[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තෘෂ්ණාව දුරු වූ කල උතුම් සැපත ළඟා වෙයි

ලෝකයේ විවිධ සැපයන් පිළිබඳ සඳහන් වේ. විශේෂයෙන් කාම ලෝකයේ ඇති සැප පිළිබඳ සඳහන් වීමේ දී එය විශේෂත්ත්වයක් ගනී. අභිධර්මයට අනුව චිත්ත කාණ්ඩය පිළිබඳ හැඳින්වෙන තැන්හිදී කාමාවචර ගණයට අයත් ලෝක 11 ක් ගැන කියැවේ.

පුහුදුන් වැසියා සැපතක් වශයෙන් දකින්නේ ලෞකික සැපත යි. මිල – මුදල්, ඇඳුම් – පැළඳුම්, ගෙවල් – දොරවල්, හරක – බාන, ඉඩ – කඩම් ආදී වශයෙන් එදිනෙදා පරිභෝජනයට ඇති සම්පත් සමඟ ගැටී ඒ තුළ ඇළී ඒවා රැස් කිරීම සැපතක් සේ දකිමින් ඒ මතම ජීවිතය පවත්වා ගෙන යෑමට උත්සාහ කිරීම පුහුදුන් සත්වයින්ගේ ස්වභාවයයි.

එහි නිමාවක් දැකීම අපහසු ය. එයට හේතුව දැඩි තෘෂ්ණාව යි. එය තිබෙන තාක් කොතරම් ධනය සෙව්වත්, රැස් කළත් ඇතිවීමක් නැත. එසේ වුව ද මේ සමාජය තුළ පැවිදි පක්ෂය උත්සාහ කරන්නේ පරම සැපත ලබා ගැනීමට බව සඳහන් වේ.

එහිදී ගිහියාට නොයෙක් ප්‍රශ්න ගැටලු මධ්‍යයේ ගමන් කළ යුතුව ඇති නිසා ගිහියාගේ ගමන මොණරාටත්, පැවිද්දාගේ ගමන හංසයාටත් උපමා කර ඇත.

ගිහියා ලෞකික සම්පත් සමඟ නිතර ගැටෙන නිසා ඔහුගේ ගමන ප්‍රමාද ය . නමුත් පැවිද්දාගේ ගමන ඉක්මන් වන්නේ නිවන අරමුණූ කොටගෙන ගමනක යෙදෙන නිසා ය.

පරම සැපත ලැබීම ගිහියාට ප්‍රමාද වන්නේ ඔවුන් ඉතා බර බඩු උපකරණ පොදි බැඳ කර තබා ගෙන යන නිසා ය. එහෙත් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන පැවිද්දාගේ ගමන් මල්ල ඉතාම සැහැල්ලු ය. ගෙන යන බඩු මල්ලේ බඩු අඩු වූ තරමට ගමන වේගවත් කර ගත හැකි ය.

පැවිද්දා මෙන් ම ගිහියාත් ඔහුගේ ගමන් මල්ලේ බර හැකි තරම් දුරට අඩුකර ගන්නේ නම් ඔහුට ද නිවන් අවබෝධය යම් කිසි පමණකින් වේගවත් කර ගත හැකි ය. අල්පේච්ඡ ජීවිතය නිවන් මඟෙහි බර අඩු කර ගැනීමේ මාර්ගයයි. පැරැණි ගිහියෝ “අපිත් රහතුන් අනුගමනය කරමු”යි පොහෝ දිනයන් හි පෙහෙවස් සමාදන් වූහ.

එබැවින් පැවිදි පක්ෂය සඳහා දේශිත සිල්, ආචාර ධර්ම, චාරිත්‍ර වාරිත්‍ර ආදිය ද එකම නිවන් මාර්ගයේ ගමන් කරන ගිහියාට ද ප්‍රයෝජනවත් වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. බෞද්ධ සිරිත් විරිත් කෙරෙහි ඒවායින් ලැබී ඇති අභාසය ද ඉමහත් ය.

“වත්තන්න පරි පූරෙන්තො – න සීලං පරි පූරති” වත් සම්පූර්ණ නො කරන්නේ, ශීලය සම්පූර්ණ නො කෙරේ. ශීල සුද්ධිය නො ලබන්නේ, සිතේ සමාධිය නො ලබයි. වික්ශිප්ත සිත් ඇත්තෝ ධර්මය නො දකී. ධර්මය නො දකින්නා පරම සැපත වූ නිවන් සැපත නො ලබන බව චුල්ලවග්ග පාළියේ වත්තක්ඛන්ධයෙහි සඳහන් වේ.

