[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මවුපිය ගුණ සමුදා සිහිකර වඳිමු සැමදා

දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන ආදරය, සෙනෙහස අප්‍රමාණ ය. වදනින් පැවසීමට ද, මනසින් සිතීමට ද නො හැකි ය.

එම නිසා ම බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට ඇති උතුම් ම වස්තුව තම දරුවන් ලෙස “පුත්තා වත්ථු මනුස්සානං” යනුවෙන් දේශනා කොට වදාළහ. එලෙස ම කරණීය මෙත්ත සූත්‍රයේ දී ද මෙවැනි දේශනාවක් දැකගත හැකි ය.

“මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්තමනුරක්ඛේ
එවම්පි සබ්බභූතේසු
මානසංභාවයේ අපරිමාණං”

මවුපියන් දරුවන් කෙරෙහි පවත්නා වූ ආදරයේ ස්වභාවය සාකච්ඡා කිරීමේ දී මව කෙරෙහි වෙසෙසා අවධානය යොමු කරයි. ඇය තුළ දරුවන් කෙරෙහි පවත්නා වූ මෙත්තා ගුණය විමසීමේ දී ජාතක පොතේ එන සෝනනන්ද ජාතකය සුවිශාල ආලෝකයක් සපයයි. එහි දී පුත්‍ර ඵලය අපේක්ෂාවෙන් සිටින මව, උතුරා යන දරු සෙනෙහසින් සිදුකරන ක්‍රියාකාරකම් මැනවින් සිතුවම් කරයි.

ආකක්ඛමානා පුත්තඵලං - දෙවතාය නමස්සති
නක්ඛත්තානි ච පුච්ඡති - උතුසංවච්ඡරානි ච

පුත්‍ර ඵලය බලාපොරොත්තු වන්නා වූ මව් තොමෝ දෙවියන් වඳියි. නැකැත් ද ඍතු හා අවුරුදු ද විචාරයි.

මේ සියලු ක්‍රියාකාරකම් වර්තමානයේ වුව ද මවක් විසින් අනිවාර්යයෙන් ඉටුකරනු දක්නා ලැබේ. විශේෂයෙන් ප්‍රසිද්ධ මෙන් ම, විවිධ පිළිගැනීම් සහිත විහාරස්ථාන, දේවස්ථාන වෙත මව නිරතුරු පුද පූජාවන් සඳහා යොමු වෙයි. මේ පිළිබඳ මෑතකාලීන ව පඬිවරයකුගේ සටහනක් මෙසේ ය.

“ගමේ අධ්‍යාපනය සහමුලින් ම පන්සල සතු විය. දරුවා කුස තුළ පිළිසිඳ ගැනීමත් සමඟ පන්සලට ගොස් පින්කම්වල නිරත වන අම්මා අනාගත දරුවා හැඩ ගැසීමට පදනම සකස් කළා ය. දරුවා බිහි වු පසු ඔහු විහාරයට ගෙනවුත් භාරහාර ඔප්පුකිරීම් සිදු විය. දරුවාට අකුරු කියවන මුල් ම සමාජානුයෝජනය පන්සල මුල්කොට සිදු විය. ඔහු බුද්ධගජ්ජය, සකස්කඩ ආදී පොත් ද, ජාතක පොත් ද කියවා චර්යා ධර්ම පදනම සකස් කර ගත්තේ ද ආගමික වතාවත් පුහුණුවෙන් මනා ආකල්ප සාර ධර්ම ගොඩනඟා ගත්තේ ද පන්සල ඇසුරිනි.”

මේ ආකාරයට විවිධ ආගමික වතාවත් ඉටු කරමින් මව සිය ගැබ සහ දරුවා ආරක්ෂා කරයි. දරු ප්‍රසූතිය ආසන්න සමයේ අංගුලිමාල පිරිතෙන් ආශිර්වාද රැකවරණය ලබා ගනියි. ඒ ක්‍රියාකාරකම් ජාතක පොත් වහන්සේ මෙසේ පෙන්වා දෙති.

තස්සා උතුසිනාතාය
හොති ගබ්බස්ස වක්කමො
තෙන දොහිළනී හොති
සුහදා තෙන වුච්චති

ඔසප් ව ස්නානය කළා වු ඇයට දරු ගැබ් පිහිටීම් වෙයි. ඒ ගැබින් ඕ තොමෝ දොළ දුක් ඇත්තී වෙයි. එවිට සෙනෙහස උපදී. එහෙයින් මවුතොමෝ “සුහදා” ය කියනු ලැබේ.

