[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තමන්ගේ ගෞරවය රැකෙන්න අනුන්ගේ ගෞරවය රකින්න

තමන්ගේ ගෞරවය රැකෙන්න අනුන්ගේ ගෞරවය රකින්න

අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකාට ගරු කිරීම සදාචාර සම්පන්න සමාජයක් තුළ දැකිය හැකි ශිෂ්ට සම්පන්න ලක්ෂණයකි. බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් ගෞරවය ලැබීම හා ගෞරවය දැක්වීම යන දෙ අංශයට ම අදාළ සංසිද්ධීන් රාශියක් දැකගත හැක.

බෝසතාණන් වහන්සේ උතුම් වූ සම්බෝධිය ලැබීමෙන් පසු මාතෘ දිව්‍යරාජයා ලෙස උපත ලබා සිටි තම මෑණියන් වහන්සේ වෙත ගොස් ධර්මය දේශනා කිරීම කළගුණ දැක්වීමක් මෙන් ම තම මෑණියන්ට දැක් වූ උතුම් ගෞරවයකි.

වත්මන් සමාජය දෙස බලන විට අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකාට ගෞරවය දැක්වීම සමාජයෙන් ක්‍රමයෙන් දුරස් වන බව පෙනීයයි. සමාජයේ කුඩා ම ඒකකය වන පවුල් සංස්ථාව තුළ සිට ම මෙම දුර්වලතාව දැකගත හැකි ය. ස්වාමියා බිරිඳටත්, බිරිඳ ස්වාමියාටත් අන්‍යොන්‍ය වශයෙන් ගෞරව නොදැක්වීම හේතුවෙන් නොයෙක් ව්‍යාකූලතාවන් පවුල් ඒකකය තුළ පැනනැඟී ඇති බව පෙනීයයි. බුදු දහම තුළ දී ද පෙන්වා දෙනුයේ එවැනි අන්‍යොන්‍ය ගරුත්වයකින් තොර ස්වාමියෙක් හා බිරිඳක් ප්‍රේතයකු හා ප්‍රේතියක එකට වාසය කිරීමක් වැනි බවයි.

එමෙන් ම යහපත් සිහි නුවණින්, එකිනෙකාට ගරු කරමින් වාසය කරන ස්වාමියා හා බිරිඳ දෙවියකු හා දේවතාවියක එකට වාසය කිරීමක් වැනි බව දක්වා තිබේ.

නකුල මාතාව හා නකුල පිතාව උදාහරණ ලෙස පෙන්වා දිය හැක.

පොදු මානව සමාජය තුළ ද, අධ්‍යාපන ආයතන තුළ ද, රාජ්‍ය හා පෞද්ගලික රැකියා ස්ථානයන් හී ද ගුරුවරු - ශිෂ්‍යයන් වශයෙන් හා සේව්‍ය - සේවක වශයෙන් එකිනෙකාට ගෞරව දක්වීම, අනෙකාගේ අදහසට ගරුකිරීම, වැනි ආචාරශීලීත්වයන් යම්තාක් දුරට දුරස්ව යමින් ඇති බවක් පෙනී යයි. ඒ සියල්ලෙන් ම දැක ගත හැකි වන්නේ සමාජ පරිහානිය යි.

තමාගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට යමෙක් උත්සාහ වන්නේ නම්, එය තමාට කර ගන්නා යහපතකි. එවැනි පුද්ගලයන් අනෙකාගේ ගෞරවය ගැන ද නොඅඩුව ම සැලකිලිමත් වනු ඇත.

සමාජය ලස්සන කිරීමටත්, අවලස්සන කිරීමටත් ගෞරවය දැක්වීම හා අගෞරව කිරීම යන සංකල්පයන්ට හැකි බව ඉහත කරුණුවලින් අවබෝධ වේ.

තමාගේ අගුණ වසා ගනීමට තවෙකකුගේ අගුණ පැතිර වීම, තවෙකෙකු අපහසුතාවට පත් කරමින් කේලාම් කීම හා තැන තැන විවේචනය කිරීම වැනි කරුණු නිතර ම වත්මන් සමාජයෙන් දැකගත හැක. එවැනි හීන වූ, පහත් ලාමක ගති පැවතුම් තමා තුළින් ඉස්මතු වන බව අවබෝධ කොට ඉගෙන එවැනි ලාමක කටයුතුවලින් දුරස් වීමට තමන් උත්සාහවත් විය යුතු ය.

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]