උඳුවප් පුර පසළොස්වක පෝ දා
2024-12-14
ආකල්පමය වෙනසකට යමු
බෞද්ධ සමාජයක විෂමචාරී හැසිරීම්වලට ඉඩක් නැත. එහි මිනිසුන් තමන්ටත්, අනුන්ටත්
අනර්ථයක්, අයහපතක් නොවන ලෙස තමන්ගේ ඇවතුම්, පැවතුම් හසුරුවා ගනී. එය ජීවී අජීවී
සමස්ත පරිසරයට ම අදාළ ය. ‘පතිරූප දේස වාසෝච’ ජීවත්වීමට සුදුසු ම පරිසරයක් නිර්මාණය
වන්නේ ඒ මිනිසත් ධර්ම වැඩිදියුණු කළ තරමට ය.
කෙනකුගේ හැසිරීම තීරණය වන්නේ ඔහුගේ හෝ ඇයගේ හෝ ආකල්ප අනුව ය. බහ තෝරන වියේ සිට ම
තමන් අසන දකින දේ, ජීවත්වන පරිසරය තුළ ටිකෙන් ටික ගොඩනැඟෙන ආකල්පයන්ට විශේෂයෙන්
මවුපියන්ගේ ආභාෂය සේ ම උපතින් ගෙන එන පුරුදු ද බලපෑම් කරයි.
මෙලොව එළිය දකින බිළිඳාට වැඩිම බලපෑමක් කරන්නේ මවුපිය දෙදෙනා ය. සිව් බඹ විහරණ
ගුණයෙන් පිරිපුන්, පූර්වාචාර්යවරුන් ලෙස මේ උතුම් චරිත, තම ජීවිතය හසුරුවන ආකාරය
දරුවාගේ යහ ආකල්ප සංවර්ධනයට කරන මැදිහත්වීම ප්‍රබල ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට
වදාළේ ‘අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා’ බාලයන් ඇසුරු නොකරන ලෙසට ය. පණ්ඩිතයන්
ඇසුරු කරන ලෙසට ය. බාලයා නම් අඥානයා ය. එවැනි අයකු කෙරෙහි යහපත් ආකල්ප නොවේ.
අසත්පුරුෂ ගති ප්‍රදර්ශනය කෙරේ. එවැන්නකුගේ ඇසුරට පත් වන්නාගේ ඉරණම විසඳෙන්නේ ද
අභාග්‍ය සම්පන්න ලෙස ය. යහ ආකල්ප සඳහා ඇසුරු කළ යුතු වන්නේ සත්පුරුෂයන් ය.
මේ අනුව සමාජයක ජීවත් වන කෙනෙක් වැරැදි කරනවා නම්, හික්මීමෙන් තොර නම්, වංක නම්,
අශීලාචාර නම් ඒ පුද්ගලයා වෙත පමණක් චෝදනා කිරීම පල රහිත ය. ස්වභාවයෙන් ම අනුකරණශීලි
මිනිස් සත්වයා තමන්ට උකහා ගන්නේ ඇසෙන පෙනෙන දේ බැවිනි. එසේ නම් යහපත් ආකල්ප වර්ධනය
කිරීමෙහි ලා සෑම සමාජ සාමාජිකයකු වෙත ම පැවරෙන වගකීම සුළුපටු නැත. එය පැහැරහරින
තාක් සමාජය අවුල් වියවුල් ය. දූෂිත ය. අපිරිසුදු ය.
අපේ සමාජයේ අතීතයට සාපේක්ෂ ව අද බොහෝ දුර්ගුණ ඉස්මතු වෙමින් තිබෙන බව පෙනේ. අතීතයේ
අපේ මුතුන් මිත්තෝ කෙළ පිඬක් හෝ අනිසි තැන බැහැර නොකළහ. ඔවුහු දහදිය හෙළා වැව්
අමුණු ඉදි කළා පමණක් නොව ඒවා ආදරයෙන් රැක බලා ගත්හ.ගහකොළ සිටවූහ. ඔවුන් තුළ වූයේ
අනාගත පරපුරේ සුරක්ෂිත බව පිළිබඳ ආකල්පය යි. ජීවත් වන සොබා දහමට කෘතගුණ දැක්වීමේ
ආකල්පය යි.
අද ඈත පිටිසර ගමක වුව ද වැවක්, ඇළක් දොළක් වේ නම් බොහෝ තන්හි අපවිත්‍ර ය. එක්කෝ වැව
පුරා මහා කැලෑව ය. පොලිතින්, ප්ලාස්ටික් බඳුන් තැන තැන විසිරී ඇත. මං මාවත්වල
තත්ත්වය ඊට නොදෙවෙනි ය. අතීතයේ ස්වර්ණාභරණයෙන් සැරසුණු සුන්දර කාන්තාවකට පවා
පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා තනි මඟ නිරුපද්‍රිත ව යන්නට රැකවරණය ලැබුණේ
එකල මිනිසුන් තුළ වූ උතුම් ආකල්ප නිස යි.
සමාජය ජරා ජීර්ණ යැයි අනුන්ට දොස් කීම පල රහිත ය. අනුන් දෙස බලා නොසිට තමන් ආකල්ප
වෙනසකට යා යුතු ය. තමන් ඒ තුළ පොහොසත් වීමට ගන්නා උත්සාහය දිනෙක සමාජය ම ඔසවා තබනු
ඇත. |