ඒ ඒ සමාජ ජීවිතවල දී අපට විවිධ පුද්ගලයින් මුණ ගැසේ. ඔවුන්ගේ ආදරය, සෙනහස ද ලැබේ. ඇතැම් විට එම ආදරය, සෙනෙහස මවගෙන් ලැබෙන සෙනෙහසට වඩා උතුම් සේ අපට සිතෙනු ඇත. එහෙත් ඒ කුමන සෙනෙහසකට හෝ මවගේ සෙනෙහස දෙවැනි කළ නොහැකි ය. ලෝකයා ම පිළිකුල් කළ දෙව්දතුනට ආදරය දැක්වූයේ මව ය. (දෙව්දත් මවට මැනවි)

අංගුලිමාලට සෙනෙහස දැක්වූයේ ද අම්මා ය. ඔබ අසා ඇති රන්බන්ඩා සෙනෙවිරත්නයන් අතින් ලියවුණු ගුණදාස කපුගේ ශූරින්ගේ හඬින් ඔපවත් වූ මේ ගීතය.

නුවර වීදී යට කර ගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ

මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවා ද අම්මේ

නින්දා වැහි වසින කොට, අඟ හිඟකම් දැනෙන කොට, යෝධ ඇලේ දිය බැස්ම සේ බිරිඳගේ සෙනෙහස දෝරෙ ගලා ගියත්, මව් සෙනෙහස කිසිදා එසේ නොවන බව අප පසක් කර ගත යුතුයි.

සංවච්ඡරං වා ඌනංවා - පරිහරිත්වා විජායති
තෙනසා ජනයන්තීති - ජනෙත්තී තෙන වුච්චති

අවුරුද්දක් හෝ ඊට අඩු කාලයක් හෝ ගැබ පරිහරණය කොට දරුවාට නීරෝගී උපතක් ලබා දෙන හෙයින් “ජනෙත්ති” යි කියනු ලැබේ.

ථමව් කිරි දීමෙන් ද, ගී කියා නැළවීමෙන් ද, ශරීරයට හොවාගෙන සුව ස්පර්ශ ඇති කිරීමෙන් සහ අංගපූරණයෙන් ද, අඬන්නා වූ පුත්‍රයා තුටු කරයි. එහෙයින් අම්මා “තොසෙන්තී” යි කියනු ලැබේ.

නැවත දරුණු වූ සුළං ඇති කල්හි ආදරය,සෙනෙහස උපදවා දරුවාට කායික, මානසික පෝෂණය ලබා දෙන හෙයින් අම්මා “පෝසෙන්ති” යැයි කියනු ලැබේ.

මේ ආකාරයට මෙම ජාතක දේශනාවේ දී මවගේ උදාර මාතෘත්වය උදෙසා “සුභදා, ජනෙත්ති, තෝසෙන්තී, පෝසෙන්ති” යන ගෞරව නාම හතරක් ම දායාද කරයි. එපමණකින් නොනැවතී මවගේ යම් ධනයක් වෙයි ද, පියාගේ යම් ධනයක් වෙයි ද, ඒ දෙයාකාර වූ ම ධනය, අපගේ පුත්‍රයාට ම වන්නේ යැයි ආරක්ෂා කිරීමට වෙහෙස වෙයි. පුත්‍රය, මේ ධනය මෙසේ පිළිගනුව. මෙසේ ක්‍රියා කරව, යනාදීන් දරුවාට උරුම ධනය කෙරෙහි ද වෙහෙස වෙයි. එපමණක් ද නොව පුතු යොවුන් වියට පත් වූ කල්හි පරදාරාවන් කෙරෙහි ඇලුම් කොට ගෙදර නො එන්නා වූ පුත්‍රයා එන මග බලමින් වෙහෙස වෙයි.

පමත්තං පරදාරෙසු නීසීථෙ
පත්තයොබ්බනේ
සායං පුත්ත අනායන්තං
ඉති මාතා විහඤ්ඤති.

එවන් වූ මවක්, දරුවකු විසින් පෝෂණය නො කර අත් හරින්නේ නම්, හෙතෙම නිරයේ උපදින බව සෝනනන්ද ජාතකය අපට උගන්වයි.

