පේතවත්ථු දේශනාවෙන් :
මියගිය ඥාතීන්ට පින් දෙන්න කාල නියමයක් නෑ
මහනුවර අස්ගිරි මහා විහාරයේ
කාරක සංඝසභික හා උපාධ්‍යාය ධුරන්ධර
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
පේතවත්ථුව දේශනා කිරීමට අදහස් කර තිබුණේ විවිධ ආගමික, වාර්ගික වශයෙන් භාරතීය බලපෑම
නිසා විවිධ කුල වශයෙන් පවා බෙදී සිටි මෙම ලාංකේය ජනතාව තුළ ආකල්පමය වශයෙන් වෙනසක්
ඇති කොට හදිසි ච්න්තන විප්ලවයක් ඇති කිරිමට යි.
පේතවත්ථු දේශනාව තනිකරම පාපයේ බියජනක ස්වභාවයත්, පාපකර්ම කරන පුද්ගලයාට සසර අනල්ප
කාලයක් අප්‍රමාණ දුක් විඳීමින් කල් ගෙවන්නට සිදුවන ආකාරයත් පෙන්වා දෙන කුරිරු
අත්දැකීම් එක්තැන් කොට ඇති දේශනාවක්.
එය ජනගත කිරීමෙන් පාපයට බිය ඇති කිරීම උන්වහන්සේගේ ප්‍රබල අපේක්ෂාවක් බවට පත් වුණා.
ඒ විතරක් නොවේ ඒ හා සමඟ ම විමානවත්ථු දේශනා උන්වහන්සේ ඉදිරිපත් කළේ පාපකර්ම එක්රැස්
කිරීමෙන් භයින් ත්‍රස්ත වී සිටින යම් මනුෂ්‍ය කෙනෙක් වේ නම් ඔහුට විසඳුමක් ඒ සමඟම
පවත්නා බවත්, එනම් පුණ්‍යකර්මවල යෙදීමෙන් පුද්ගලයා සිතා ගත නොහැකි තරම් සැප සම්පත්
මේ මිනිස් ලෝකයේ පමණක් නොව අප උසස් ලෙස සිතීමට පුරුදු වී සිටින සදිව්‍ය ලෝකයන්හි
පහළ වීමෙන් එම සැප සම්පත් භූක්ති විඳීමට අවස්ථාව සැලසී ඇති බවත් උන්වහන්සේ අවධාරණය
කළා.
නිවැරැදි සහනසීලි බොදු පිළවෙත වන්නේ සමාජයේ දුරාචාර ඉවත් කර දුරාචාරයට ලජ්ජාව ඇති
කර, ඒ තුළින් ජනතාව නිවැරැදි මඟට යොමු කරවීම යි.
මේ අනුව පුණ්‍යකර්මවල යෙදී සිටීමෙන් පුද්ගලයා සමාජයේ ගරුබුහුමන් ලද යුතු,
සම්භාවනීයත්වයට පත් වන්නා සේ ම ඒ සම්භාවනීය බව විනාශ නොවන ආකාරයෙන් ආත්ම ගෞරවය රැක
ගන්නා ජාතියක් බවට මේ ශ්‍රී ලංකාවාසි ජනතාව පත් කිරිම උන්වහන්සේගේ චින්නන පෙරළියේ
විශිෂ්ට ගුණය බවට පත් වුණා. මේ නිසා හැම විටම ලාංකික ජනතාව පවෙන් ඈත්වෙනවා වගේ ම
පිනෙහි යෙදීමෙන් මෙලොවත්, පරලොවත් සුඛිත මුදිත භාවයට පත් වුණා.
සෙට්ඨිපුත්ත ආදි වශයෙන් කියැවෙන මේ පේතවත්ථු කථා පුවත් 51 ක් පේතවත්ථු කථාවට ඇතුළත්
වෙනවා. මේ දේශනාව පුච්ඡාවිස්සජ්ජන හා අට්ඨුප්පත්තික වශයෙන් දෙයාකාර යි.
