අභිමානවත් දේශයක ඇරඹුම සනිටුහන් කළ මහා පුදබිම ඓතිහාසික මිස්සක පව්ව
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
විද්‍යාපති
කේ. උදේනි අරුණසිරි
මිහින්තලාව වූ කලි මිහිඳු මා හිමියන් ප්‍රමුඛ මහ රහතන් වහන්සේ අපමණ සංඛ්‍යාවක් වැඩ
විසූ පුණ්‍ය භූමියකි. පුරාණ අනුරාධපුර යුගයේ දී මෙම ප්‍රදේශය මිස්සක ලෙස හඳුන්වා
ඇත්තේ පියකරු වන රොදක් වූ බැවිනි. මේ අසල වූ ගම්මානය එකල දොරමඬලාගම ලෙස හඳුන්වා ඇත.
බෞද්ධයන් අතර මිහින්තලා පුණ්‍ය භූමිය මිහින්තලා කන්ද ලෙස ප්‍රචළිත වූව ද එය කඳු
ශිඛර සතරකින් සමන්විත වේ. ඒවා නම් මිහින්තලා කන්ද, ඇත්වෙහෙර කන්ද, ආනෙයිකුට්ටි කන්ද
හා රාජගිරි ලෙන කන්දයි. ආරම්භයේ මේ කඳු පන්ති ඇතුළත් මහා වනරොද මිහිඳු මා හිමියන්ගේ
මඟ පෙන්වීම යටතේ මහා ආරාමයක් බවට පත්ව ඇත. අනතුරුව රජ පැමිණි බොහෝ රාජකීයයන් මේ
පුදබිම සංවර්ධනය කර තිබේ.
දෙවනපෑතිස් රජුගේ පළමු රාජ අනුග්‍රහයෙන් ගොඩනැඟුණු මේ මහා පුදබිමේ උත්තිය රජු
(ක්‍රි.පූ. 210-200) මිහිඳු මා හිමියන්ගේ පිරිනිවණින් පසු උන්වහන්සේගේ භෂ්මාවශේෂ
තැන්පත්කර මිහිඳු සෑය ගොඩනඟා තිබේ. ලජ්ජතිස්ස රජු (ක්‍රි.පූ. 119-109) කණ්ඨක චේතිය
සඳහා කළුගලින් වටදාගෙයක් කරවා ඇත. ඒ සඳහා කහවනු ලක්‍ෂයක් වැය කර තිබේ. කූටකණ්ණතිස්ස
රජු (ක්‍රි.පූ. 44-22) මේ පුදබිමේ මහා උපෝස්ථාගාරයක් කරවා තිබේ. භාතිකාභය රජු
(ක්‍රි.පූ. 22-ක්‍රි.ව.7) මිහින්තලා සෑගිරි විහාරයේ සංඝයා වහන්සේ දහසකට සලාක බත්
නිතිපතා ලබාදී තිබේ.
මහා දාඨික මහා නාග රජු (ක්‍රි.ව. 7-19) මෙම පුදබිමේ අම්බස්ථල චෛත්‍ය කරවා ඇත. එසේම
ගිරිබණ්ඩ නම් මහා පූජාවක් ද සිදුකර තිබේ. කනිරජානුතිස්ස රජු (ආමණ්ඩ ගාමිණී අගය
රජුගේ බාල සොහොයුරු)(ක්‍රි.ව. 29-32) චේතියගිරි විහාරයෙහි උපෝස්ථාගාරයෙහි අධිකරණය
විනිශ්චය කර ඇත. එම කාර්යයට භික්‍ෂූන් විරුද්ධත්වය ද ප්‍රකාශකර තිබේ. වසභ රජු
(ක්‍රි.ව. 67-111) චේතියගිරි විහාරය ඇතුළු ස්ථාන හතරක දහසක් පහන් දැල්වූ බව සඳහන්
වේ.
කණ්ඨතිස්ස රජු (ක්‍රි.ව. 167-186) අම්බස්ථලයෙහි චේතියඝරය කරවා ඇති බව සඳහන් වූව ද
බොහෝ දුරට මෙහිදී සිදුවී ඇත්තේ පූර්වයේ එහි තිබූ චේතියඝරය ප්‍රතිසංස්කරණයක් බව
පෙනේ. ගෝඨාභය රජු (ක්‍රි.ව.249-262) අම්බස්ථලයෙහි දාගෙය පිළිසකර කර තිබේ.
