දියුණුවේ රහස
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අතීතයේ දඹදිව බරණැස් නුවර රාජ්‍ය කළා බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක්. මේ කාලයේ ඒ නුවර
සිටියා මහත් කීර්තියක් ඇති ව, මහා ධනයකට හිමිකම් කියන ‘චුල්ලක සිටාණෝ‘ කියලා මහා
සිටුවරයෙක්.
මේ සිටුවරයා රටේ ආර්ථිකය පිළිබඳ උපදේශකයකු හැටියට රජතුමාට සේවයක් කළා. වෙළෙඳාමත්
කළා. මොහුට වෙළෙඳාම පිළිබඳ බොහෝ ම ඉහළ බුද්ධියක් තමයි තිබුණේ. පොතේ පතේ දැනුම වගේම
ජ්‍යෝතිෂය පිළිබඳවත් පුදුමාකාර දැනුමක් තිබුණා. අසරණයන්ට ඒ දැනුමින් සේවය කළා.
රාජ්‍යයට අවශ්‍ය උපදෙසුත් දුන්නා. රටේ ආර්ථිකයත් හොඳීන් පවත්වාගෙන ගියා.
චුල්ලක සිටුතුමා කොයිතරම් අනතිමානී ද කියනවා නම්, රාජ්‍ය සේවයට හැමදාම වගේ ගියේ පා
ගමනින්. එතකොට මඟ දී මුණගැහෙන අයට කතා බහ කරනවා. උදව් එහෙමත් බොහෝම ඉහළින් කරනවා.
දවසක් පා ගමනින් යනකොට පාර මැද මීයෙක් මැරිලා ඉන්නවා දැක්කා. වාහනයකට හැපිලා වගේ
හිතුවා. කොහොම හරි ඒ වෙලාවේ තිබුණු නැකත් කාලය ගැන බලලා සිටුවරයා එක්ක කතා කර කර
වැඩට යන තරුණයන්ට කියනවා,
‘කොල්ලනේ, දැක්කා නේද? අර අප පහුකරපු මළකුණ.‘ එතකොට කථා කර කර ගියපු පිරිසේ
එක්කෙනෙක් කියනවා ‘ඔව්, සිටුතුමනි, අපි දැක්කා. වාහනයකට හැපිලා වෙන්න ඇති ඒ සතා මිය
යන්න ඇත්තේ‘ කියලා. එතකොට මේ සිටුවරයා කියනවා
‘බොලව්, ඔව් ඔව් මැරිලා ඉන්නවා අපි හැමෝම දැක්කානේ. හැබැයි දියුණු වෙන කෙනකුට ඔය
මලකුණ වුණත් හොඳටෝ ම ඇති. කම්මැලියන්ට නම් ඉතිං වාසනාවන්ත නැකතක් උදා වෙන්න ම ඕනනේ.
එතකන් ඒ අයගේ උත්සාහය නෑනේයි‘යි උපහාසයෙන් කියලා; ආයෙත් කියනවා ‘උත්සාහය තියනවා නම්
තමන්ට තියෙන පොඩිම පොඩි දෙයකින් වෙළදාමක් ආරම්භ කරලා වුනත් දියුණු වෙන්න පුළුවන්,
අඹුදරුවන් හොඳින් පෝෂණය කර ගෙන සැප සේ ජීවත් වෙන්නත් පුළුවන්‘යි කිව්වා. මේ කථාව
කුලී වැඩක් හොයාගෙන යන එක් තරුණයකුට ඇහුණා. සිටුවරයාගේ දැනුමත්, ප්‍රඥාවත්,
ජ්‍යෝතිශය පිළිබඳ අවබෝධයක්, මීට පෙර අහලා තිබුණා. ඉතින් තරුණයා හිතුවා ‘මේ සිටුතුමා
ආවාට ගියාට මෙහෙම ප්‍රකාශයක් කරන්නේ නෑ. මේතැන කිසියම් හෝ සත්‍යයක් තියෙන්න ඕන.
