[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දහමින් සුපෝෂිත දේශයේ අභිමානය අනාගතයට ද සුරක්ෂිත කරමු

දහමින් සුපෝෂිත දේශයේ අභිමානය අනාගතයට ද සුරක්ෂිත කරමු

භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ඉතා හිතෛෂීව සුහදව ඔවුනොවුන්ට ගරු කරමින් ක්‍රියා කළහ.

ආරාමය ඇසුරින් දෛනික ජීවිතයේ නිරවද්‍ය, ධාර්මික පැවැත්මට මඟ පෑදිණි. පෙරදවස ශ්‍රී ලාංකිකයන්ගේ ආගමික සංකේතය වූයේ දාගැබයි. දාගැබ තැනීමේ දී පස් ගත් ස්ථානය වැවක් තැනීමට යොදා ගත්හ. ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථිකය ඉන් සංකේතවත් විය. මහ සයුර පරයන අයුරින් මහවැව් තැනීමේ තාක්ෂණය බුදුදහමින් ලැබුණ මහඟු දායාදයකි.

භික්ෂුව යනු ආධ්‍යාත්මික සංවර්ධනයට මඟ පෑදූ මාර්ගෝපදේශකයා පමණක් නොව ශිල්ප ශාස්ත්‍ර ඉගැන් වූ ගුරුවරයා ද විය. නිවැසියන් අතර හෝ ගැමියන් අතර යම් අසමඟියක් වී නම් ඔවුන් කැඳවා කරුණු සොයා බලා දෙපාර්ශ්වය සමාදානය කිරීමේ නීති විශාරදයා ද භික්ෂුව විය.

දැහැමි දිවි පෙවෙතක් ගත කිරීම පිණිස දැහැමිව උපයාගත් ධනයක් තිබිය යුතු ය. ධාර්මිකව ධනෝපායනය කළ යුතු ආකාරය ද බුද්ධිමත්ව ධනය වැය කළ යුතු ආකාරය ද පෙන්වා දුන්නේ භික්ෂුවයි.

දයාව, කරුණාව, මෛත්‍රිය, පරෝපකාරය, අවිහිංසාව, ත්‍යාගශීලිත්වය, කෘතවේදීත්වය වැනි උදාර ගුණාංගයන්ගෙන් සමන්විතව අල්පේච්ඡව, සරලව, ජීවත්වීමේ පිළිවෙත හඳුන්වා දුන් සමාජ විද්‍යාඥයා වූයේ ද භික්ෂුවයි. ඒ අනුව සිල්වත්කම, ගුණවත්කම, වෘද්ධත්වය, පාණ්ඩිත්‍යය, වැනි ලක්ෂණයන්ගෙන් යුක්ත වූවන්ට ගරු කිරීමට ජනතාව පෙළඹුණහ. අඹුසැමි, මව්පිය, දූ දරු, ස්වාමි සේවක, ගුරු සිසු, ගිහි පැවිදි, සමාජ සංස්ථාවල ධාර්මික පැවැත්ම සඳහා අනුබල දෙන ලද්දේ භික්ෂුවයි.

භික්ෂුව පොදු ජනතාවගෙන් මෙන්ම පාලකයන්ගෙන්ද සම්මානනීයත්වයට පත් වූ අයෙකු බැවින් උන්වහන්සේගේ උපදේශයන්ට පිටුපා ක්‍රියා කරන්නකු නොවීය.

දිවා කාලයේ ගොවිතැන් කටයුතුවල නිරත වූ ජනතාව සන්ධ්‍යා යාමයේ විහාරස්ථාන වටා ඒකරාශී වූහ. බුද්ධ පූජා, බෝධි පූජා වැනි පුද පූජාවන්, ධර්ම දේශනා, ජාතක දේශනාවන්ට සවන් දෙමින් ගුණ නුවණින් පෝෂණය වූහ.

තම කුස තුළ වැඩෙන බිළින්දා පවා බෞද්ධ දරුවකු කර ගැනීම පිණිස ගැබිනි මාතාවෝ දෙවරක් පන්සිල් ගැනීමට පෙළඹුණහ.