මේ සියලු ඉගැන්වීම් තුළින් ප්‍රකට වන්නේ මවකගේ හදවතේ දරුවකු තුළ හටගන්නා ආදරණීය ළෙන්ගතුකම යි. සුහදත්වය යි. ආදරය යි. පියා තුළ විකසිත වන්නා වූ මෙත්තා විහරණය ද සීමාන්තික ය. රාහුල කුමරු පැවිදි කළ පසු සුදොවුන් රජුගේ හදවතින් උතුරා ගියේ මේ සැබෑ පීතෘත්වයේ ගුණ සුවඳයි.

“ස්වාමීනි දරුවන් කෙරෙහි පවත්නා පිය සෙනෙහස, සිවිය සිඳ සමට කාවදී. සම සිඳ මසට ද, මස සිඳ නහරට කාවදී. නහර සිඳ ඇටමිඳුළු ඔස්සේ මුළු සිරුර පුරා දිව යයි. එහෙයින් මවුපිය අනුදැනීමකින් තොරව දරුවන් පැවිදි නොකරන සේක්වා.”

පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට
දුක් දෙයි නිබන්දා

පුතු සෙනේ පිතු හද තුළ ම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ
ඇට තුළට වැද ඇට මිදුලු මත
සදා කල් නැත දුක් දෙවන්නේ

මෙවැනි වදන් තුළින් දරුවකු කෙරෙහි පියකුගේ ඇති සෙනෙහස මනාව වටහා ගත හැකි ය.

ඒ සඳහා තවත් නිදසුනකි.

කරුණා ගුණය. “කරුණා” යනු අනුන්ගේ දුක කැමැති නොවන ස්වභාවය යි. අනුන්ගේ දුකේ දී හදවතේ ඇති වන්නා වූ කම්පනය යි. විශේෂයෙන් මව්පියන් දරුවන් දුකට, වේදනාවට පත්වීම අපේක්ෂා නො කරයි. අහිංසක කුමාරයා අංගුලිමාල ලෙසින් සමාජය හමුවේ දෝෂාරෝපණය ලබද්දී සිය මව ඔහු සොයා වනගත වූවා ය. සමාජය හමුවේ කොතෙක් අපහාස උපහාස ලැබුව ද ඒ සියල්ල මව්පියන් දරුවන් වෙනුවෙන් කරුණාවෙන් ඉවසා සිටිනු ඇත.

“මුදිතා” ගුණය නම්, දරුවන්ගේ දියුණුව දැක සතුටු වීමයි. මව්පියන් වයසට පැමිණි කළ ඔවුන්ගේ අපේක්ෂාව මෙයින් ප්‍රකට වෙයි. ඔවුන්ට ඇවැසි වන්නේ සඳ හිරු නොවේ. අවශ්‍ය වන්නේ දරුවන්ගේ ආදරය යි. සෙනෙහස යි. රැකවරණය යි. ඔවුන්ගේ ඇසුර යි.

“උපේක්ඛා” යනු දරුවන් කෙරෙහි මැදිහත් ව ක්‍රියා කිරීමයි. ඇතැම් විට දරුවන් උස් මහත් වූ විට, වත්පොහොසත්කම්වලට පත්වූ විට, මවුපියන් කෙරෙහි ක්‍රියා කරන්නේ අකාරුණික ලෙස ය. නැතහොත් අමානුෂික ලෙස ය. එහෙත් ඒ පිළිබඳ මව්පියන්ගේ ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක් නොමැත. ඇතැම් දරුවන් මව්පියන්ට දෙවැනි බුදුන් සේ සලකන බව ද අප මතකයේ තබා ගත යුතුයි.

මවුපියන්ගේ කාර්යභාරය මැනවින් ප්‍රකට වන දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හාසංඛය සූත්‍රයෙන් දැක ගත හැකි ය. මෙම සූත්‍රයේ දි ගැබ් ගැනීමේ පටන් දරුවාගේ වර්ධනය ක්‍රියාවලිය නූතන වෛද්‍ය විද්‍යාව ද ඉක්මවා යන ආකාරයෙන් දේශනා කොට ඇත.

“මහණෙනි, තුන්දෙනකුගේ සමවායයෙන් ගැබ්ගැනීම සිදු වෙයි. මේ සත්ව ලෝකයෙහි මව්පියෝ සන්නිපතිත වෙත් ද, එසේවුවත් මව ඔසප් නො වූ ව ද , එහි උපදනා සතෙක් නො එළඹියේ වේ ද, එතෙක් ගැබ්ගැනීමක් නො වන්නේ ය. මෙලොව මව්පියෝ සන්නිපතිත වෙත් ද මව ද ඔසප් වූ ද, එසේ වුවත් සත්වයෙක් නො එළඹියේ වේ ද, එතෙකිනුදු ගැබ් ගැනීමක් නොම වෙයි. මහණෙනි, යම් අවස්ථාවෙක මව්පියෝ සන්නිපාතික වෙත් ද, මව ඔසප් වූ ද, සත්වයෙක් එළඹියේත් වේ ද, මෙසේ තුන් දෙනෙකුගේ සන්නිපාතයෙන් ගැබ් ගැනීම වෙයි.”

