[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

නීලගිරි සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාවට හෝමාගම "ධර්ම රශ්මි" පොසොන් කලාපයට එන්න

තථාගත අමා මෑණි බුදුපියාණන් වහන්සේ සකල ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් පන්සාළිස් වසක් පුරා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අනුබුදු මිහිඳු මා හිමියන් විසින් ලක්දිවට රැගෙන එනු ලැබුවේ අදවන් පින්බර පොසොන් පෝ දාක ය. ඒ අරුත්බර ජීවන දර්ශනය හදවතත්, බුද්ධියත් එකට යා කරන්නක් විය. ඒ උතුම් දර්ශනයෙන් සුපෝෂිත වූ සිත් ඇති අපේ මුතුන් මිත්තෝ ජාතියට දායාද කළ, ලොවක් පුදුම කරවන අප්‍රමාණ ආගමික නිර්මාණ අදටත් බොදු හදවත් නිවා සනසමින් දේශයේ උරුමය, අභිමානය නිහඬව ම සන්නිවේදනය කරයි. බොදු දනන්ගේ පූජෝපහාරය වෙනුවෙන් ධාතුන් වහන්සේ, උතුම් මහ රහත් ධාතුන් වහන්සේ වඩා හිඳුවමින් නිමැවුණ මහා දාගැබ් වහන්සේ ඒ වටිනාකම් අතර මුල්තැනට පැමිණේ. ඒ අතරින් ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු නීලගිරි දාගැබ් වහන්සේ බොදු දනෝ ගෞරවයෙන් සිහිපත් කරති. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති නීලගිරි දාගැබ් වහන්සේ අයත් බිම රෝහණ රාජධානියේ ප්‍රධාන පුදබිමක් වන්නට ඇතැයි සැලකේ. මොණරාගල සිට සියඹලාණ්ඩුවට පැමිණ, එහි සිට පොතුවිල් මාර්ගයේ ගොස් මහකළුගොල්ල හුළංනුගේද පසුකර ගිය විට ලාහුගල මුණ ගැසේ. ලාහුගල ප්‍රධාන මාර්ගයේ 10 කණුවෙන් හැරී කොන්ක්‍රීට් මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ දුරින් හමුවන හැඩඔය පසුකර මඳක් ඉදිරියට ගිය තැන නීලගිරි පුරාවිද්‍යා බෞද්ධ පුදබිමට ළඟා විය හැකි ය.

සිරි මිහිඳු රන් හිරු මඬල පායා ලක් දෙරණ දම් දිවයිනක් වූ දා

අද දවස අනුබුදු මිහිඳු බුදු පුතුන් සිහියට නැගෙන මිස්සක පව්ව පිරිමදිමින් හමන පවනින් සිත් සැනසෙන පොසොන් අමා සංදේශය රැගෙන පුන්සඳ උදාවන පින්බර දවසයි. අපි අද දෙවනපෑතිස් නිරිඳුන් ඇතුළු ලක්වැසියන්ට අභිමානනීය නවෝදයේ මාවත එකලු කළ, සිරි මිහිඳු රන් හිරුමඬල පායා මෙපින් බිම දිදුලන දහම් විමානයක් බවට පත්කළ පූජනීය ඉතිහාසය පහන් සිතින් සිහිකොට ගුණ නැණ බෙලෙන් ප්‍රබුද්ධ වෙමු. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ මතු පස්වා දහස් කාලයක් සම්බුදු සසුන සුරැකෙන ලොව ඇති එකම තැන මේ කුඩා දිවයින බවත්, දහම් සෝ රජිඳු, සිරි මිහිඳු සමිඳු සහ දෙවනපෑතිස් නිරිඳු එහිලා පුරෝගාමීන් වන බවත් දුටු සේක. ඒ උදෙසා පඤ්චමහා අධිෂ්ඨානයන් හා කුඩා අධිෂ්ඨාන බොහොමයක් පිහිටුවා පිරිනිවන් වඩින මොහොතේ සක්දෙවිඳු අමතා මිහිඳු හිමියන් ලක්දිව වඩින ගමනේ දී එහිලා සහාය වන්න යැයි ද වදාළහ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දෙකකට වැඩි කාලයක් ගත වූ පසු දඹදිව රජ පැමිණි ධර්මාශෝක රජතුමා මුළු භාරතයම එක්සේසත් කළේ ය. මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේගේ ඇසුර ලබා සම්බුදු සසුනෙහි සිත පහදවා වෙහෙර විහාර අසූහාරදහසක් කර නිති සිව්පසයෙන් මහසඟන පුදා ශ්‍රමණවේශධාරීන් සැටදහසක් නෙරපා ශාසනය ශෝධනය කළේ ය. තුන්වැනි ධර්ම සංගායනාව කරවා සාමන්ත රාජ්‍යයන් ගණනාවකට ධර්මදූත භික්ෂූන් යොමු කරවීය. ශාසනයේ උරුමය ලබනු රිසිව තම පුත් මිහිඳු කුමරුන් හා දියණිය සංඝමිත්තාවන් සසුන්ගත කරවූ දම්සෝ නිරිඳු අපමණ ලෝක ශාසනික මෙහෙවරක් සිදුකොට පසුකලෙක ලක්දිව උපත ලබා පැවිදිව නිවන් දුටුවේ ය.

