[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දුගතිය ඉක්මවා සුගතියට යන කාන්තා රත්නය

දුගතිය ඉක්මවා සුගතියට යන කාන්තා රත්නය

අද උඳුවප් පුන් පෝ දිනයයි. ශ්‍රී ලාංකික කාන්තාවට විශේෂ වූ දිනයක් ද වෙනවා. ඒ අපගේ සංඝමිත්තා මහ රහතන් තෙරණින් වහන්සේ උතුම් ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩමවා ගෙන අප මාතෘභූමියට වැඩමවීම සහ උන්වහන්සේගේ වැඩමවීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවගේ විමුක්තිය පිණිස උතුම් පැවිද්ද ලැබීමයි.

එය මේ ලෝකයේ කාන්තාවකට ලබන්නට පුළුවන් උතුම් ම, ශ්‍රේෂ්ඨ ම දෙයක්. සඟමිත් රහත් තෙරණියගේ වැඩමවීමෙන් බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා, විමුක්තිය ශාක්ෂාත් කර ගන්නට ශ්‍රී ලාංකික කාන්තාව වාසනාවන්ත වූණා.

දුකෙන්, විඩාවෙන් වෙහෙසී සිටින කාන්තාවට ජීවතේ ගුණ දහම් දියුණු කර ගෙන, දුකින් නිදහස් වීමේ මාවතයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ. තම ජීවිතය තුළ යම් කැපකිරීමක්, දරා ගැනීමක් කර ජීවිතයේ ගුණදහම් දියුණු කර ගත්තොත් ඇයට මුළු සසර ම ජය ගත හැකි වෙන බවයි ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළේ.

මහා කාරුණිකයන් වහන්සේ කාන්තාවන් කෙරෙහි අනුකම්පාවෙන් ම ඇතැම් සූත්‍ර දේශනාවල, ජාතක කතාවන්හි ඔවුන් තුළ කැපී පෙනෙන දුර්ගුණ පෙන්වා දුන්නා. ක්‍රෝධ කරන ස්වභාවය, ඉරිසියාව, ගුණමකුකම, චපලබව ආදී දුර්ගුණ දුරු කර ගෙන ගුණදහම් වඩන ස්ත්‍රියට, නිවන කරා යන මාවත තුළ පවා සුරක්ෂිතභාවය, ගෞරවනීයභාවය, තහවුරු කරමින් ස්ත්‍රියකට ගරු කරන සමාජයක් තුළ නො පිරිහෙන ආකාරයට මාතෘත්වයේ උතුම් බව ආදී කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

කාන්තාව කියන්නේ ස්වභාවයෙන් ම දුක උරුම කර ගත් තැනැත්තියක් බව රහසක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා තුළ අපට කියා දෙනවා, ස්ත්‍රියකට පමණක් ආවේණික වූ දුක් තිබෙන බව.

තමන්ගේ මවුපියන්, සහෝදරයන්ගෙන් වෙන්වෙලා ස්වාමියාගේ නිවසට යාම ස්ත්‍රියකට දුකක්. ඒ වගේ ම ඇයට ඔසප්වීමේ දුකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ඇය දරුගැබක් දරා ගෙන මහත් දුකකට, වේදනාවකට මුහුණ දෙනවා. ඒ වගේ ම ඇය මරණයත් සමඟ පොර බදමින් දරුවන් බිහි කරනවා. ඒ වගේ ම මුළු ජීවිත කාලය ම ස්වාමියාට උපස්ථාන කරන්න ඇයට සිදුවෙනවා. මේ සියල්ල ම කාන්තාවට ආවේණික වූ දුක්.

එහෙත් මේ ලෝකයට පහළ වූ මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ ඒ අසාධාරණයට මුහුණ දුන් ස්ත්‍රියට පිහිට වුණා. නිසි තැන ලබා දුන්නා. කාන්තාවට විමුක්තිය ලබා දුන්නා.

භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ස්ත්‍රියට මෙලොව වගේ ම පරලොවත් දිනන්න පුළුවන්. යම් ස්ත්‍රියක් ශ්‍රද්ධා සම්පන්න නම්, ඇය සියලු වැඩ කටයුතු මැද අප්‍රමාදී වෙනවා. ශාස්තෘන් වහන්සේ අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න ආදී ගුණ වශයෙන් සිතමින් සරණ යනවා.

ඒ වගේ ම ඇය සීලවන්ත යි. සතුන් මැරීමෙන්, සොරකමින්, වැරැදිකාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන්, වැළකී, ගිහි ගෙදර සීලවන්ත ව ජීවත් වෙනවා.

ආර්යය ශ්‍රාවිකාව ත්‍යාගවන්ත යි. ඇය මසුරුමල දුරු කරමින් ගිහි ගෙදර වාසය කරන්නේ. ඕනෑම කෙනෙක් තමන් වෙතින් යමක් ඉල්ලා එනවා නම්, එය දෙන්න තරම් ඇය ත්‍යාග සම්පන්නයි.

ඒ වගේම ත්‍යාගසම්පන්න ඇය මේ ලෝකයේ හැම දෙයක් ම අනිත්‍ය ලෙස දකිමින් එය සිහි කරනවා. කිසිම දෙයක් තමා වසඟයේ පවත්වන්න බැරි බව මෙනෙහි කරනවා. දුක ක්ෂය කරන ප්‍රඥාවක් ඇයට තිබෙනවා.

එනිසා යම් ස්ත්‍රියක් යථාර්ථයට මුහුණ දී සියලු දේ දන්නා ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට කටයුතු කරන්නට සිතට ශක්තිය ගත්තොත් අදවන් පෝ දිනක මෙලොව පරලොව දිනූ කාන්තා රත්නයක් බවට ඇය පත් වෙනවා.

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]