එතුමා දන්නවා ව්‍යාපාර පිළිබඳ හොඳට ම. ඒක නිසා ඔය මීකුණ අරගෙන වෙළඳාමක් පටන් ගන්න
ඕනෑ කියලා හිතලා.
මීකුණ අතින් අරගෙන පාරේ යන ගමන් මෙහෙම කියන්න පටන් ගත්තා.
‘ගන්න ගන්න ලාභයි. සුරතලාට රස කෑමක්. හැම තැන ම නෑ-හැමදාම නෑ. උණු කෑම අද විතරයි.
අඩුවට නැත්නම් නොමිලේ දෙනවා - නොමිලේ නැත්නම් අඩුවට දෙනවා‘යි
සුරතලුන්ගේ උපන්දින කෑම අද විතරයි‘වගේ වෙළඳාම ගැන කියව කියවා නගරයේ වීථිවල අරගෙන
ගියා. ගෙවල් ළඟට ගිහින් කථා කරලා කිව්වා. සමහර මිනිස්සු හිතුවා ‘අනේ මේ වගේ
අඥානයෙක්. මේ මහා නගරයේ මස් කඩ වගේ ම මාළු කඩ ඕනෑ තරම් තියෙනවා. ඔය මීයෙක් අරගෙන
යන්නේ මොනයම් එකෙක්වත් ගන්නේ නෑ. විහිළුවට ද කොහෙද ඔය අරගෙන යන්නේ“ විදිහට උපහාසයට
හිනා කතා කිව්වා. සමහරු හිනා වෙවී මේ තරුණයා දිහා බලන්න පටන් ගත්තා. හැබැයි මේ
දුප්පත් තරුණයා උත්සාහය අත්හැරියේ නෑ. ඔහොම පැය ගණනාවක් ම ධනවත් අය ජීවත් වන වීථිවල
ඇවිද ඇවිද කථා කළා. දැන් හොඳටෝ ම වෙහෙසයි. ඒත් තවතවත් මේ මළකුණ තියා ගෙන හිටියොත්
නරක් වෙන්න පුළුවන්. එතකොට විකුණා ගන්න බෑ. ඒ නිසා මේ වීථියෙන් අරගෙන යනවා‘යි හිතලා
අලුත් වීථියකට ගිහින් අරවිදිහට විවිධ දේ කියමින් මීකුණේ ඇති අගයත්, මිල දී ගන්න
පුද්ගලයාගේ ගුණවත්කමත් වර්ණනා කළා.
එතකොට ධනවත් මහා ගෙදරක ගේට්ටුවක් ඇරෙන සද්දේ ඇහුණා. ටිකක් ඒ දිහා බලන් ඉන්නකොට වයසක
අම්මා කෙනෙක් හෙමින් හෙමින් ගේට්ටුවෙන් එබිලා පාර දිහා බැලුවා. බලලා ‘ළමයෝ, ඔය
මීකුණ කීයකට ද විකුණන්නේ? ‘යි ඇහුවා. ඉතින් තරුණයාට බොහෝම සතුටු හිතිලා ‘මෑණියනි,
පුළුවන් ගාණක් දෙන්න.‘යි කිව්වා. ඉතින් අර ධනවත් මැතිනියත් කියනවා ‘මගේ ළමයි හැමෝම
දුර බැහැර පදිංචිවෙලා ඉන්නේ. මමයි මගේ හුරතල් පූස් පැටියයි තමයි මේ ගෙදර ඉන්නේ.
උදේට ඉතිං උයල පිහල දීලා ගෙදර වැඩ කරන්න කෙනෙක් එනවා. ඒ ළමයට අමතක වෙලා මේ පැටියට
මස් ටිකක් ගේන්න. හෙට පෝය දවස නිසා මස් ගන්න තැනකුත් නෑ. අපේ මේ පූස් පැටියට ඔය කෑම
හොඳයි. මං ළඟත් ඉතිං සල්ලි නෑ. කැමැති නම් මගේ පරණ රත්රන් චේන් පොටක් තියෙනවා.