ලාංකික ථෙරවාද සම්ප්‍රදායේ පදනම චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි

නිර්මල ථෙරවාද බුදු දහම ලක් දිවට නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබුවේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේය. වංශකථා සාධක අනුව අනුබුදු මහින්ද මහාරහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිසෙහි ලංකාගමනය සිදු වූයේ පූර්ව සැළසුමකට අනුවය. දීපවංශය හා මහාවංශය වාර්තා කරන පරිදි ලක්දිව වැඩම කළ අනුබුදු මහින්ද හිමියෝ බුදුදහම පිළිබඳ මෙතෙක් ගැඹුරු අවබෝධයක් නොතිබූ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිසට බුදුරදුන්ගේ ධර්මය මුල්වරට හඳුන්වාදීම සඳහා සුදුසුම සූත්‍ර දේශනාව වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තෝරා ගත්හ. බුදු දහම පිළිබඳ අවබෝධයක් නොමැති ආධුනිකයකුට ඒ ගැන මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා එම සූත්‍රය බෙහෙවින් ප්‍රමාණවත් වේ. එහි සමස්ථ අන්තර්ගතය අනුව එමඟින් ත්‍රිවිධ රත්නය හා එහි අනන්‍යතාව, බෞද්ධ විමුක්ති මාර්ගය පිළිබඳ ගැඹුරු වැටහීමක් ලබාගත හැකිය. මෙම සූත්‍රයට සවන් යොමු කළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිසට බුදු දහම සහ භික්‍ෂූන් වහන්සේ පිළිබඳ ලබා ගත් මූලික අවබෝධය මිහිඳු හිමියන් හා ඉදිරි කටයුතුවල දී පහසුවක් වූ බව ඉන් අනතුරව අනුරාධපුර මහා විහාරය කේන්ද්‍ර කරගෙන සිදූ වූ ආගමික හා ශාසනික සේවා මඟින් ප්‍රකට වේ.