“මව ගරුබරක් වන ඒ දරුගැබ නවමසක් හෝ දසමසක් මහත් වූ වෙහෙසකින් කුසින් උසුලයි. මහණෙනි, මව ගරුබරක් වන ඒ දරු ගැබ නව මසක්හුගේ හෝ දසමසක්හුගේ ඇවෑමෙන් මහත් වෙහෙසකින් වදයි. උපන්නා වූ ඒ දරුවා සිය මව ලෙහෙයින් පෝෂණය කරන්නී වේ. මහණෙනි, ආර්ය විනයෙහි දි ඒ ලෙහෙය මවගේ කිරි නම් වෙයි.”

“මහණෙනි, ඒ කුමාරයා ශරීරයෙන් වැඩෙන විට, මුහුකුරා ගිය ඉඳුරන් ඇති දරුවා සිය ඉඳුරන් පිනවයි. ඔහු කුමාර ක්‍රීඩා අරඹයි. කෙසේද යත්, නඟුලෙන් සෙල්ලම් කිරීම, දිග දණ්ඩකින් කෙටි දණ්ඩකට ගැසීමේ ක්‍රීඩාව හෙවත් කල්ලි ගැසීම, ගුඩු ගැසීම, කරනම් පැනීම, සුළං පෙත්ත කැරකැවීම, කොළවලින් සාදාගත් නැළියෙන් වැලිමැනීම, සෙල්ලම් රථයෙන් ක්‍රීඩා කිරීම, සෙල්ලම් දුන්නෙත් විද ක්‍රීඩා කිරීම ආදි යම් ළමා ක්‍රීඩා සමූහයක් වෙයි නම් එම ක්‍රීඩාවන් කරයි.”

මේ ආකාරයට දරුවකු ගැබ් ගැනීමේ සිට වර්ධන ක්‍රියාවලිය මෙම සූත්‍රයෙන් විවරණය කරයි. දරුවන් බිහිවීමෙන් පසු මවුපිය සෙවණෙන් විවිධ අත්දැකීම්වලින් ඔහු පෝෂණය ලබයි. අනාගත ජීවිතය ක්‍රමවත් ලෙස පවත්වා ගෙන යාම සඳහා එම අත්දැකීම් බෙහෙවින් ඉවහල් වේ.

විශේෂයෙන් මව මෙහිදී සිය ආදරය, රැකවරණය, දිවි දෙවැනි කොට දරුවා කෙරෙහි පවත්වයි. එම රැකවරණය ක්‍රීඩාශීලි ජීවිතය ඔහුගේ අනාගතය ආලෝකවත් කරවයි. එහෙත්, වර්තමානයේ දරුවා මව්තුරුලෙන් වෙන්වී ච්චර ජචපඥ තුළින් පෝෂණය ලබයි. වයස තුන හතරේ සිට පෙර පාසල, ඉන්පසු ටියුටරිය ළමයාට ක්‍රීඩාශීලි ජීවිතයක් නැත. සමාජ ඇසුරක් ද නැත. ඒ අනුව මේ ක්‍රියාකාරකම්වලින් පමණක් ක්‍රමවත් පුරවැසියකු වේ දැයි සිතීමට කාලය එළඹ ඇත.

සිඟාලක ගෘහපති පුත්‍රයාට දේශනා කොට වදාළ සිඟාලෝවාද සූත්‍රයෙහි ද දරුවන් වෙනුවෙන් මවුපිය කාර්යභාරය මැනවින් නිරූපිත ය.