ජෙට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 263-273) කාලමත්තික වැව සෑගිරියට පූජාකර මහා වෙසක් උළෙලක්
ද පවත්වා ඇත. මේ ආදි වශයෙන් මිහින්තලා පුදබිමේ ආරම්භයේ සිට ම බොහෝ රාජකීයන් බොහෝ
පුද පූජාවන් සිදුකර ඇති බව හඳුනා ගත හැකිවේ.
ඓතිහාසික විකාශනයේ දී මේ පින්බිමට එකතු වූ අංගෝපාංග අතර පහත සඳහන් වස්තූන්
පුරාවිද්‍යාත්මක, ආගමික හා සෞන්දර්යාත්මක වශයෙන් අතිශය වැදගත් නිර්මාණයක් ලෙස
දෘශ්‍ය වේ. මේවා පසුගිය සියවසක කාලයක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම්
හා සංරක්ෂණ මගින් තහවුරු කර ගත් ඒවා වෙති.
පැරැණි රෝහල
ක්‍රි.ව. 5 වන සියවස පමණ වන විට මෙම ආරාමයේ භික්‍ෂූන් වහන්සේලා දෙදහසක් පමණ වැඩ
සිටි බව ෆාහියන් දේශාටන වාර්තාවේ සඳහන්වේ. ඒ අනුව ඒසා විශාල භික්‍ෂූ පිරිසකට
අනේකවිධ පහසුකම් මෙම ආරාමයේ සපුරා තිබෙන්නට ඇත. චූලවංශයට අනුව ක්‍රි.ව. 853-887
කාලයේ රජ කළ දෙවන සේන රජු සෑගිරියේ වෙදහල කරවා තිබේ. නමුදු මෙම වෙදහල ඉදිකිරීමට
පුර්වයේ ද මෙම භූමියේ වෙදහලක් තිබෙන්නට ඇති බව අනුමාන කළ හැකි වේ.
මිහින්තලා පුවරු ලිපියෙන් එකල පැවැති රෝහල් ක්‍රමය පිළිබඳ තොරතුරු රාශියක් හෙළිදරව්
වේ. වෛද්‍යවරයකුට දෙතිසෑ හේනෙන් නින්ද ගම් වශයෙන් පෑලක් ද, තිස ගමින් කොටසක් ද,
කුණ්ඩල වෙදෙක්හට කිරියෙන් භාගයක් ද, දමිය ගමින් කොටසක් ද දෙන ලෙස එහි නියම කොට ඇත.
මෙම ගොඩනැඟිල්ලේ දිග අඩි 118 ක් හා පළල අඩි 98 ක් වේ.
මෙම වෙදහළ තුළ විවිධ ප්‍රමාණයේ කාමර තනවා තිබී ඇත. මෙහි බෙහෙත් ඔරුවක් ද දක්නට ඇත.
මෙම වෙදහලේ නේවාසික කොටසක්, මැද මිදුලක්, බුදු මැදුරක්, දාන ශාලාවක්, බෙහෙත්
ගබඩාවක්, උණුපැන් ස්නානාගාරයක් ගොඩනඟා තිබූ බවට නටබුන් ශේෂව ඇත.
පැරැණි පියගැට පෙළ
මිහින්තලා පුදබිමට පැමිණෙන දෙස් විදෙස් සැදැහැවතුන්ගේ හා සෞන්දර්යවාදීන්ගේ නෙත්
පැහැර ගන්නා අපූර්වතම නිර්මාණයක් ලෙස විවිධ දිශාවන්ට යොමුවී ඇති පියගැට පෙළ පද්ධති
පෙන්වාදිය හැකි ය. එහි මුඛ්‍ය සෝපාන පන්තිය ආරම්භයේ සිට මැද මළුව තෙක් විහිදී යන
අතර පිහිටිගල කැපීමෙන් හා කළුගල් පඩි එකතු කිරීමෙන් මෙය නිර්මාණය කර තිබේ. මෙහි
දක්නට ලැබෙන ශිලාමය පඩි ගණන 1840 කි. මැද මිදුලෙන් අවසන්වන මෙම පියගැටපෙළ නැවත
අම්බස්ථල දාගැබ දක්වා ගමන් කරයි. අම්බස්ථල මළුවේ සිට එය මහා සෑය වෙත නැවත විහිදී
යයි. මෙම භූමියේ තවත් ඉපැරැණි පියගැට පන්ති කිහිපයක් ම වන අතර ඉන් එක් පියගැට
පන්තියක් කණ්ඨක චේතිය දක්වා ගමන් කරයි.
