[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සම්බුදු සිරිපා වන්දනා සමය ඇරඹෙයි

සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟ ය. එතැන් සිට ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා කාලය සිරිපා වන්දනා සමය යි. චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් ඉටු කිරීමෙන් පසු වන්දනා සමය ආරම්භ වෙයි. පැල්මඩුල්ල ගල්පොත්තාවල පන්සලේත්, රත්නපුර මහසමන් දේවාලයේත්, සිරිපා පුද බිමේත් සිදු කරන ආගමික වතාවත් නියමිත ඒ ඒ අවස්ථාවන්හි දී අනුපිළිවෙලින් පැවැත්වේ. වන්දනා ගමන් යාම ලාංකික බෞද්ධ ජනජීවිතය හා සබැඳි විශේෂ අංගයකි. එකල අද වැනි ප්‍රවාහන පහසුකම් නොතිබුණි. එබැවින් ජනතාව හුරුපුරුදු වී සිටියේ පා ගමනින් ම වන්දනා ගමන් යාමටයි. සිරිපා වන්දනා ගමනට අනෙකුත් සියලු වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් හිමි වුණි. ගමන ආරම්භ කරන්නේ සුමන සමන් දෙවියන්ට භාරහාර වීමෙන් පසුවයි. ඇතැම්විට තම ඉඩකඩම් පවා ඥාතීන්ට පවරා දී සිරිපා වන්දනාවේ යෙදීම පුරාතන සිරිතයි. මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතුරෙන් වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය වන්නේ ශ්‍රී පාදස්ථානය යි. එම දුෂ්කරතාව නිසා ම සිරිපා වන්දනාව තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන්වලින් ලැබෙන කුසලයට වඩා උසස් යැයි වන්දනාකරුවෝ අදහති. එබැවින් පිරිවර ජනයා ද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී මහත් උනන්දුවකින් සැදැහැවත්හු සිරිපා තරණය කරති. සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවක දී වත් භාවිතයට නොගන්නා සිරිපා වන්දනා ගමන සඳහා ම පමණක් ආවේණික වූ විශේෂ වදන් මාලාවක් ජනගත වී පවතියි. හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම සිරිපා පුදබිමේ දී “ඉර සේවය” නමින් හඳුන්වයි. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හි දී “කරුණාවයි” කියමින් ආශීර්වාද කර ගන්නා අතර, මෙය වෙනත් අවස්ථාවක “ආයුබෝවන්” යැයි කීම හා සමාන ය. සිය ජීවිතයේ පළමුවරට සිරිපා වන්දනාවේ යන තරුණයා කෝඩුකාරයා ය. වැඩිහිටියා දඬුකෝඩු නම් වන අතර, කුඩා දරුවෙකු හෝ දැරියක් කිරිකෝඩු ලෙස හඳුන්වයි. තද අඳුර සහිත ව වළාකුළු පැතිර යාම “කෝඩේ” ලෙසත් වැසි වසින බව හැඟවීම “ගඟුල බානවා” ලෙසත් හැඳින්වේ.


උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]