ඒකෙන් එක පුරුකක් ගලවල දෙන්නම්‘ යි කිව්වා. මේ තරුණයත් ඒකට බොහෝම සතුටට පත් වෙලා වී
ඇට දෙක හමාරක් බර රත්රන් ටික අරගෙන පිටත් වුණා. එතකොට දැක්කා උක්හකුරු විකුණන
තැනක්.
එතැනට මේ රත්රන් ටික දීලා භාණ්ඩ හුවමාරුවක් විදිහට හකුරු ටිකක් අර ගත්තා. ඒ හකුරු
ටික අරගෙන ගියා හැමදාම රජමාලිගාවටත්, ධනවතුන්ටත් මල් සපයන මල්වත්තකට. එතැන ඉඳගෙන ඒ
කම්කරුවන්ගේ වෙහෙස නිවන්න හකුරුත් එක්ක තේ දුන්නා. ඒ අය හවස යන ගමන් මල් මිටිය ගානේ
දීලා ගියා. ඒ මල් ටික නගරයේ මල්කඩවලට විකුණලා ලැබුණු මුදලින් නැවතත් හකුරුයි, තේ
කොළයි අරගෙන දෙවැනි දවසෙත් මල්කඩන අයට තේ දුන්නා. ඒ අය සමඟ සුහදව කථා බස් කරමින්
කාලය ගත කළා. විවේක වෙලාවට මේ තරුණයත් මල්වත්තට ගිහින් මල් කඩන්න සහාය වෙලා උදව්
කළා. මේවට පැහැදුණු නායක කම්කරුවා මල්පිපුණු කොටසක් ම මේ තරුණයට කඩා ගන්නට ඉතිරි
කරලා යන්න ගියා. තරුණයා ඒවා කඩාගෙන විකුණලා වෙනදාට වඩා ආදායමක් ලැබුවා. එදා ම හවස
මහා ධාරානිපාත වර්ෂාවක් වැටිලා රජතුමාගේ මල් උයනේ ගස් බිම වැටුණා. තරුණයා අනෙක්
දවසේ මල්වත්තට තේ අරං යන කොට ඒක දැකලා උයනට ගිහින් උයන්පල්ලාට කිව්වා ‘මට මේ දර ටික
ගන්න දෙනවා නම් මම අස් කරලා දෙන්නම්‘ කියලා. උයන්පල්ලා කැමැති වුණා. අහල පහල කවුරු
හරි උදව්වට ඉන්නවද කියලා බැලුවා. එතකොට ඇහුණා පොඩි ළමයි පිරිසක් ඈත සෙල්ලම් කරනවා.
එතැනට ගිහින් කියනවා ‘දරුවනේ, අද මගේ ගාණේ රස බීමක් අරං දෙනවා ඔය වෙහෙස නැති වෙලා
යන්න. හැබැයි විනාඩි පහක පොඩි උදව්වක් මට ඕනෑ‘යි කියලා උපක්‍රමශීලී ව පොඩි ළමයින්ගේ
සිත් දිනාගෙන ඒ අය ලවා දර එකතු කර ගත්තා. පොඩි ළමයින්ට ඇති තරම් හකුරු සමඟ තේ
දුන්නා. මේ දර ගොඩ පාර අයිනේ තියෙනවා දැකපු රජමාලිගාවට වගේ ම නගරයට වළං සපයන කුඹලා
කහවණු දාසයකුත් එක්ක හැළි වළං පන්සියයක් දීලා දර ටික අරගත්තා. වළං ටික නගරයට
ගෙනියලා කඩවලට විකුණා තවත් මුදල් ලබා ගත්තා. දැන් මේ තරුණයා ළඟ මුදල් සැලකිය යුතු
ප්‍රමාණයක් තියෙනවා. ඉතින් හිතුවා මං මුදල් ම හොයනවා. පින්කමක්වත් කරන්නේ නෑ. මේ