පුච්ඡාවිස්සජ්ජන කියලා කියන්නේ නාරද වැනි මහ තෙරවරුන් විසින් ඒ ඒ ප්‍රේතයන්ගෙන් අසන
ලද ප්‍රශ්නවලට දෙන ලද පිළිතුරු අනුව කියැවුණු කථා පුවත්. ඉතින් එහෙම දේශනා කරන ලද
කථා පුවත් බුදුරජාණන් වහන්සේ විසින් ඒ ඒ කරුණට අදාළව තෝරාගෙන දේශනා කරන ලද දේශනාවන්
අට්ඨුප්පත්තික යි.
ඒ කථාවස්තු උන්වහන්සේ විසින් තෝරා ගෙන ඇත්තේ මුලින් කී ආකාරයෙන් නාරද වැනි මහතෙරුන්
වහන්සේ විසින් දුක් විඳීන ප්‍රේතයන්ගෙන් ම දැන ගත් තොරතුරුවලිනු යි. ඉතින් මේ
විදිහට බලන කොට සමස්තයක් වශයෙන් මේ කොටස් දෙකට අයත් දේශනා ඇතුළත් පේතවත්ථු කථා
බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන ලදැයි ප්‍රකාශ කරන්නට පිළිවන් කමක් නැහැ.
කෙහොම වුණත් බුදුරජාණන් වහන්සේගේ දේශනා කොටසට අයත්ව අපේ ත්‍රිපිටකයේ සුත්‍ර පිටකයේ
ඛුද්දක නිකායට අයත්ව ඇති මෙම පේතවත්ථු දේශනා සමස්තයක් වශයෙන් ගෙන බලනවිට මේ තුළින්
වැදගත් චින්තන රටාවක් ජනතාවට කාවද්දන්නට හැකියාව තිබෙනවා. එකක් තමා මේ පාප
කර්මයන්ගේ ඇති භයානක ගොරබිරම් බව. ඒ නිසා ජනතාව පාපයෙන් මුදවා ගැනීමේ චින්තනය එකක්.
දෙවැන්න ලෙස අපේ සංසාර ගමන. මෙය කවදා කොතැනින් ආරම්භ වුණා ද? අවසානය කොතැනක ද? යන
සිතිවිල්ල කාවැද්දීම තුළින් මේ සසරේ ඇති රුදුරු ගති මෙන්ම, එයින් අතමුදවා ජනතාව තුළ
සසර අවසන් කර ගැනීම පිණිස අවශ්‍ය කරනු ලබන පිළිවෙත් පිරීමට යොමු කරවීමේ අවස්ථාව උදා
වෙන බව.
තෙවැන්න යම් පුද්ගලයෙක් සසර ගමනේ දී මිනිස් භවයක උපත ලැබීමෙන් පසු ඔහුට තමන්ගේ ඥාති
ප්‍රේතයන් වෙනුවෙන් කළ හැකි කාර්යභාරය වටහා ගැනීමේ ශක්තිය ඇති කිරිමත්, ඒ තුළින්
ජනතාව අතර බුදුදහමේ ඉගැන්වෙන කරුණාව, කළගුණ සැලකීම වැනි බුද්ධකාරක ධර්මයන් කෙරෙහි
පෙළඹවිමක් ඇති කරවීමේ ශක්තිය මේ මඟින් උදා වෙන බව.
ඒ විතරක් නොවෙයි ඇදහිම් ක්‍රමයක් ලෙස මළවුන් පිදීම එදා සමාජගත වී තිබුණ මිත්‍යා
වැඩපිළිවෙලක්. ඒ නිරර්ථක ක්‍රියාව වෙනුවට තමන්ගේ මිය ගිය ඤාතීන්ට පිළිසරණ වන බෞද්ධ
පිළිවෙත ඒ අයට කරුණාවෙන් පින් අනුමෝදන් කළ යුතු බව හඳුන්වා දිමට ද උන්වහන්සේ
ක්‍රියා කළා.
මුලින් පෙන්වා ඇති කාරණාවලට අදාළව උචිත පේතවත්ථු කථාවක් කෙරෙහි මෙහි දී අවධානය යොමු
කිරීම වැදගත් කියලා හිතෙනවා. එයට කියන්නේ තිරෝකුඩ්ඩ පේතවත්ථුව කියලයි.
