[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අති පූජනීය වන්දනීය සර්වඥ ධාතුන් වහන්සේගේ ඉතිහාසය

අති පූජනීය වන්දනීය සර්වඥ ධාතුන් වහන්සේගේ ඉතිහාසය

ශ්‍රී ලාංකේය බෞද්ධ ජනයාගේ පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවගේ ම අසහාය පූජනීය වස්තුව වනාහි සෙංකඩගල පුරවරයේ වැඩ වසන සිරි දළදා වහන්සේ ය. “දළදා හාමුදුරුවෝ” යන භාවාත්මක ගෞරවාදර වදනින් වහරන දන්ත ධාතූන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වශයෙන් එදා සිට පවත්නේ ය.

බුදුරජාණන් වහන්සේ අසූවියේ දී මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ඉතිරි වූ ශාරීරික කොටස් ධාතූන් වහන්සේ නම් වෙති. මෙහිලා දළ යනු දත් ය. ‘දා’ යනු ධාතු ය. එබැවින් දළදා වහන්සේ නම් බුදුරජාණන් වහන්සේගේ දන්තයෝ ය. පාලි භාෂාවෙන් දන්ත ධාතු වන අතර, එහි සංස්කෘතික වචනය දංෂ්ට්‍රා ධාතු ය.

ධාතූන් වහන්සේගේ පැරැණි ම මූලාශ්‍රය, ත්‍රිපිටක පාලියට අයත් දීඝ නිකායේ මහා වග්ගයේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි අන්තර්ගත වන්නේ ය. ඒ පිළිබඳ සංක්ෂිප්තය පහත සඳහන් ය.

මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්වනයේ දී බුදුරජාණන් වහන්සේ නිරුපධිශේෂ පරිනිර්වාණයට පත්වූ සේක. එබැවින් කුසිනාරානුවර මල්ල රජවරු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය අලුත් වස්ත්‍රයකින් වෙළූහ. ඉන්පසු නෙළූ පුළුන්වලින් වෙළූහ. නැවත අලුත් වස්ත්‍රයකින් වෙළා නෙළූ පුළුන්වලින් වෙලූහ. මෙසේ යුගල පන්සියයකින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය වෙළා යකඩ (අයසාව) තෙල් දෙනක බහා, යකඩ දෙනකින් වසා සියලු වර්ගයේ සුවඳ දරින් චිතකයක් තනවා ශ්‍රී දේහය එහි තැන්පත් කළහ.

අසිරිමත් පූජා පවත්වමින් දින සතක් ගත වූ පසු ශ්‍රී දේහයට ගිනි දැල්වීමට මල්ල රජදරුවන් උත්සුක වුවත් නොහැකි විය. පාවා නුවර සිට වැඩම කළ මහාකාශ්‍ය මහරහතන් වහන්සේ දොහොත් නඟා තුන්වටක් චිතකය පැදකුණු කොට වැන්දාහ. ඒ සමඟ ම ඉබේම චිතකය ගිනි ඇවිළිණි. දැවෙන ගිතෙල් හෝ තලතෙල්වල යම් සේ අළු හෝ දැලි නොවන්නේ ද එසේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ උඩු සම හෝ නහර හෝ මිදුළු හෝ දැවුණත් එහි අළු හෝ දැලි නොවීය. එහෙත් ශාරීරික ධාතුන් වහන්සේ ඉතිරි වූහ. මල්ල රජදරුවෝ මෙම ධාතූන් වහන්සේ සන්ථානගාර ශාලාවේ ආරක්ෂා සහිත ව තැන්පත් කොට දින සතක් ම අසීමිත ගෞරවයෙන් පූජා සත්කාර කළහ.