ආරාමික ගොඩනැඟිල්ල
පැරැණි ආරෝග්‍ය ශාලාව සහ පියගැට පෙළ අතර ඉපැරැණි ගොඩනැඟිල්ලක ශේෂයන් පවතින අතර, එය
බොහෝදුරට භික්‍ෂූ ආවාසයක් ලෙස පැවත ඇති බව පෙනේ. අඩි 125 ක් පමණ සම දිග පළලින් යුතු
මෙය දෙමහල් වූවාට සැක නැත. මෙහි මධ්‍යයේ ප්‍රතිමා ගෘහයක් සහ එහි සතර දෙස පිරිවෙන් 4
ක් වූ බවට සාධක වේ.
කණ්ඨක චේතිය
මිහින්තලා පුදබිමේ වන ආගමික, පුරාවිද්‍යාත්මක හා කලාත්මක වශයෙන් අතිශය වැදගත්
නිර්මාණයක් ලෙස කණ්ඨක චේතිය හඳුනාගත හැකි වේ. මෙම ස්ථූපය කරවූයේ කවරෙක් ද යන්න
පිළිබඳ ඉතිහාසයේ පවතින්නේ සැකයකි. දේවානම්පියතිස්ස රජු මෙම චේතිය අවට අටසැට ගල්ලෙන්
පිහිටුවා තිබේ.
එසේම මහා දාඨික මහා නාග රජු මෙම චේතිය සඳහා ආදායම් මාර්ග දෙකක් පවරා දුන් බවට
ශිලාලේඛනයක් ද වේ. එම ලිපිය හඳුනා ගැනීමට පූර්වයේ මෙම ස්ථූපය හඳුන්වා තිබූයේ
කිරිබඩපවු දාගැබ ලෙස ය. ලජ්ජතිස්ස රජු මේ චේතියට කංචුකයක් කරවා තිබේ. අඩි 425 ක
වටප්‍රමාණයකින් හා ශේෂ උස අඩි 40 ක් වන මෙම චේතියේ අලංකෘතම කොටස වන්නේ එහි වාහල්කඩ
සතරයි. ඉන් දෙකක් වර්තමානයේ දී ආරක්‍ෂා වී පවතින අතර, ඒවාහි කැටයම් විශිෂ්ට කලාකෘති
ලෙස හඳුන්වාදීම අතිශයෝක්තියක් නොවේ. වාහල්කඩ දෙපස ගල්කණු දෙක බැගින් වන අතර, එහි
මල් රටා, ලියරටා, මානව, සත්ව හා පක්ෂී රූප සම්පිණ්ඩනය කර ඇත. මෙරට අතීත මූර්ති හා
කැටයම් කලාවේ පැරැණිතම හා විශිෂ්ටතම නිදර්ශනයක් ලෙස මෙම ස්ථූපයේ වාහල්කඩ දැක්විය
හැකි ය.
අට සැට ලෙන්
මෙරට සම්බුදු සසුන ව්‍යාප්තියේ ආරම්භක අවධියේ ගොඩනැඟිලි නිර්මාණ තාක්‍ෂණය දියුණු
තලයක නොතිබූ බැවින් හා වර්ධනය වූ සංඝයාට කඩිනමින් ආවාස පහසුකම් සලසා දිය යුතුව
පැවැති බැවින් ස්වභාවික ගල්ලෙන් මනාව සකස් කර ජලය ඇතුළට කාන්දු නොවන ලෙස ලෙන ඉහළින්
කටාරයක් කොටා ඉදිරිපස බිත්ති බැඳ ආවාස ලෙස සකස්කර මහා සංඝයාට පූජා කර තබේ.
