[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දෙව් මිනිස් සැම දෙනට ප්‍රිය වුණ දෙවන පෑතිස් නිරිඳු සසොබන

දෙව් මිනිස් සැම දෙනට ප්‍රිය වුණ දෙවන පෑතිස් නිරිඳු සසොබන

මුටසීව රජතුමාගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත් දේවානම් පියතිස්ස රජතුමා මෙකල රාජ්‍යත්වය හෙබවීය.

මිහින්තලා පර්වතයේ දී අහම්බෙන් දේවානම් පියතිස්ස රජතුමාත්, මිහිඳු තෙරුන් ප්‍රමුඛ දූත පිරිසත් මුණ ගැසේ. රජතුමා එදින මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසට ආගන්තුක සත්කාර කරමින් පිළිගනියි.

දෙදෙනාගේ දැන අඳුනා ගැනීම කෙතරම් ප්‍රබල වූයේ ද යන්න සමන්තපාසාදිකාව පැහැදිලිව විස්තර කර දෙයි. පසු දින රාජමාලිගයට වැඩම කරන මිහිඳු මහරහතන් වහන්සේ රජතුමා ඇතුළු රාජකීයන්ට ධර්ම දේශනා කරති. මෙලෙස දවස් ගණනාවක් රජමාලිගාවේ ධර්මය දේශනා කරන අතර ක්‍රමයෙන් පිරිස වැඩිවීම නිසා වෙනම ශාලාවක් පවා ඉදිකිරීමට සිදු වේ.

මිහිඳු මහරහතන් වහන්සේගේ දක්ෂ ධර්ම කථිකත්වයත්, ආධ්‍යාත්මික ගුණ සමුදායත්, පිළිවෙළත්, රාජ්‍ය පාලනය, ආර්ථිකය හා ආගම් පිළිබඳ ව පැවැති දැනුමත් රජතුමාගේ වැඩි පැහැදීමට හේතු විය.

මිහිඳු මහරහතන් වහන්සේගේ දුර දක්නා නුවණ නිසා රජතුමා විසින් ම ප්‍රශ්න නඟමින් සම්බුද්ධ ශාසනය පිහිටුවීමට කි‍්‍රයා කළ ආකාරයත්, මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමාට අවශ්‍ය මාර්ගෝපදේශ සපයමින් කටයුතු කළ ආකාරයත් සමන්තපාසාදිකාව නම් විනයට්ඨ කතාවේත්, මහාවංශය ආදී වංශ කතාවලත් සඳහන් වේ.

රජතුමාගේ පැහැදීම කෙතරම් බලවත් වූයේ ද යන්න ථූපාරාමය ඉදිකිරීම, එහි තැන්පත් කිරීමට බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ වැඩමවීමට සුමනසාමණේරයන් වහන්සේ සමග දූත පිරිසක් පිටත්කර හැරීම යන කරුණුවලිනුත්, ජම්බුකෝලපට්ඨන විහාරය, වෙස්සගිරි විහාරය, ප්‍රාචීනාරාමය, භික්ෂුණීන් සදහා උපාසිකා විහාරය සහ හත්ථාළ්හක විහාරය යන විහාරස්ථාන ඉදිකිරීමෙනුත් පැහැදිලි වෙයි.

රජතුමාගේ ශාසනික කාර්යයන් අතර වැදගත් ම සිදුවීමක් වන්නේ ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ සහ භික්ෂුණී ශාසනය වැඩම කරවීමයි. දූත පිරිසක් දඹදිවට පිටත් කර ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය යටතේ මිහිඳු මහරහතන් වහන්සේගේ නැඟෙණිය වූ සංඝමිත්තා තෙරණිය ලවා ම ලංකාද්වීපයට වැඩම කරවීමට කටයුතු කර තිබේ.

ලංකා ද්වීපයේ සම්බුදු සසුන මුල්බැස ගැනීමටත්, ව්‍යාප්ත වීමටත් විශේෂයෙන් ම ඉවහල්වී ඇත්තේ රජතුමාගේත්, මිහිඳු මහරහතන් වහන්සේත් අතර පැවැති සමීප මිත්‍රත්වයයි. පළමු දිනයේ පටන් ම මේ මිතුරුකම ගොඩ නැඟේ.

මිහිඳු මහරහතන් වහන්සේට රජමාලිගයේ වැඩ සිටීමට ආරාධනා කරන්නේ ඒ නිසා ය. එහෙත් තෙරුන් වහන්සේලා හුදකලා වූ නිශ්ශබ්ද පරිසරයක වැඩ සිටීමට කැමැති බව දැනගන්නා රජතුමා අලි, කොටි, වලසුන්ගෙන් හා නොයෙක් සර්පයින්ගෙන් ගැවසීගත් මහා වනය උන්වහන්සේලාට වැඩ සිටීමට සුදුසු අයුරින් සකස් කර පූජා කරයි.

මිස්සක පව්වේ ලෙන් විහාර හැටඅටක් පමණ පිරිසුදු කර පූජා කළ බවට සාධක හමුවේ. මේ ලෙන් විහාරවලින් විශාලතම ලෙනෙහි වැඩ සිට ඇත්තේ මිහිඳු මහරහතන් වහන්සේ ය. එය අද මිහිඳු ලෙන නමින් හඳුන්වයි. ධර්මය ශ්‍රවණය කිරීමට නිතර පැමිණෙන මහජනතාවගේ අවශ්‍යතාව අනුව ඒ ලෙන උන්වහන්සේ තෝරා ගත් බව සිතිය හැකි ය.