බුදුරජාණන් වහන්සේ ජීවමාන වූ කාලයට කල්ප අනූ දෙකකට පෙර ඵුස්ස නම් වූ බුදුරජාණන්
වහන්සේගේ අවධියෙහි විසූ ජයසේන නම් රජතුමාගේ දරුවන් තිදෙනා වස් තුන් මාසයක් තුළ
ඵුස්ස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වස් වසවා වැඩ වාසය කරන විට
උන්වහන්සේට පිළියෙළ කරපු දන්වැට පවත්වා ගෙන යනවිට ඊට මුල් වී ක්‍රියා කළේ එදා සිටි
භාණ්ඩාගාරික තනතුර දැරූ ගෘහපතියා හා ඔහුගේ බිරිඳයි. ඒ අය මහත් වූ සැදැහැ සිතින් ඒ
කටයුතුවල යෙදුණා.
ඊට සහාය වූ එම ජනපද ප්‍රධානියා ඇතුළු තවත් විශාල පිරිසක් ඊට සහායව ක්‍රියා කළෙත්
මහත් සැදැහැ සිතින් යුක්තව යි. එහෙම මේ දාන වැඩපිළිවෙළ ක්‍රියාත්මකවෙද්දී දිනපතා
දානය විහාරස්ථානයට ගෙන යන අතරමඟදි ජනපද ප්‍රධානියාගේ ම ඤාති වුණත් තවත් පව්කාර
පිරිසක් ඒ දන්වැට ගසා කැමට ක්‍රියා කළා.
මේ බරපතළ අකුසල කර්මය නිසා ඔවුන් කල්ප 92 ක් ප්‍රේත ලෝකවල උපත ලබා අනන්ත අප්‍රමාණ
දුක් වින්දා. තවත් බුදධාන්තරයක් ඉකුත්වීමෙන් අප ගෞතම බුදුරජාණන් වහසේ දවස එදා ජනපද
ප්‍රධානියා ව සිටි මේ අත්බැව්හි බිමිබිසාර ව සිටි රජතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ
මහා සංඝරත්නයට මහ දන් පැවැත් වූ දින ඒ ඤාති ප්‍රේතයෝ ද පෙර අත්බැව්හි ඤාතිව සිටි මේ
භවයෙහි බිම්බිසාරව සිටි රජතුමා දානය අවසන තමනට පින් පමුණුවා මේ පරදත්තූපජිවි නම්
ප්‍රේත භවයෙන් මුදවාවි කියා සිතා ඒ දානය දුන් දින අවට රැස් කාකා සිටියත් එවැනි පින්
අනුමෝදනාවක් සිදු වූයේ නැහැ.
මේ නිසා මහත් කනස්සල්ලට පත්ව සිටි මේ ප්‍රේත ඤාති පිරිස එදින රාත්‍රි පහන්වන තුරු
රජමාළිගාව වටා රැස් වී රජතුමාට දෙස්දෙවොල් තබමින් මහත් විලාප සහිත භයානක ශබ්ද පිට
කළා.
මේ නිසා පසුදිනම රජතුමා බුදුරජාණන් වහන්සේ හමු වී තත්වය පැහැදිලි කළා. බුදුරජාණන්
වහන්සේ පෙන්වා දුන්නේ එදා දානයෙන් පසු රජතුමාගෙන් පින් අනුමෝදනාවක් ලැබෙයි කියා
එතැනට රැස් වුණත් ඒ ඤාති ප්‍රේතයන්ට පින් නො ලැබුණ දුකින් මෙම භයානක තත්වය ඇති කළ
බව යි.
ඇත්තෙන් ම මෙය මේ භවයට පමණක් සිමා නොකර පෙර බවයන් ගැන පවා සිතා ඒ ඒ අතීත භවයන්හි
අපට අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරී පමණක් නොව හිතවත් ව ක්‍රියා කළ කොයි කාටත්
පුළුල් ලෙස මෙනෙහි කර සසර ගත සියලුම ඤාතීන්ට පින් දිය යුතු වෙනවා. මෙයට දින 7 ද මාස
3 ද කියා කාල යොදා ගත්තත් එහෙම කාල රාමුවක් නැහැ. |