ලෞකික සැපතෙහි උච්චතම අවස්ථාවන් ලැබීමට සමථ භාවනාව තුළින් පුළුවන. ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් වූ සමථ හා විදර්ශනා තුළින් සමථ භාවනාව ප්‍රගුණ කිරීමෙන් ලෞකික සැපතෙහි දියුණුවත්, විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් ආධ්‍යාත්මික සැපතෙහි දියුණුවත් ඇති කර ගත හැකි ය. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ච – කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණ ධර්ම යටපත් කිරීමට සමථ භාවනාව තුළින් පුළුවන. ඒ තුළින් ධ්‍යානාදි සැප සම්පත් ලබා ගත හැකි ය. එසේ වුවත් එය ද වෙනස් වන බැවින් එය සදාකාලික සැපතක් වශයෙන් ගැනීමට අපහසු ය. විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ දිගින් දිගට භාවනානුයෝගීව සත්‍ය වශයෙන් දැන පරම සත්‍ය වූ නිවන් සුව ලබා ගැනීමට පුළුවන්කමක් ඇත.

චතුරාර්ය සත්‍ය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. එහි දී බුදුරජාණන් වහන්සේ සත්‍ය හතරකින් ලෝක සත්වයාට දේශනා කර ඇත. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන එම සත්‍ය හතරින් ද නිවන පිළිබඳ දේශනා කොට ඇත.

එහි සඳහන් වන්නේ “ඉධ ඛො පන භික්ඛ වෙ දුක්ඛ නිරෝධං අරිය සච්චං යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධො චාගො, පටිනිස්සග්ගො මුත්ති අනාලයෙ

මහණෙනි, දුක් නැති කිරීමේ ආර්ය සත්‍ය නම් මෙයයි, තෘෂ්ණාව ඉතිරි නැතිව ඉවත් කිරීම නැති කිරීම,අත් හැරීම, මුළුමනින් ඉවත දැමීම, ඉන් මිදීම හා එහි නොඇලීමයි

බුදුදහමට අනුව නිවන යනු තෘෂ්ණාව නැති කිරීමයි. “තණ්හක්ඛයො නිබ්බානං” සත්වයා සසරට ඇදගෙන යන බන්ධනය වන්නේ තෘෂ්ණාව යි. තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කරන තාක් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධ තුළින් කූඩු සාදමින් සත්වයා දුකම උරුම කර ගනිති.

නිවන යන පදයෙන් නිවීම යන අර්ථය ගෙන දේ. නිවන පිළිබඳ විස්තර කිරීමේ දී උපමාවක් හරහා එය අවබෝධ කර ගැනීමේ දී එය හරියට පහනක් නිවී ගියාක් මෙන් සිතා ගත හැකි ය. එයට හේතුව නිවන පිළිබඳ විස්තර කිරීම අපහසු බැවිනි.

“රාගක්ඛයො නිබ්බානං” මෙම සංසාරය දුක් සහගත ය. නිවන එහි පරම සුවය යි. සසර සංඛත ය. (වෙනස් වේ) නිවන අසංඛත ය. (වෙනස් නොවේ) සසරෙහි දැකිය හැකි දුක, අපි‍්‍රය,අසහනකාරි බව ආදියෙහි විමුක්තිය නිවන යි.

එක් භික්ෂුවක් විඳීමක් නැත්නම් නිවනෙහි සැපත කුමක් දැයි ඇසූ ප්‍රශ්නයට සැරියුත් හිමි පිළිතුරු දෙනුයේ නො විඳීම ම සැපය බවයි.

සත්වයා සසර සැරිසරන ආත්ම භාවය නැවැත්වීම නිවන් දැකීම තුළින්ම සිදු වේ. එය උච්ඡේද හා සාස්වත වාදයෙන් තොර මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කර ලබා ගත යුත්තකි. ඇත –නැත යන අන්ත දෙකට නොවැටී ලබා ගත යුත්තකි. එය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කොට ලබා ගත යුතු දෙයකි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]