ඇසළ මාසයේ උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් එළැඹිය යුතු බව දැනගන්නා රජතුමා වහ වහා ලෙන් විහාර සකස් කර පූජා කළත් පිළිවෙළකට හා සැප පහසු අයුරින් සකස් කර ගැනීමට නොහැකි විය. එහෙත් පසුකල ඒවා ප්‍රතිසංස්කරණය කරමින් නැවතත් සකසා පූජා කර තිබේ.

රජතුමාගේත්, අමාත්‍ය මණ්ඩලයේත්, මහජනතාවගේත් කැපවීම මත මාසයකින් පමණ කෙටි කාලයකින් පළමු වස් කාලය ගත කිරීමට මිස්සක පව්වේ ලෙන්විහාර සකසා උපසම්පදා භික්ෂූන් වහන්සේ හැට අට නමකට සේනාසන ප්‍රත්‍ය පහසුකම සලසන්නට විය.

වස් කාලයෙන් අනතුරුව සංඝ ශාසනයට ඇතුළත් වන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වන්නට විය. එම පිරිසට චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලාන පත්‍ය‍ යන සිවුපසයෙන් ම උපස්ථාන කිරීමට සිදු වන්නේ ද රජතුමාට ය.

රාජානුග්‍රහය යටතේ පිණ්ඩපාතය පිළිගැන්වීමට කටයුතු කර ඇත්තේ මහත් ශ්‍රද්ධාවකිනි. මහජනතාවට සංඝයා සමීපවීමත් සමග ඔවුන් විසින් ද පිණ්ඩපාතය පිළිගැන්වීමට කටයුතු කර ඇත. විවිධ ආගමික ඇදහිලිවලින් යුක්ත ජනතාවක් ජීවත් වුණ රටක සම්බුද්ධ ශාසනය පිහිටන තෙක් රැකබලා ගැනීම ඉතා ම අපහසු කාර්යයකි. එහෙත් රජතුමා එම සියලු බාධකවලට හොඳින් මුහුණ දී තිබේ.

සෙසු ආගමික බලපෑම් පාලනය කර ගනිමින් හා එම ආගම්වලටත් හොඳින් සලකමින්, පූජක පිරිසේ අවශ්‍යතා සම්පූර්ණ කරමින් ආගමික සහජීවනයෙන් කටයුතු කර ඇත.

දුර දක්නා නුවණක්, හොඳ ඉවසීමක්, ඕනෑම පුද්ගලයකු සමඟ හොඳින් කටයුතු කිරීමේ හැකියාවක් රජතුමා සතු වූ බව කළ කටයුතුවලින් හා ගත් බුද්ධිමත් තීරණවලින් තහවුරු වේ. එදා රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස ආදරයෙන් පිළි නොගෙන රටින් බැහැර කරවීමට කටයුතු කළේ නම්, අද සමස්ත ලෝකයේ ම ව්‍යාප්තව ඇති තුන් පිටකය දක්නට නැත. එමෙන් ම ලංකාද්වීපයේ සම්බුදු සසුනක් දැක ගැනීමට නො ලැබේ.

මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු දූත පිරිස මහත් ගෞරවයෙන් පිළිගෙන ආගන්තුක සත්කාර පවත්වමින්, උන්වහන්සේ දේශනා කළ ධර්මය පිළිගෙන, එය අනුගමනය කරමින් ඒ අනුව තමන්ගේ ජීවිතයත්, ඥාතීන්ගේ ජීවිතත්, රට වැසියාගේ ජීවිතත් මෙලොව පරලොව වශයෙන් සුවපත් කරවීමට කටයුතු කර තිබේ.

රජතුමා මිනිසුන්ට මෙන් ම දෙවියන්ටත් පි‍්‍රය වූ බව ‘දේවානම්පිය’ නමැති විශේෂණ නාමයෙන් පවා තහවුරු වේ. අද පවත්නා සිංහල අක්ෂර මාලාව ප්‍රමුඛ කොටගත් සිංහල භාෂාව, සාහිත්‍ය , සංස්කෘතිය ප්‍රමුඛ කොටගත් සංස්කෘතික දායාද සියල්ල ම පාහේ සිංහල ජාතියට උරුම වන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් වුවත් එය හෙළදිව මුල්බැස ගැනීමට කටයුතු කරන්නේ දේවානම්පියතිස්ස රජතුමා ය.

එබැවින් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය යනු අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ සිහිපත් කරමින් ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා පවත්වන්නා සේ ම සම්බුද්ධ ශාසනය හෙළදිව පිහිටුවීමට මහත් වෙහෙසක් ගත්, නව දහම ප්‍රතික්ෂේප නො කර පිළිගෙන එය දීප ව්‍යාප්ත කිරීමටත්, නූතනයේ ලෝකය පුරා ව්‍යාප්ත වීමටත්, තුන්පිටකය අද දක්වා පවත්වාගෙන ඒමටත් සැදැහැති උපාසකයකු ලෙස පළමු කැපවීම කර ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමා ය. තව ද හෙළදිව වෙහෙර විහාර ඉදිකර පූජා කිරීමේ පළමු දානපතියා ලෙසත් මෙතුමා සැලකිය හැකි ය.

අවුරුදු හතළිහක් රාජ්‍ය ද හොබවා මිහිඳු මහරහතන් වහන්සේට පෙර කළුරිය කරන දෙවියන්ටත් පි‍්‍රය වූ ගුණවලින් හෙබි දේවානම් පියතිස්ස රජතුමා සම්බුදු සසුන වෙනුවෙන් කළ අපමණ සේවය අගයමින් සමස්ත රට වැසියා ම පොසොන් පුරපසළොස්වක පොහොය දිනයේ දී විශේෂයෙන් ම මේ උතුම් රජතුමා සිහිපත් කරමින් කෘත ගුණ සැලකීම කළ යුතු ය. එය බෞද්ධ අප සැමගේ ම යුතුකමක් ද වේ.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]