වැරැදි නොකරනවා වගේ ම කළ වරදින් මිදීමත් ශ්‍රේෂ්ඨයි
සුගති දුගති ලෝකවලට මාරු වෙවී සසරට වැටුණු සත්වයා බොහෝ දුර ගමනක් යනවා. සියලුම දෙනා
මහගෙදර කර ගෙන සිටින්නේ සතර අපායයි.
සසරට වැටුණු සත්වයාගේ මූලික ස්වභාවය වන්නේ වරදට නැමුණු බවයි. සසරේ පුරුදු ලෙස නැවත
නැවත එකම වරද වෙන්න පුළුවන්. සසරේ දෝෂයක් නිසා හෝ අසත්පුරුෂයන්ගේ ඇසුර නිසා හෝ බොහෝ
ගුණ යහපත් අවංක, අහිංසක ව ජීවත් වූ උදවියට පවා සසර ගමන වරදිනවා. අසත්පුරුෂ ඇසුර
නිසා බොහෝවිට බොහෝ දෙනාට තමන්ගේ සිතට එකඟ නැති, තමන්ට, සිතීමට පවා අකැමැති දේ
කරන්නට සිදු වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය වදාළේ සිල්වත්,
පරිපූර්ණ අයට පමණක් නොවේ. ශ්‍රාවකයාගේ පරිපූර්ණත්වය උදෙසායි ධර්මය වදාළේ.
දිනක් භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයේ දහම් දෙසද්දී ගැට කපන්නෝ දෙදෙනෙක් මණ්ඩපයට
ආවා. ඒ අයගේ චේතනාව වූයේ දහම් ඇසීම නොවේ. සොරකමයි. භාග්‍යවතුන් වහන්සේ ඒ සොරුන්ගේ
සිත් දුටුවා. ධර්මය ඇසුණු එක් සොරෙක් ධර්මය අසා
‘මම අදින් පසුව කාගේවත් දේ ගන්නේ නැහැ’ කියා සිතුවා. සත්පුරුෂ ඇසුර නිසා ඔහු සුමඟට
ආවා. එදා කිසි දෙයක් සොරකම් නොකර ගෙදර ගියා.
ඔහු කය වෙහෙසා වැඩ කරන්නට සිතා ගත්තා. ඔහුට ඒ වන විට සොරකම් කළ අතීතයක් තිබෙනවා.
එහෙත් ඔහු දිරිමත් වුණා. ඒ අඩුපාඩුව හදා ගත්තා. තමන්ගේ වරද, වරද ලෙස දුටුවා. වරද
දැක එයින් නැඟී සිටිනවා කියන්නේ උතුම් දෙයක්. ශ්‍රේෂ්ඨ දෙයක්. වරදක් කළ කෙනකුට
නිවැරැදි වෙන්න මේ ධර්මයේ අවස්ථාව තිබෙනවා.
ධර්මයේ කියා දෙනවා වීර්යය, සිහිය, ප්‍රඥාව උපදවා ගත් කෙනාට නිවැරැදි වෙන්න පුළුවන්
බව. කෙනකුගේ ජීවිතයේ යම් වරදක් වන විට හෝ අඩුපාඩුවක් සිදුවන විට හෝ ඒ වරද නොකර
එයින් නැඟී සිටින්නට ඔහු ඇසුරු කරන සමාජය බාධාවක් වෙන්න පුළුවන්. සිත ඇතුළේ ඉපදෙන
කෙලෙස්, නොපෙනෙන ලෝකයේ පීඩා, ආර්ථික ප්‍රශ්න ආදිය ඉදිරියේ නැවත හැරෙන්නට ලොකු
පීඩනයක් එනවා. ඒ හැම දෙය ම යට කර ගෙන නිවැරැදි වෙන්න මහ බලයක් වීර්යයක් තිබිය යුතු
ම යි.
භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේ සිරිමා නමින් නගර ශෝභිනියක් ජීවත් වුණා. ඇය රූපය
නිසා ජීවත් වූ තැනැත්තියක්. ඇයගේ පහස පතාගෙන බොහෝ සිටුවරු, මැති ඇමැතිවරු ආවා. ඇය
වෙනස් වෙද්දී ඇයගේ රූපයට බැඳුණු සල්ලාලයෝ කෙතරම් ඇයට බාධා කරන්න ඇද්ද? ජීවත්වීමට
තිබුණු එකම ආදායම් මාර්ගය අතහැර දැමීමට ඇයට කෙතරම් ශක්තියක්, වීර්යයක්, ප්‍රඥාවක්
ඕනෑ ද? එතුමිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට අඩු වයසින් කලුරිය කොට තව්තිසා
දෙව්ලොව ඉපදුණා.
දිනක් ඒ දේවතාවිය භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීමට පැමිණියා. එකත්පසව හිඳ මෙසේ
කියා සිටියා.
“ස්වාමීනී, මම දැන් ධර්මය දියුණූු කරමින් සිටින්නේ. උතුම් සමාධිය තමා මගේ කුසල යානය
වුණේ. ස්වාමීනි, සමාධිය මත පිහිටලා තමයි මම දහම් මාර්ගයේ අංග වැඩුවේ” කියා පැවසුවා.
සුළු කලකට පෙර ඇය සල්ලාලයන් පිරිවරා ගෙන සිටි තැනැත්තියක්. අතීතය සිහිපත් වීමෙන්
ඉපදෙන දුක්ඛ දෝමනස්සයන් සියල්ල අමතක කොට ඇය බුදු සසුනේ සමාධිය වැඩුවා. එනිසා වරදක්
නොකර සිටීම වගේ ම වරදින් අත මිදීමත් කෙතරම් ශ්‍රේෂ්ඨ දෙයක් ද? මේ යුගයේ පංචසීලය
ආරක්ෂා කිරීම පවා සසරේ පුණ්‍ය විපාකයක් විය හැකියි. |