උඳුවප් අමාවක
පෝ දා 2024-12-30
විනය නැති තැන...
පසුගිය දා තරුණ දරුවකුගේ සිය දිවි නසා ගැනීමේ සිදුවීමක්
වාර්තා වුණි. වයස අවුරුදු විස්සක් තරම් වූ මේ තරුණයා සිය දිවි
නසා ගැනීමට හේතු වූ සිදුවීම මවුපියන් විසින් ඔහුට යතුරුපැදියක්
මිලදී ගෙන නොදීම බව ලැව් ගින්නක් සේ පැතිර ගියේ ය. අහිංසක
මව්පියන් ඒ දරුවාගේ මළ සිරුර අසල හඬා වැළපුණේ තමන්ට ඒ සා
වත්කමක් නොවන බවත්, ණය තුරුස් වී හෝ යතුරු පැදියක් ගෙන දීමට
උනන්දු නොවූයේ තරුණ වයසේ පසුවන සිය එකම පුතුගේ ආරක්ෂාව ගැන
සිතමින් බවත් ය.
මිය ගිය තරුණයාගේ ආදාහනය සිදු කළ මොහොතේ ඔහුගේ යහළුවන් ඔහුට
ගෞරවය දැක්වූයේ අමුතුම ආකාරයකට ය. ඒ, තරුණයන් පිරිසක් එක් වී
යතුරු පැදි සමූහයකින් ආදාහනාගාර භූමිය අසලට පැමිණ නළා හඬවමින්,
රතිඤ්ඤා දල්වමින් ය.
මේ අභාග්‍ය සම්පන්න හැසිරීම මියගිය දරුවාට කළ අගෞරවයක් බව
වටහා ගන්නට තරම් නුවණක් ඔවුනට නොවී ය. මෙවැනි හැසිරීම් ඔවුන්
තුළ විනයක්, හික්මීමක් නැතිකමේ ප්‍රතිඵල ය. ජීවිතයට විනය,
හික්මීම නැති කල තමන් කරන්නේ කුමක් ද? කියන්නේ කුමක් ද? තැනට
සුදුසු දෙය කුමක් ද? නුසුදුසු දෙය කුමක් ද? යන්න පිළිබඳ
හැඟීමක් නොවේ. තමන් ම හරි යැයි, තමන් තරම් අය නොවේ යැයි සිතන
ඇතැම් තරුණ පිරිස් බලපුළුවන්කාරකම් පෙන්වන්නේ ඉතා අශීලාචාර ලෙස
ය.
සීලාචාරකම යනු විනය යි. හික්මීම යි. බුදුරජාණන් වහන්සේ එක්
අවස්ථාවක දේශනා කොට වදාළේ ශාසනයේ ආයුෂය විනය වන බව ය.
උන්වහන්සේ විනයවත් බව ඉතා අගය කොට වදාළහ. පැවිදි විනය, ගිහි
විනය ලෙස ගිහි පැවිදි පිරිස්හි විනය රැකගත යුතු ආකාරය පෙන්වා
වදාළේ එය යම් කෙනකුගේ, යම් ආයතනයක පැවැත්ම තීරණය කරන බැවිනි.
පුද්ගලයකු තුළ විනය නොවේ නම් ඔහු පිරිහීමට පත්වේ. ඔහු
ජීවත්වන පවුල, ඇසුරු කරන අය පිරිහීමට පත්වේ. ඔහු අනුව යන සමාජය
ද පිරිහේ. සමාජයේ පිරිහීම රටේ ද පිරිහීම වේ.
විනය ශික්ෂණය පුරුදු කළ යුතු කුඩා වියේ දී ම ය. මවුපිය
වැඩිහිටියන් අවිනය වූයේ නම් ඒ නිවසේ හැදෙන දරුවන් ද යන්නේ ඒ මඟ
ය. පාසලට, දහම් පාසලට, පොදු සමාජයට ගියත් ඔවුහු ප්‍රදර්ශනය
කරන්නේ ඒ හැසිරීම් ය.
කුසගින්නට ආහාර ගන්නා තැන සිට නිවසේ කුදු මහත් සෑම කටයුත්තක
දී ම විනයවත් බව පුරුදු කළ යුතු ය. තමන්ගේ මවුපියන්ට,
වැඩිහිටියන්ට ගෞරව කරන්නට, ඔවුන් හමුවේ විනීත ව ගනුදෙනු කරන්නට
කුඩා දරුවාට විනයක් තිබිය යුතු ය. ඇඳුම පැළඳුම, ගමන බිමන, කතා
බහ මේ සියල්ල තුළ ශික්ෂාකාමී බව තිබිය යුතු ය.
තරගයක දී, ක්‍රීඩාවක දී ජය පරාජය දරා ගන්නට, ලැබීම්,
නොලැබීම් දරා ගන්නට විනයක් නොතිබුණේ නම් අවසානය දුක්ඛිත විය
හැකි ය. තමන්ට ලැබෙන දේ බෙදා හදා ගන්නට විනයක් නොතිබුණේ නම්
අවසානය දුක්ඛිත විය හැකි ය. ගැටුම් ඇතිවීම, අමනාපකම් වර්ධනය
වීම වැළැක්විය නොහැකි ය.
අසල්වැසියන්ට කරදර නොවන ලෙස ජීවත් වන්නට විනය සැකසීම
අත්‍යවශ්‍ය ය. විනයවත් පුද්ගලයා ටොෆි කොලයක් තරම් දෙයක් හෝ
අනිසි ලෙස බැහැර නොකරයි. මේ තැනට කුඩා කල සිට ම හුරු වනවා නම්
ඔහු විනයගරුක ය. තරුණ විය, වැඩිහිටි විය, මහලු විය ද විනය
ගරුකය. එවැනි සමාජයක මළ සිරුරකට පවා නිසි ගෞරවය හිමි වනු ඇත. |