ඉක්බිති ව අජාසත් රජු ද, ලිච්ඡවි රජවරු ද, ශාක්‍ය රජවරු ද, අල්ලකප්ප රටේ බූලි රජවරු ද, රාම ග්‍රාමවාසී කෝලිය රජවරු ද, වේයදීපක බ්‍රාහ්මණ ද, පාවා නුවර මල්ල රජදරුවෝ ද, එහි ගොස් කුසිනාරාව අවට වෙන වෙන ම ධාතු ඉල්ලා පණිවිඩ යැවූහ. මල්ල රජදරුවන් ධාතු නොදී “සටන් කරමුයි” පිළිතුරු යැවූහ. මේ සෑම රජ කෙනෙකුගේ ම පාහේ ගුරුවරයා වූ ද්‍රෝණ නම් බමුණා මේ ධාතු කෝලාහලයට මැදිහත් වී කරුණු කියා, ඔවුන් සමාදාන කොට ධාතු අට කොටසක බෙදා දුන්නේ ය. ධාතු බෙදූ රන්නැළිය ඔහු ගෙන ගියේ ය. ඉන්පසු පැමිණි පිප්පලී නගරවාසී මෞර්ය රජවරු ආදාහනය කළ ස්ථානයෙන් අඟුරු ගෙන ගියහ. මෙසේ ගෙනගිය ධාතු ලාසය සහ අඟුරු තැන්පත් කොට ඒ ඒ රාජ්‍යවල ස්ථූප දහයක් කළහ. සතර දළදා වහන්සේගෙන් එක් දළදාවක් තාවතිංසයෙහි ද, එකක් ගන්ධාරයෙහි ද, එකක් කාලිංගයේ ද, අනෙක නා ලොව ද, සම සතළිස් ධාතූන් ද, කේශ ධාතූන් ද, ලෝම ධාතූන් ද, එක් එක් සක්වළක් පාසා දෙවිවරු රැගෙන ගිය බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ.

දීඝ නිකා අට්ඨකථාවේ සඳහන් පරිදි ද්‍රෝණ බමුණා රන් දෙන විවෘත කොට ඒ ඒ රජදරුවන්ට භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් ප්‍රදර්ශනය කොට ඔවුන්ට නොපෙනෙන සේ දකුණු දළදාව ගෙන හිසේ වෙළුම අතරේ සඟවා ඇත. එය ඔහුට නොදැනෙන පරිදි ශක්‍රයා රැගෙන දෙව්ලොව සිළුමිණි සෑයෙහි (චූලාමණි චෛත්‍යයේ) තැන්පත් කොට ඇත.

තවද අටුවාව විවරණය කරන පරිදි චතස්සො දාඨා ද්වෙ අක්ඛකා, උණ්හීසන්ති ඉමා සත්ත ධාතූයො න විප්පතිරිංසු සෙසා විප්පකිංසුති. තත්ථ සබ්බඛුද්දකා ධාතු සාසපබීජමත්තා අහොසි, මහාධාතු මජ්ඣෙ හින්නතණ්ඩුලමත්තා. අතිමහතී. මජ්කෙධ භින්න මුග්ගබීජමත්තාති” සතර දළදා දෙ අකුදා නළල් පටය යන මේ ධාතුන් වහන්සේ සත් නම නොවිසුරුණහ. අනික් සියල්ල විසිරුණහ. එහි ඉතා කුඩා ම ධාතු අබ බීජ පමණ විය. මහා ධාතු කඩ සහල් පමණ විය. ඉතා මහත් ධාතු මුං පියලි පමණ ය.”

මෙම සතර දළදා වහන්සේගෙන් එක් දළදා වහන්සේ නමක් පුණ්‍ය ජනාධාර ගන්ධාර දේශයට ගෙනගොස් ගන්ධාර රජු විසින් සිංහාසනයෙහි තැන්පත් කොට පුදසත්කාර කරන ලද බව දළදා සිරිතෙහි සඳහන් ය. මෙම ගන්ධාර දේශය වර්තමාන පාකිස්තානයට අයත් කන්දහර් නම් ප්‍රදේශයයි.

බුදුරජාණන් වහන්සේගේ දැවෙන චිතකයෙන් වම් දළදා වහන්සේගේ ඍද්ධියෙන් ලබා ගත් ඛේම රහතන් වහන්සේ එය කාලිංග දේශයේ දන්තපුරයේ බඹදත් නම් රජතුමාට ගෙන ගොස් දුන් බව දළදා සිරිත කියයි.

අසීමිත භක්ත්‍යාදරයෙන් පුදසත්කාර කරමින් සිටි බඹදත් රජු, පරලොව සැපත් වූ කල්හි ඔහුගේ පුත් කසී රජ රාජ්‍යත්වයට පත්ව ඇත. ඔහු ද දළදා වහන්සේට අසීමිත භක්තියෙන් පුද සත්කාර කොට ඇත. මෙසේ රාජ පරපුරෙන් පරපුරට රැක ගෙන එන පරම පූජනීය වම් දළදා වහන්සේ මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කොට තිබේ. එදා කාලිංග දේශය නමින් හැඳින්වූ මේ රාජ්‍යය අද “ඔරිස්සා” නමින් හැඳින්වේ.