එහි සමාරම්භය මිහින්තලා පුදබිමෙන් සිදුව ඇත. දෙවන පෑතිස් රජු මිහිඳු මා හිමියන්
ප්‍රමුඛ භික්‍ෂූ සංඝයාට කණ්ඨක චේතිය වටා වූ කඳු බෑවුම්හි පිහිටි හැටඅටක් වූ ලෙන්
මෙසේ මනාව සකස් කර පූජාකර ඇත. රජු ද, රාජකීය පවුලේ ඥාතීන් ද හා සැදැහැවතුන් ද මෙම
ලෙන් පූජාවට බැතියෙන් දායකවී තිබෙන බව එම ලෙන්හි පවතින පූර්ව බ්‍රාහ්මී ලේඛනවලින්
තහවුරු වේ.
දාන ශාලාව
නිවන සාක්‍ෂාත් කර ගනු පිණිස උතුම් වූ සම්බුදු සසුනට ඇතුළත් ව මෙම ආරාමය තුළ වැඩ
වාසය කරන ලද දහසක් සංඛ්‍යාත සංඝ පීතෘවරු උදෙසා දන් ලබා දීමට සැකසූ දාන ශාලාවක
නටබුුන් ද මේ බිමෙහි ශේෂ වී ඇත. මෙම දාන ශාලාවේ පරිපාලනය පිළිබඳ තොරතුරු රාශියක්
හතරවැනි මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ ඇතුළත් වේ. දිගින් අඩි 114 ක් හා
පළලින් අඩි 77 ක් වන මෙම ගොඩනැඟිල්ල මධ්‍යයේ ගල් අතුරා සකසන ලද මැද මිදුලක් ද වේ.
දකුණු අන්තයෙහි දන් පිසූ මුළුතැන්ගෙය ද, බටහිරින් ගබඩා කාමරය හා නැගෙනහිර දෙසින්
බත් ඔරු දෙකක් ද වේ. දානශාලාවට ජලය රැගෙන ආ ජල පිහිල්ල හා පාත්‍ර තබා තිබූ බවට
සැලකිය හැකි ගල්පඩි මතවන අවතල කැපුම් ද සුවිශේෂී වේ. මෙහි සේවය පිණිස දෙසීයක
පිරිසක් සිටි බව මිහිඳු රජුගේ පුවරු ලිපයෙන් සනාථ වේ.
සිංහ පොකුණ
මෙය පොකුණක් ලෙස ව්‍යවහාරයේ පැවතිය ද පිහිල්ලක් ලෙස හැඳීන්වීම වඩා සුදුසු වේ. පසු
පාද යුග්මයෙන් සිටගෙන සිටින සිංහරුව මුඛයෙන් ජලය පිටවන ආකාරයට මෙම ජල පිහිල්ල
නිර්මාණය කර තිබේ. ඉහළින් වන නාග පොකුණේ සිට නල මාර්ග ඔස්සේ මෙම පිහිල්ලට ජලය
රැගෙනවිත් තිබේ. මෙම පිහිල්ල භික්‍ෂූන්ගේ ස්නානය පිණිස තනවා තිබෙන්නට ඇත. සිංහ
පොකුණ වටා ලීස්තරයක සත්වරූප හා මානව රුප ආශ්‍රයෙන් කැටයම යොදා තිබේ. එහි නළුවන් හා
සංගීත භාණ්ඩ වාදකයන් රූපවත් වේ.
සන්නිපාත ශාලාව
මෙය නූතන රැස්වීම් ශාලාවකට සමාන කළ හැකි අතර භික්‍ෂූන් වහන්සේලාගේ ආරාමික ජීවිතයේ
ගැටලු සාකච්ඡා කිරීම සඳහා සහ ආගමික කාර්යභාරයන් සඳහා රැස්වීමට මෙම ගොඩනැඟිලි විශේෂය
භාවිත කර තිබේ. පැත්තක දිග අඩි 63 ක් වන මෙම ගොඩනැඟිල්ලේ ශේෂ නටබුුන් අතර එහි වහලය
දරා සිටි ගල්කණු පෙන්වාදිය හැකි ය. එකල මෙහි කුළුණු 64 ක් තිබූ බව වාස්තු
විද්‍යානුකූලව අවබෝධ කර ගත හැකි වේ. සිවු දිශාවෙන් දොරටු වන මෙහි මැද ආසනයක් ද වේ.
ධාතු මන්දිරය
මෙම ගොඩනැඟිල්ල මිහින්තලා පුදබිමේ ධාතූන් වහන්සේ තැන්පත් කර වන්දනා කරන ලද ස්ථානය
ලෙස හඳුනාගත හැකි වේ. දාන ශාලාවට ඉහළින් පිහිටි මෙය චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලකි.