දරුවන් පාපයෙන් වළක්වාලීම (පාපා නිවාරෙන්ති)
යහපතෙහි පිහිටුවීම (කළ්‍යාණෙ නිවෙසෙන්ති)
ශිල්ප ශාස්ත්‍ර ලබා දීම (සිප්පං සික්ඛාපෙන්ති)
සුදුසු කල ආවාහ විවාහ ඉටු කර දීම (පතිරූපනෙ දාරෙන සංයොජෙන්ති)
සුදුසු අවස්ථාවෙහි මවුපිය දායාද පවරා දීම. (සමයෙ දායජ්ජං නීයාදෙන්ති)

දරුවා සමාජීය සත්ත්වයකු වශයෙන් සමාජයට ඉදිරිපත් කිරීමේ දී මව්පියන්ගේ සානුකම්පිත බව හෙවත් වගකීම මෙයින් ප්‍රකට ය. ඒ අනුව දරුවා සදාචාරවත් දරුවකු ලෙස සමාජයට ඉදිරිපත් කිරීමේ වගකීම ප්‍රකට ය.

මහත් ආයාසයකින් ලොවට බිහිකරනු ලබන දරුවා පාපතරයකු ලෙස සමාජයට ඉදිරිපත් කිරීම සමාජ පිළිලයකි. ඔහු මව්පියන්ට පමණක් නොව මුළු සමාජ දේහයට ම පරිහානිය කැඳවයි. දේවදත්ත පරපුරේ අයකු බවට පත් නොකොට, බෝසත් ගතිගුණ ඇති අයකු කිරීම මවුපියන්ගේ ඉතා වැදගත් කාර්යයකි. අංගුත්තර නිකායේ සුප්පතිකාර සූත්‍රයේ එන ඉගැන්වීම් ද මේ සඳහා ආලෝකය සපය යි. “මහණෙනි, මවුපියවරු දරුවන් බොහෝ උපකාරශීලිහු වෙති. මෙහෙයවන්නෝ වෙති. පෝෂණය කරන්නෝ වෙති. මේ ලෝකය හඳුන්වා දෙන්නෝ වෙති.”

එසේ නම් දරුවන්ට හොඳ නරක කියා දී, දරුවන් නිසි මඟ මෙහෙයවීම මව්පිය කාර්යභාරයකි.

තෙවැනි අංශයෙන් පෙන්වා දී ඇත්තේ දරුවන්ගේ අධ්‍යාපන අංශය කෙරෙහි මවුපිය කාර්යභාරයයි. අතීතයේ ළමා අධ්‍යාපනය ක්‍රියාත්මක වූයේ පන්සල කේන්ද්‍ර කර ගෙන ය. පන්සලෙන් බැහැර අධ්‍යාපනයක් නො වීය. උගත්කම බෙහෙවින් පැවිද්දන්ට සීමා විය. ගිහියන්ට උගැන්මට අවකාශ තිබුණ ද, ගොවිතැන මුල් කර ගත් එකල ජන සමාජය දිවිපෙවෙත සඳහා උසස් අධ්‍යාපනයක් අවශ්‍ය නො වීය. එකල උගත්තේ මෙකල මෙන් රජයේ රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් ම නොවේ. එකල පන්සල ම විද්‍යාස්ථානය විය. පාලනය භික්ෂුව අත ම පැවතුණි. රජවරුන් විසින් එම විද්‍යාස්ථානයන්හි නඩත්තුව සඳහා ගම්වර ද පරිත්‍යාග කළේ ය.

පන්සල මධ්‍යස්ථාන කොට ගොඩනැඟී ගමේ අධ්‍යාපන ක්‍රමයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ පුද්ගල ආධ්‍යාත්මය සංවර්ධනය කිරීම යි. මව්පියන් ප්‍රාර්ථනා කළේ ද ගුණ නැණ බල සහිත පින් ඇති පුතෙකි.

පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතු ම ය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලසට නොම වේ ය දුරු

එහෙත් වර්තමාන අධ්‍යාපන රටාව පන්සලෙන් බැහැර වී ගොසිනි. දහම් පාසල් අධ්‍යාපනය තුළ ද සියයට සියයක් ගුණාත්මක බව රැඳී ඇතැයි සහතික විය නොහැක. නමය, දහය වසරවල දී දරුවකු දහම් පාසල වෙත මව්පියන් යොමු කරවන්නේ කලාතුරකිනි. උපකාරක පන්තිය ඊට වඩා අගේ කරයි. එම නිසා නො බිය ව ප්‍රකාශ කළ හැකි වන්නේ මව්පියන්ට අද අවශ්‍ය වී ඇත්තේ ගුණ දහමින් පිරිපුන් දරුවකු නොව, සහතිකවලින් පිරී ගිය දරුවකු ය. එම නිසා දරුවකුට ක්‍රීඩාවකට, විනෝදයකට, නිවසේ දී අවසර නො මැත. සෞන්දර්යය, පරිසරය කෙරෙහි ළෙන්ගතුකමක් නොමැත. සංවේදී බවෙන් බැහැර, වියළී ගිය, කෘත්‍රිම හදවත් සහිත ඔවුහු ආත්මාර්ථය (ස්වාර්ථය) ම සාධනය කරති. පරාර්ථය අවඥාවට ලක් කරති.