ලක්දිව මහසෙන් රජු රජ කරන කාලයේ ඉන්දියාවේ කාලිංග පුරයේ රාජ්‍යය කළේ ගුහසීව රජු ය. මොහු මිථ්‍යා දහම වැලඳ ගත් හෙයින් දන්ත ධාතූන් වහන්සේට කරන පූජා සත්කාර නොකරන ලදී. පසුව දන්ත ධාතූන් වහන්සේගේ ප්‍රාතිහාර්යයන් දැක නැවතත් බුදුදහම වැලඳගෙන පූජා සත්කාරයන් පැවැත්විය.

මෙයින් කිපුණු අන්‍යලබ්ධිකයෝ දඹදිව අගරජ කරන්නා වූ පාණ්ඩව රජු වෙත එළඹ

‘කලිඟු රට තොප අතවැසි ගුහසීව නම් රජෙක් තොප වැනි රජ දරුවන් වැඳ පුදන බ්‍රහ්ම, විෂ්ණු මහේෂ්වර යනාදී ලෝක ප්‍රසිද්ධ දෙවියන්ට නින්දා කොට මිනී ඇටය පුදන්නේ ය.’ කීවෝ යැයි දළදා පූජාවලියේ සඳහන් ය. මෙයින් කෝපයට පත් පාණ්ඩව, තම බෑණා වූ චිත්‍රයාණ නම් ප්‍රාදේශීය රජ සන්නාහ සන්නද්ධව යවා ‘මිනී ඇටය’ වහා ගෙනෙන ලෙස අණ කළේ ය. එහෙත් චිත්‍රයාණ රජු ද දන්ත ධාතූන් වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක සිවුරඟ සෙනඟ සමඟ බුදු දහම වැලඳ ගත්හ.

කෙසේ වුවත් පාණ්ඩව රජ දන්තපුරයෙන් පාටලී පුත්‍රයාට දළදා වහන්සේ ගෙන්වා ගෙන නිවටුන්ගේ අදහස් පරිදි හිංසා, පීඩා, නින්දා අපහාස කළේ ය. එහෙත් ප්‍රාතිහාර්යයන් දැක ඔහු ද බුදු දහම වැලඳගෙන නැවත කාලිංග රජුට ම බාර කළේ ය.

ගුහසීව රජතුමා ජීවිත පරිත්‍යාගයෙන් දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කළා පමණක් නොව තම ඇවෑමෙන් පසු එහි ආරක්ෂාව සඳහා ද දූරදර්ශී ක්‍රියාමාර්ග ගෙන ඇති බව ග්‍රන්ථගත වී ඇති තොරතුරුවලින් හෙළි වෙයි.

තුනුරුවන් කෙරෙහි ප්‍රමුදිත ව සිටි උප්ජයිනි රාජ්‍යයේ රජුගේ පුත් දන්ත කුමරුට ගුහසීව රජ තම දියණිය වූ හේමමාලා කුමරිය සරණ පාවාදී දළදා වහන්සේගේ ආරක්ෂක ධුරයට ද පත් කර ඇත. ගෝඨාභය රජුගේ පුත් වූ මහසෙන් රජුත්, කාලිංග ගුහසීව රජුත් මිත්‍රයකු වශයෙන් සිටි බවත්, මහසෙන් රජු, දන්ත ධාතූන් වහන්සේ අප රටට වැඩම කරවා ගැනීම පිණිස උත්සාහ ගත් බවත් ඉතිහාසගත තොරතුරුවලින් හෙළි වේ. කෙසේ වුවත් ගුහසීව රජු යුද්ධයෙන් මළ පසු දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව පිණිස හේමමාලා, දන්ත කුමරු දම්පතීහු, බමුණු වෙස්ගෙන මහසෙන් රජුගේ පුත් කිත්සිරිමෙවන් රජු දවස දළදා වහන්සේ අප රටට වැඩම කරවූහ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

උඳුවප් අමාවක

 දෙසැම්බර් 30 සඳුදා පූ.භා. 04.02 අමාවක ලබා 31 අඟහරුවාදා පූ.භා. 03.57 ගෙවේ.
 30 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]