[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සම්බුදු දහමින් ඔප්නැංවුණු අපේ සමාජ ධර්ම

බුදු දහම මෙරට මුල් බැස ගැනීමත් සමඟ ම සමාජ පුනරුදයක්, පෙරැලියක් ඇති විය. රාජ අනුග්‍රහය නොඅඩුවම ලැබීමෙන් බුදු සමය ගම්- නියම් ගම් දනව් - පාසල් දනව් හා පුර විසල් පුර ඔස්සේ ව්‍යාප්ත වීමත් සමඟ ම මිනිසුන්ගේ චිත්ත ප්‍රබෝධය වෙනදාට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා ලදී. ප්‍රාග් ඇදහිලිවලින් හෙම්බත් වී සිටි ජනයාට බුදුසමයෙන් ආභාසය ලැබීම අනුව ස්වකීය ජීවිතය කෙරෙහි අපේක්ෂා තබා ගත හැකි තත්ත්වයකට පාත්‍ර විණි. අතිශයින්ම සමාජ ධර්ම හැඩ ගැසීම කෙරෙහි එදා ජනකාය උනන්දුවක් ද දැක්වූහ. ජීවත්වීම පමණක් නොව, ජීවිතය තවත් ප්‍රභාවිතවීමට නම් සමාජ ධර්ම ද තිබිය යුතුය යන්න ද සමාජයේ කෙමෙන් මුල් බැස ගන්නා වු කරුණකි.  මිනිසා තුලනාත්මක ව සිතා බැලීමට පුරුදුවීම අනුව ජීවිතය යනු කුමක්ද යන්න ගැනත් ධර්ම මාර්ග ඔස්සේ සාපේක්ෂකව සිත මෙහෙයවීමට පුරුදු වීමෙන් කෑම - බීම - ඇඳීම හා පැවැත්ම පෙරට වඩා විධිමත් බවත් හා ක්‍රමවත් බවක් ගනු ලැබීය. මේ සමාජ ධර්මතාවන්ට පදනම වැටුණේ පන්සල ආශ්‍රීතවය, භික්ෂු සමාජයක් ඇති වීමත් සමගම පන්සල කේන්ද්‍රස්ථානය බවට පත්විණි. ‘පන්සල හෙවත් ආරාම‘ ඉදිවීම ජනයාගේ ජීවිතවල වෙනසකට ඉවහල් විය. භික්ෂුන්ගේ ඇසුර නිසා ජනතාව ධර්ම මාර්ගයට පිවිසියහ. සඟ ඇසුර ගුරු ඇසුර කොට ගෙන සිරිත් - විරිත්වලට ද ඔවුහු නැඹුරු වූහ. පන්සලට පිවිසෙන්නට පෙර පන්සල් දොරටුවේ තිබුණු ජල බඳුන්වල ජලයෙන් අත් පා සෝදා විහාර ගෙට පිවිසීම ද ඇති වුණේ මේ සමාජ පෙරළියත් සමඟ ය. හිස් වැසුම් පාවහන් ගලවා විහාර ගෙට පිවිසීමට ද ජනකාය නැඹුරු වූයේ බුදු සමය නිසා ය. අනුරපුර යුගයේ සෑම පන්සලක්, ආරාමයක් ඉදිරිපිට ජල බඳුන් අද ද දක්නට ලැබේ. ජේතවන විහාරයේ සිවු දිසාවේ මෙබඳු ගණයට ගැනෙන ජල බඳුන් දක්නට ලැබේ. පිරිසිදු දහමක් ඇසුරු කිරීමට මත්තෙන් පිරිසුදු වී විහාර ගෙයට පිවිසීමේ සමාජ ධර්මතාව, පිළිවෙතක් බවට පෙරලුණි. යතිවරුන්ගේ දහම් ශ්‍රවණය කිරීමට ජනතාව යොමු වීම නිසාත්, විනයානුකූල දිවි පෙවෙතක් ගත කිරීමට ද නැඹුරු වූහ. කෘෂි කාර්මික දිවි පෙවතකට ද ජනකාය නැඹුරු වූහ. වැවත් - දාගැබත් - කෙතත් ආශ්‍රයෙන් නිපන් සංස්කෘතිය අපට උරුම වූයේ ද බුදු සමය නිසාය. සිංහල ලකුණක් අපට උරුම වුයේ ද බුදු සමය හේතු කොටගෙනය. සමාජ පාලනය උදෙසා රජෙක් පත්කර ගැනීම ද සිරිත විය. රජු රාෂ්ට්‍ර පාලනයේ ප්‍රමුඛයා බවට පත් විය. රජුගේ යටත් වැසියන් බවට ජනතාව පත් විය. රටේ වගකීම රජුට පැවරුණි. රටවැසියන් රැකීම සංරක්ෂණය කිරීම රජු සතු කාර්යයක් විය.


දුරුතු අව අටවක

ජනවාරි 10 සෙනසුරාදා
පූ.භා. 08.27න් අව අටවක ලබා
11 ඉරිදා. පූ.භා. 10.23න් ගෙවේ
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

 ‍පෙබරවාරි 01 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]