අධ්‍යාපනයේ දී මවුපිය කාර්යභාරය විය යුත්තේ හදවත් සහිත වූවන් මිස, හදවත් රහිත වූවන් බිහි කිරීම නොවේ.

සමාජ ජීවිතයේ දී විවාහයට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. ඒ අනුව සුදුසු වයසේ දී සුදුසු විවාහයක් සඳහා දරුවා මෙහෙයවීම ඉතා වැදගත් වූ වගකීමකි. ඇතැම් අවස්ථාවන්හි දරුවන්ගේ විවාහ ජීවිතය මව්පියන්ගේ කැමැත්ත හෝ ජාතිය. කුලය, වංශය, උගත්, පොහොසත්, වැදගත්, නොවැදගත් ආදිය පමණක් මුල් කර ගෙන සිදු වෙයි. දරුවන්ගේ රුචි අරුචිකම් පිළිබඳ සැලකිලිමත් නොවෙයි. අප දැක ඇති ආකාරයට ලක්ෂ ගණන් වියදම් කොට, රටට අණබෙර ගසා සිදුකරන එවැනි අවාහ විවාහ දෙවැනි ගමනේ දී ම කෙළවර වෙයි. එසේ ම නිවස අපායක් බවට පත් වී සැමදා අඬදබර මැද දිවි ගෙවීමට සිදුවෙයි. අනෙක් පසින් දරුවන්ගේ ඕනෑ එපාකම්වලට පමණක් සිදුකරන ආවාහ විවාහයන් ද සියයට සියයක් සාර්ථක යැයි කිව නො හැකි ය. එසේ නම් මව්පියන්ගේ වගකීම විය යුත්තේ තම වංශය, කුලය පමණක් පෙරමුණේ නො තබා දරුවන්ගේ ඕනෑ එපාකම් ද සලකා බලා ක්‍රියා කිරීමයි. එවිට බොහෝ විට සාර්ථක විවාහ දිවියකට පදනම් වැටෙනු ඇත.

සාමාජික ජීවිතයේ ඉතා වැදගත් තවත් අංශයක් ලෙස විවාහ ජීවිතය හතරවැනි වගන්තියෙන් සාකච්ඡා කළේ ය. සමාජ ජීවිතයේ ඉතා වැදගත් අනෙක් අංශය නම් ආර්ථික ස්ථාවරත්වය යි. “සමයේ දායජ්ජං නියාදෙන්ති” යන්නෙන් අදහස් කරන්නේ එම ආර්ථික ස්ථාවර භාවය යි. එනම් සුදුසු අවස්ථාවෙහි මවුපිය දායාදය දරුවන්ට පවරා දීමේ වගකීම යි.

බුද්ධ දේශනාවට අනුව කහවණු වර්ෂාවක් වැස්සත් මිනිසාගේ ධන තෘෂ්ණාව නො සන්සිඳෙයි.

( න කහාපන වස්සෙන තිත්ති කාමෙසු විජ්ඣති)

එම නිසා දෙමවුපියෝ සතු ධනය නිසි කල, නිසි ආකාරයෙන් දරුවන්ට දායාද කිරීම සිහිනුවණින් කළ යුතු ඉතා වැදගත් වූවෙකි. ඇතැම්විට දායාද පවරා දීමේ දි ක්‍රමවත් ලෙස සිදු නොවූවහොත් සහෝදරකම, අපේකම ආදිය පවා විනාශ වී යයි. ජීවිතවලින් පවා වන්දි ගෙවන ආකාරය නූතන සමාජයෙන් බෙහෙවින් දැක ගත හැකි ය.

එම නිසා මවුපියන්ගේ වගකීම නම්, සදාචාරය, අධ්‍යාපනය, විවාහය, ආර්ථික ස්ථාවරත්වය මෙලොව බිහි කළ දරවා කෙරෙහි සුරක්ෂිත කිරීමයි.

උඳුවප් අමාවක

 දෙසැම්බර් 30 සඳුදා පූ.භා. 04.02 අමාවක ලබා 31 අඟහරුවාදා පූ.භා. 03.57 ගෙවේ.
 30 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]