අභිමානවත් දේශයක ඇරඹුම සනිටුහන් කළ මහා පුදබිම ඓතිහාසික මිස්සක පව්ව

මිහින්තලාව වූ කලි මිහිඳු මා හිමියන් ප්‍රමුඛ මහ රහතන් වහන්සේ අපමණ සංඛ්‍යාවක් වැඩ විසූ පුණ්‍ය භූමියකි. පුරාණ අනුරාධපුර යුගයේ දී මෙම ප්‍රදේශය මිස්සක ලෙස හඳුන්වා ඇත්තේ පියකරු වන රොදක් වූ බැවිනි. මේ අසල වූ ගම්මානය එකල දොරමඬලාගම ලෙස හඳුන්වා ඇත. බෞද්ධයන් අතර මිහින්තලා පුණ්‍ය භූමිය මිහින්තලා කන්ද ලෙස ප්‍රචළිත වූව ද එය කඳු ශිඛර සතරකින් සමන්විත වේ. ඒවා නම් මිහින්තලා කන්ද, ඇත්වෙහෙර කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා රාජගිරි ලෙන කන්දයි. ආරම්භයේ මේ කඳු පන්ති ඇතුළත් මහා වනරොද මිහිඳු මා හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මහා ආරාමයක් බවට පත්ව ඇත. අනතුරුව රජ පැමිණි බොහෝ රාජකීයයන් මේ පුදබිම සංවර්ධනය කර තිබේ. දෙවනපෑතිස් රජුගේ පළමු රාජ අනුග්‍රහයෙන් ගොඩනැඟුණු මේ මහා පුදබිමේ උත්තිය රජු (ක්‍රි.පූ. 210-200) මිහිඳු මා හිමියන්ගේ පිරිනිවණින් පසු උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත්කර මිහිඳු සෑය ගොඩනඟා තිබේ. ලජ්ජතිස්ස රජු (ක්‍රි.පූ. 119-109) කණ්ඨක චේතිය සඳහා කළුගලින් වටදාගෙයක් කරවා ඇත. ඒ සඳහා කහවනු ලක්‍ෂයක් වැය කර තිබේ. කූටකණ්ණතිස්ස රජු (ක්‍රි.පූ. 44-22) මේ පුදබිමේ මහා උපෝස්ථාගාරයක් කරවා තිබේ. භාතිකාභය රජු (ක්‍රි.පූ. 22-ක්‍රි.ව.7) මිහින්තලා සෑගිරි විහාරයේ සංඝයා වහන්සේ දහසකට සලාක බත් නිතිපතා ලබාදී තිබේ. මහා දාඨික මහා නාග රජු (ක්‍රි.ව. 7-19) මෙම පුදබිමේ අම්බස්ථල චෛත්‍ය කරවා ඇත. එසේම ගිරිබණ්ඩ නම් මහා පූජාවක් ද සිදුකර තිබේ.

දෙව් මිනිස් සැම දෙනට ප්‍රිය වුණ දෙවන පෑතිස් නිරිඳු සසොබන

මුටසීව රජතුමාගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත් දේවානම් පියතිස්ස රජතුමා මෙකල රාජ්‍යත්වය හෙබවීය. මිහින්තලා පර්වතයේ දී අහම්බෙන් දේවානම් පියතිස්ස රජතුමාත්, මිහිඳු තෙරුන් ප්‍රමුඛ දූත පිරිසත් මුණ ගැසේ. රජතුමා එදින මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසට ආගන්තුක සත්කාර කරමින් පිළිගනියි. දෙදෙනාගේ දැන අඳුනා ගැනීම කෙතරම් ප්‍රබල වූයේ ද යන්න සමන්තපාසාදිකාව පැහැදිලිව විස්තර කර දෙයි. පසු දින රාජමාලිගයට වැඩම කරන මිහිඳු මහරහතන් වහන්සේ රජතුමා ඇතුළු රාජකීයන්ට ධර්ම දේශනා කරති. මෙලෙස දවස් ගණනාවක් රජමාලිගාවේ ධර්මය දේශනා කරන අතර ක්‍රමයෙන් පිරිස වැඩිවීම නිසා වෙනම ශාලාවක් පවා ඉදිකිරීමට සිදු වේ. මිහිඳු මහරහතන් වහන්සේගේ දක්ෂ ධර්ම කථිකත්වයත්, ආධ්‍යාත්මික ගුණ සමුදායත්, පිළිවෙළත්, රාජ්‍ය පාලනය, ආර්ථිකය හා ආගම් පිළිබඳ ව පැවැති දැනුමත් රජතුමාගේ වැඩි පැහැදීමට හේතු විය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]