පොසොන් පුර පසළොස්වක 2023-06-03
ප්‍රතිපත්තිගරුක වෙමු
මිථ්‍යා විශ්වාසයන්හි ඇලී ගැලී, ගස් ගල් වන්දනා කරමින්, නොපෙනෙන බලවේගයන්හි රැකවරණය
ආයාචනය කරමින් අන්ධකාරයේ ගිලී සිටි දනන් වෙත ආලෝකය රැගෙන අනුබුදු මිහිඳු
මාහිමිපාණන් වහන්සේ ලක්දිව වැඩියේ අදවන් පින්බර පොසොන් පෝ දා ක ය. මේ උතුම් දිනයේ
ගම් දනව් පුරා වෙහෙරක්, වෙහෙරක් පාසා දම් සුවඳින්, සිල් සුවඳින් සුගන්ධවත් වන්නේ,
සාධු නදින් පිරී ඉතිරී යන්නේ අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේට පූජෝපහාර
දක්වමිනි.
එදා සදහම් ආලෝකයෙන් අප මාතෘ භූමිය ඒකාලෝක වූයේ ලක් දනන් වෙත ජීවිතයේ යථාර්ථය අවබෝධ
කරවමින් නවමු ජීවන දර්ශනයකට යොමු කරවමිනි. අවිහිංසාව, කරුණාව, දයාව, මෛත්‍රිය, හැම
හදවත් තුළ ගොඩනැඟුණේ ඒ උතුම් සද්ධර්මයේ අනුහසිනි.
තමන්ගේ සේ ම අනුන්ගේ ජීවිතවලට වටිනාකමක් දෙන්නට හුරු වූ හෙළයා කුරාකුහුඹුවකුට හෝ
හිංසාවක්, පීඩාවක් නොවන ලෙස ජීවත් වන්නට වෙර වීරිය වැඩූහ. ඒ අනුව ජීවිත සුරක්ෂිත
වුණි. අනුන්ගේ දේ සොරා නොගත්හ. ඒ වෙනුවට පරිත්‍යාගය පුරුදු පුහුණු කළහ. රුපියල්
ශතවලට සියල්ල මිල කරන, වතුර බිඳුවත් අලෙවි කරන අද මෙන් නොව එදා දොරින් දොර පින්තාලි
ඉදි කෙරුණේ ගමට ආ ආගන්තුකයකුගේ පවා පවස නිවන්නට ය.
බෙදා හදා ගැනීමට, අන්‍යොන්‍ය උපකාරයට කැපවුණු සමාජයේ කිසිවකුගේ දෙයක් උදුරා ගන්නට
කිසිවකුගේ සිත නොනැමුණි. පාපයෙහි ලජ්ජා වූ, බිය වූ සමාජය තුළ කාමය වරදවා හැසිරීම
අතිශය ලජ්ජා සහගත විය. ඒ තුළ සිංහල සමාජයේ පවුල සුරැකුණි. අන්‍යෝන්‍ය විශ්වාසය නිසා
පවුලේ සාමය, සතුට රැඳුණි. දියුණුව ඇතිවුණි. මානසික සුවසහනය හිමිවුණි.
බොරු කියන පුද්ගලයාට කළ නොහැකි පාපයක් නැති බව සම්බුද්ධ දේශනාවේ සඳහන් ය. ඒ
ධර්මෝපදේශ ජීවිතයට ගළපා ගත් හෙළයා විහිළුවකට හෝ බොරුවක් නොකීහ. ඒ තුළ ද සමාජයේ
ස්ථාපිත වූයේ විශ්වාසනීය බවයි.
ප්‍රමාදයට පත්වන මත්ද්‍රව්‍ය බෞද්ධ සමාජයෙන් ප්‍රතික්ෂේප වුණි. ඒ තුළ අම්මා,
තාත්තා, සහෝදර සහෝදරියන්, වැඩිහිටියන්, තැන නොතැන නොහඳුනන තරමට සමාජයේ කිසිවෙක්
අසිහියෙන් ජීවත් වුණේ නැත.
සිල්පද නොකැඩුණ මෙවන් සමාජයක අන්‍ය සියලු කටයුතු සංවිධානය කෙරුණේ ගමේ පන්සලේ
ස්වාමින් වහන්සේගේ අනුශාසනා අනුවය. උපතේ සිට මරණය දක්වාම භික්ෂූන් වහන්සේ ගිහි
ජීවිතය හා සම්බන්ධ වූයේ ජීවත්වීමේ නිවැරැදි මාවත පෙන්වමිනි.
අධ්‍යාපනික කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ ද ගමේ විහාරස්ථානය යි. ඒ තුළ ගමේ ජනතාව ගුණ
නැණින් පිරිපුන් වුණි.
මේ පුණ්‍ය භූමියේ අහස සිඹින තරමට මහා දාගැබ් ඉදිවුණේ, සාගරය පරයන තරමට මහා වැව්
ඉදිවුණේ, කෘෂිකර්මාන්තයෙන් මේ රට ස්වයංපෝෂිත වුණේ මානව ගුණධර්මයන්ගෙන් ලොව අන්‍ය
ජාතීන් අභිබවා ගියේ, ලේඛන කලාව සංවර්ධනය වූයේ, ආගමික, සාමාජික, ආර්ථික දේශපාලනික
සෑම අංශයකින් ම මේ රට අභිමානවත් වූයේ අපේ මුතුන් මිත්තෝ අවංක සිතින්, දැඩි
උත්සාහයෙන් හා කැපවීමෙන් ශ්‍රී සදහම් මඟ ජීවිතයට ප්‍රායෝගික කරගත් බැවිනි.
අදත් අපි අපේ අභිමානය ලෙස උරුමය ලෙස ආඩම්බරයට පත්වන්නේ ඒ උදාර අතීතය පිළිබඳ ය.
බෞද්ධ සමාජය කිසිවිටෙක බොදු මඟට පිටුපාන්නේ නැත. තමන් කවුද යන්න තමන් ම හඳුනාගෙන
නිවැරැදි මඟට පැමිණ දැහැමින් සෙමෙන් ජීවත් වී සම්බුදු දහමේ උතුම් අරමුණ වූ
නිර්වාණාවබෝධය වෙත ළඟා වෙන්නට මේ උතුම් පෝදා අධිෂ්ඨානශීලි වෙමු. |