ලැබුණ මුදලින් පොඩි පින්කමක් කරනවා‘යි හිතලා අශ්වයන්ට තණ කොළ කපන පිරිසක් ඉන්න
තැනකට ගිහින් එතැන නායකයාට කතා කරලා කිව්වා මම අද හැමෝටම පරිත්‍යාගයක් විදිහට හකුරු
එක්ක තේ දෙනවා‘යි කියලා. එතැන හිටිය පන්සිය දෙනකුට සංග්‍රහ කළා. ඉතින් එතැන දී ලොකු
හිතවත්කමක් ගොඩනඟා ගත්තා. නායකයා කියනවා
‘ඔයාට ඕන උදව්වක් කියන්න. මගේ පිරිස ඉන්නවනේ උදව්වක් දෙන්නම්‘යි කිව්වා. තරුණයා
ස්තූති කරලා ගෙදර ගියා. මේ පිරිසේ හිටිය යාළුවෙක් පසු දින කතා කරලා කියනවා ‘යාළුවේ
හෙට රටකින් අශ්වයෝ දහසක් මේ රටට ගේනවා. ඒ අයට තණ කොළ මිටි දහසක් ඕන.
පුළුවන් නම් ‘අපේ නායකයාට කියල මේ වැඩේ ඔයා භාර ගන්න” කියලා කිව්වා. නායකයා හමුවෙලා
මේ තරුණයා කතා කළහම ඒ උදව්ව දෙන්න පොරොන්දු වුණා. එදා කපපු තණ කොළ ඔක්කොම මේ තරුණයා
මිල දී ගත්තා. නගරයේ ඇවිද ගියාට ගන්න තැනක් තිබුණේ නෑ. නැව්වලින් ආපු වෙළෙන්දන් මේ
තණ කොළ මිටි දහස අරගෙන කහවණු දහසක් දුන්නා. ඒ වෙළෙන්දන්ගේ මාර්ගයෙන් වෙළෙඳ නැවක්
මුහුදේ එන බවත්, තවත් දින කිහිපයකින් ගොඩබිමට ළඟා වන බවත් අහන්න ලැබුණා. ඒ නිසා
උපයා ගත්ත කහවණු දහස අරගෙන නැව් තොටට ගිහින් නැවට අත්තිකාරම් මුදලක් විදිහට කහවණු
දහස බැඳලා නැව් භාණ්ඩ සියල්ල මිල දී ගත්තා. නැව වරයාට පැමිණියාට පස්සේ සේවකයන්
අවශ්‍ය පරිදි යොදවලා ඈත ප්‍රදේශවලින් එන වෙළෙන්දන්ට භාණ්ඩ විකුණුවා. නැවේ භාණ්ඩ
සියල්ල විකුණලා අවසන් වෙන කොට ශුද්ධ ලාභය විදියට කහවණු ලක්ෂ දෙකක් ලැබී තිබුණා.
මේ උත්සාහයට මාර්ගය පෙන්නපු ‘චුල්ලක“ සිටුතුමා හමුවෙලා එයාට ස්තූති කළා. මේ තරුණයාට
පැහැදුණු සිටුතුමා තම දුවත් විවාහ කරලා දීලා එයාගේ සිටු තනතුරත් තරුණයාට
පිරිනැමුවා‘යි
කථා පුවතක් ජාතක පොතේ හතර වැනි ජාතකය වන ‘චුල්ලසෙට්ඨි ජාතකයේ සඳහන් වෙනවා. ඒ නිසා
පින්වත්නි, කිසිම මොහොතක කම්මැලි වෙලා ඉන්න එපා. දියුණුවේ එකම රහස තමයි උත්සාහයෙන්
වගේ ම නුවණින් කටයුතු කරන එක. මේ වගේ අය මෙලොවත් ජය ගන්නවා. පරලොවත් ජය ගන්නවා. ඒ
බව අමතක කරන්න නම් එපා. |