ධාතු මන්දිරය සතර දෙසින් කුඩා ස්ථූප හතරක නටබුන් ද වේ. මෙහිවන ගල්කණු අනුව ඉහළ
මහලක් ද තිබූ බව අනුමාන කළ හැකි වේ.
ආරාධනා ගල
මිහින්තලා පුදබිමට පැමිණෙන සියලුම බැතිමතුන් කුමන අපහසුතාවයක් තමන් වෙත පැවතිය ද
මෙම කඳු ශිඛරයට ගොඩවීම සිරිතක් කරගෙන තිබෙන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. මිහිඳු
මා හිමියන් දෙවනපෑතිස් රජුට තිස්ස ලෙස ආමන්ත්‍රණය කරන ලද්දේ මම පර්වත මස්තකයේ සිට
බව ජනප්‍රවාදිත අදහසකි. එම නිසා ආරාධනා ගලට හිමිවන්නේ අතිශය වැදගත් කමකි. තවත් එක්
මතවාදයක් පවතිනුයේ මිහිඳු මා හිමියන්ගේ පළමු ධර්ම දේශනයට පැමිණෙන ලෙස සුමන
සාමණේරයන් දෙවියන්ට ආරාධනා කරන ලද්දේ මෙම පර්වතයේ සිට බව ය. එම නිසා මෙම පර්වතය
ආරාධනා ගල ලෙස නම් වූ බව එම මතයේ වේ.
ශිලා චේතිය
මෙම ස්ථූපය පුරාණයේ වටදාගෙයකින් ද සමන්විතව තිබී ඇති අතර දාගැබ වටා අලංකාර කුළුණු
හිසින් යුතු ගල්කණු පේළි දෙකක් වේ. මෙම ස්ථූපය මහාදාඨික මහා නාග රජු විසින්
පළමුවැනි සියවසේ දී ඉදිකරන ලදැයි සැලකේ.
මිහිඳු ගුහාව
මිහිඳු මා හිමියන් භාවනායෝගී ව විවේකී සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙස ප්‍රචළිතය.
ලෙන තුළ වන ගල් තලාවේ මනාව අසුන්ගත හැකි ලෙන මනාව ඔප මට්ටම් කර සාදන ලද ආසනයක් වේ.
මිහිඳු ගුහාවට පිවිස එම ආසනය මත හිඳගත් පසු හාත්පස දිස්වන්නේ මනස්කාන්ත දර්ශනයකි.
එය සිත සමාධිගත කිරීමට දිව්‍ය ඔසුවක් වැනි ය.
මිහිඳු සෑය
මෙම ස්ථූපය මෙරට පැරැණිතම ස්ථූපයක් ලෙස සලකන අතර උත්තිය රජු විසින් කරවන ලද්දකි.
මිහිඳු මා හිමියන්ගේ පරිනිර්වාණයෙන් පසු උත්තිය රජු විසින් උන්වහන්සේගේ භෂ්මාවශේෂ
තැන්පත් කර ස්ථූපයක් කරවා ඇත.
මෙම ස්ථූපය කැණීම් කිරීමේදී ධාතු ගර්භයෙහි තිබී බුදු පිළිමයක් හා මැටි කරඬුවක් ලැබී
ඇති අතර එම කරඬුව තුළ තිබූ රන් කරඬුවක රන් සුරයක් තිබී හමුවී ඇත. ඉන් සොයා ගත්
ධාතූන් වහන්සේ එකල විහාරාධිපතිව වැඩ විසූ හිමිනමට භාරදී තිබේ.
සිතුවම් දාගැබ
මෙහි ධාතු ගර්භයේ බිත්තිවල තිබී සිතුවම් සමුහයක් සොයාගෙන ඇති අතර ඒවා 8 වැනි සියවසට
අයත් බව නිගමනය වී තිබේ. මෙම ධාතු ගර්භයට පහළින් තවත් ධාතු ගර්භයක් හමුවී ඇති අතර
එය ප්‍රමාණයෙන් කුඩා එකකි. මෙම ස්ථූපයේ තිබී සොයාගත් ධාතු ගර්භ සිතුවම් කොටස්
වර්තමානයේ මිහින්තලාවේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.