සෞන්දර්යය කෙරෙහි නැඹුරු වූ ලක්වැසියෝ ආගමික වශයෙන් මෙන්ම කලාත්මක වශයෙන් ඉතා වැදගත් වන කලා නිර්මාණ තැනීමට පෙළඹුණහ. ඒ අනුව චේතිය, චේතිඝර, බෝධිය, බෝධිඝර, පටිමා, පටිමාඝර, ආසන, ආසනඝර, සඳකඩ පහන, කොරවක් ගල්, මුරගල්, පියගැට පෙළ, චිත්‍ර, කැටයම්, මූර්ති ආදී සුවිශේෂී නිර්මාණ කිරීමට හෙළ කලාකරුවෝ සමත් වූහ.

අලි, කොටි, වග, වලසුන්, වැනි බිහිසුණු සතුන් ගැවසීගත් ගල්ලෙන් මෙත් කරුණා මුදිතා දී බුදුගුණ විදහා දැක්වෙන සාන්ත සුන්දර බුද්ධ ප්‍රතිමා සහිත විහාර මන්දිර බවට පත්විය. අජීවී කළුගල්වලින් සජීවී අයුරින් රමණීය බුදුපිළිම තැනූහ. ආකාශය පරයන අයුරින් කොත්කැරලි සහිත මහා වෙහෙර විහාර තැනූහ. මෙසේ දුටුදුටුවන් ශ්‍රද්ධාවෙන්, ධාර්මික පී‍්‍රති සුවයෙන් යුක්ත වන අසහාය කලා නිර්මාණ බිහිකිරීමට සමත් වූහ.

අනුරාධපුර මහමෙව්නාවේ ජයසිරි මහබෝධීන් වහන්සේ, රුවන්වැලි මහසෑය, ලෝවාමහ ප්‍රාසාදය, ථූපාරාමය, ජේතවනය, අභයගිරිය, ඉසුරුමුණිය, මිහින්තලයේ අටසැට ලෙන්, කණ්ඨක සෑය, සීගිරිය, වැනි කලාත්මක සෞන්දර්යෙන් යුත් සිද්ධස්ථාන ඉදිවූයේ බුදු සමයේ ආභාෂයෙනි.

අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, දඹුල්ල, මිහින්තලය, කැලණිය, නාගදීපය, මහියංගණය, තිස්සමහාරාමය, කතරගම වැනි පූජනීය නගර බිහි වූයේ බුදු දහම පදනම් කරගෙන ය. දුටුගැමුණු, ගජබා, විජයබා, මහ පැරකුම්බා වැනි ශ්‍රේෂ්ඨ නරෝත්තමයන් මෙන් ම සිරිසඟබෝ, සද්ධාතිස්ස වැනි බෝධිසත්ව ගුණෝපේත රජදරුවන් පහළ වූයේ බෞද්ධ බලපෑම තුළිනි.

දසමහ යෝධයන් ද අරිට්ඨ, මලියදේව වැනි සිංහල රහතන් වහන්සේලා ද, සෝමා දේවිය, විහාරමහා දේවිය, වැනි වීර මාතාවන් ද, දිඹුලාගල කස්සප, තොටගමුවේ ශ්‍රී රාහුල වැනි ශ්‍රේෂ්ඨ ගත්කතුවරුන් ද, පඬිවරුන් ද, බිහිවීමට බුදු සමය පාදක විය.

ජාතක කතා ඇසුරින් චරිතවත් වූ ලක්වැසියන් අනේ අනිච්චං, අබුද්ධස්ස කාලයක්, බුදුවෙන්න ගියත් මාරයෙක්, වැනි යෙදුම් සහිත බස් වහරකට යොමු වීම වැනි සිදුවීම් තුළින් ප්‍රකට වන්නේ බුදුසමය ලක්වැසියන් කෙරෙහි කොතරම් ගැඹුරු ලෙසින් බලපා ඇද්ද යන්නයි. ලක් වැසියන්ගේ උපතත්, විපතත්, උරුමයත් බුදුසමය සමඟම බැඳී පැවතුණි. ඒ හර පද්ධතීන් වටිනාකම් අදට සේ ම අනාගතයට රැකගැනීම බෞද්ධයාගේ වගකීමයි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]