී සිට ආසනයකින් වාඩිවන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
අසුන්ගත් බමුණා බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විචාළා.
" බුදුරජාණන් වහන්ස, මට ලොකු ආශාවක් තිබෙනවා ඒ, අප ගරු කළ යුත්තේ, පුද පූජා
පැවැත්විය යුත්තේ කාට ද කියලා දැන ගැනීමටයි".
“අම්මා, තාත්තාට ගරු කරන්න. වන්දනා කරන්න. වැඩිහිටියන්ට ගරු කරන්න. තමාගේ
ගුරුවරුන්ට නමස්කාර කරන්න. මේ අයට කවදාවත් මාන්නය පෙන්වන්න එපා."
එසේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ තවදුරටත් ගෞරව කළ යුතු පිරිස පෙන්වා වදාළා. ඒ සියලු
ක්ලේෂයන් ප්‍රහීන කළ, උතුම් වූ රහත් භාවය ලැබූ අයට ද, රහත් භාවය ලබා නැතත්, ඒ
රහත්භාවය ලබා ගැනීම සඳහා උත්සාහ කරන, ඒ සඳහා උනන්දු වන, ඒ සඳහා වීර්යය වඩන යමෙක් වේ
ද අන්න ඒ තැනැත්තාටත් ගරු කරන්න, පුද පූජා පවත්වන්න, සලකන්න යැයි දේශනා කොට වදාළා.
- දීපා පෙරේරා |