මහා සෑය
මිහින්තලා කඳු මුදුනත දක්නට ලැබෙන ස්ථූපය මහා සෑය නම් වන අතර එහි නිර්මාපකයා වන්නේ
මහා දාඨික මහා නාග රජු ය. වර්තමානයේ මෙය ප්‍රතිසංස්කරණය කර ස්වේත වර්ණයෙන් දිස්වේ.
ජනප්‍රවාදිත මතය වන්නේ මහා සෑයේ බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව නිදන්කර ඇත යන්නයි.
පූජාවලියේ සහ මිහින්තලා පුවරු ලිපියේ මෙම සෑය අම්බුළු දාගැබ ලෙස දක්වා තිබේ. මෙහි
විශ්කම්භය අඩි 136 ක් ද උස අඩි 45 ක් ද වේ. 1890 දී මෙහි කොත් කැරැල්ල සම්පූර්ණයෙන්
ම ගරා වැටී ඇති අතර පසුකාලයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ
වර්තමාන තත්වයට ප්‍රතිසංස්කරණය කර තිබේ.
නාග පොකුණ
නාග පෙන හයක් සහිත පොකුණ නාග පොකුණ නම් වන අතර කඳු ශිඛර මතින් ගලා හැලෙන ජලය
එකතුවීමෙන් මෙය පිරේ. චූලවංශයට අනුව මෙම නාග පොකුණ පළමුවැනි අග්ගබෝධි රජු විසින්
කරවා ඇත. මිහිඳු මා හිමියන් මෙම පොකුණෙන් ස්නානය කර ඇති බව ද වංශකතා සාධක වේ.
ඇත් වෙහෙර
මෙම පුණ්‍ය භූමියේ වන ඉහළ ම කඳු ශිඛරයේ පිහිටා ඇත්තේ ඇත් වෙහෙරයි. මෙම ඇත්වෙහෙර
කන්දෙහි වන ඇත්වෙහෙරේ විශ්කම්භය මීටර 27 කි. නටබුුන්ව පැවැති මෙම දාගැබ 1964 දී
නැවත ප්‍රතිසංස්කරණය කර තිබේ.
ඉඳීකටු සෑය
මෙම දාගැබ සහිත කොටසේ දාගැබ ද්විත්වයක් පවතින අතර ඉන් විශාලතම දාගැබ වන්නේ ඉඳීකටු
සෑයයි. එය සතරැස් ගල් පීඨිකාවක් මත ගොඩනඟා ඇති අතර මළුවේ දිග හා පළල අඩි 40 ක් වේ.
පේසා වළළු කළු ගලින් නිර්මිත වන අතර ගර්භය කොටස ගඩොලින් නිමවා ඇත. නටබුන්ව පැවැති
මෙම දාගැබ 1923 වර්ෂයේදී ප්‍රතිසංස්කරණයට ලක්ව තිබේ. මෙම ස්ථූපය කැණීම් කිරීමේදී 8
වන සියවසට අයත් මහායාන පාඨ සහිත තඹ තහඩු හමුවී ඇත. ඒ අනුව මෙය මහායානික ආගමික
භක්තිකයන් ගොඩනැගූ ස්ථූපයක් ලෙස සැලකේ.
කළුදිය පොකුණ
මෙම ස්ථානයේ ආරාමයක නටබුුන් ශේෂව පවතී. භාවනායෝගී භික්‍ෂූන් වැඩ වාසය කරන ලද
ප්‍රධානඝර ගොඩනැඟිලි සම්ප්‍රදායේ ඉදිකිරීම් මෙහි දක්නට ලැබෙන අතර ඒවා 10 වන සියවසට
අයත් බවට අනුමාන කරයි. සක්මන් මළු, ප්‍රාසාද, ඝන්ඨාඝර, වැසිකිළි මෙම භූමිය පුරා
විහිද තිබේ. කඳු ශිඛර මතින් ගලා එන සිහිල් ජලය කළුදිය පොකුණට එකතුවන අතර හාත්පසවන
දැවැන්ත වෘක්ෂයන්ගේ සෙවණ නිසා ජලය අඳුරු පැහැගැන්වීම මත පොකුණට මෙම නාමය ලැබී ඇති
බවට ජනප්‍රවාදිත වේ. මෙම පොකුණ අඩි 200 ක් පමණ දිගින් හා අඩි 70 ක් පමණ පළලින්
යුක්ත වේ.
|