සසුනඹර එකලුකළ දම් රැකි සඟ රජිඳාණෝ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
බුත්තල
ඤාණාධාර හිමි
අග්ගමහාපණ්ඩිත වැලිගම සිරි ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍ර තෙළෙස් වන ගුණ සැමරුම
නිමිත්තෙනි.
අග්ගමහා පණ්ඩිත විනය විශාරද ධර්‍මකීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංස පරම පූජනීය
වැලිගම සිරි ඤාණරතනාභිධාන මහ නාහිමිපාණන් වහන්සේ වූකලි සමීපාතීතයෙහි ශ්‍රී ලාංකේය
ථේරවාද භික්ෂු පෞරුෂය අන්වර්ථ කළාහු ආජානේය සංඝ නේතෘවරයාණ කෙනෙකි. සම්බුද්ධ
ශාසනයෙහි චිරපැවැත්ම සඳහා අනුපමේය යුග මෙහෙවරක් ඉටුකොට 2014 ජනවාරි මස 17 වැනි දින
කීර්තිශේෂභාවෝපගත වූහ.
 පූර්වකෘත පුණ්‍ය බල මහිමය කරණකොට ගෙන දකුණු සිරිලක, වැලිගම, වල්ලිවෙල නිවසේ දී
පින්වත් කටුකුරුන්ද වෙල්ලාලලාගේ ඕදිරිස් ද සිල්වා මහෝපාසක තුමාට දාව, පින්වත්
කොග්ගල වෙල්ලාලලාගේ බබුන්හාමි මහෝපාසිකා තුමියගේ කුසින්, දරුවන් දස දෙනෙකුගෙන්
සමන්විත පවුලෙහි කණිටු දරුවා ලෙස 1913 වසරෙහි ඔක්තෝබර් මස 14 වැනි දින මෙලොවට ජනිත
වූ අප මහනාහිමියෝ, සිය පවුලින් උරුම වූ ශ්‍රද්ධාකාමීත්වය ද, සසරින් උරුම වූ ධාර්මික
නැමියාව ද හේතුවෙන් කුඩා කල සිට ම ශාසන මාමක බවින්, පැවිද්ද රිසි විය. ඒ අනුව 1925
වර්ෂයෙහි දී අහංගම එළුකැටිය බිම්බාරාමයේ දී පරම පූජනීය අහංගම සිරි විමලසාර
මාහිමිපාණන් වහන්සේගේ අචාර්යත්වයෙන් ‘වැලිගම ඤාණරතන’ නමින් පැවිදි දිවියට එළඹියේ ය.
තල්පෙ, මාකඳුගොඩ නිග්‍රෝධාරාම මහා විහාරයෙහි සිය ගුරුදෙවි මාහිමිපාණන් වහන්සේ හා
අතිපූජ්‍ය අහංගම සෝමරතන මාහිමිපාණන් වහන්සේ ඇසුරෙහි මූලික භික්‍ෂු ආකල්ප දියුණු කර
ගනිමින් බණදහම් පුහුණූ වී 1930 වසරේ දී මාකඳුගොඩ වෙහෙරේ දී උපාසිකාවන් සිව් දෙනෙක්
උදෙසා ‘සාරඤ්ච සාරතෝ ඤත්වා’ ගාථාව ඇසුරෙන් අඩ හෝරාවක් පමණ බණ කියමින්, තම මංගල දහම්
දෙසුමෙන් ඇරඹි මෙම ධර්ම කථිකත්වයෙහි කූටප්‍රාප්තිය වූයේ 1953 වසරේදී ලක්දිව පළාත්
09 නියෝජනය කරමින් සිදුකළ ධර්ම දේශනාවලියෙහි බස්නාහිර පළාත නියෝජනය කරමින් ලක්දිව
විශිෂ්ටතම ධර්ම දේශකයාණෝ ලෙස අභිෂේක ලැබීමයි. මාලිගාකන්ද විදුදය පිරිවෙනට ඇතුළත්
වී, පිළිවෙලින් ඉගෙනුම ලබන අතරතුර 1933 වසරේ දී සුපරිශුද්ධෝපසම්පදාව ලැබූහ. මෙසේ
සීලයෙන්, දැනුමෙන්, ගුණයෙන්, පාණ්ඩිත්‍යයෙන් මෙන් ම, ගුරුවරයෙක්, ආරාම පරිපාලකයෙක්,
ගත් කතුවරයෙක් ආදී සෑම අංශයකින් ම සිය ප්‍රතිභාව විදහා දැක් වූ අයුරු සංක්‍ෂේපයෙන්
මෙතැන් සිට දක්වමි.
සිය නිකැළැල් පැවිදි දිවිය පුරාවට ම අනුමාත්‍ර වරදෙහි පවා බිය දකිමින් සතර සංවර
ශීලයෙහි ප්‍රතිමූර්තියක් වූහ. ත්‍රිපිටක බුද්ධ වචනය දිවගෙහි ලෙළදුන් නා සමිඳාණෝ
ධර්‍ම චෛත්‍යයක් බඳු ය. රත්න කෝෂ්ඨාගාරයකි. අසහාය ලේඛකයහ. කුශාග්‍ර බුද්ධිමත්හ.
කථකේශ්වරහ. පණ්ඩිත ශිරෝමණීහ. ඡට්ඨ මහා සංගායනාවේ දී ලක්දිව නියෝජනය කරමින් වැඩම
කොට, එහිදී සිය පිරිස වෙත පැවැරුණු සංයුත්ත නිකාය කොටස තනිව ම ශෝධනය කළහ. බුද්ධ
ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ දී ජාතක පාළිය 02 කොටස පරිවර්තනය කරමින් පර්යාප්ති
ශාසනයේ පැවැත්ම උදෙසා සිය මහරු යුතුකම ඉටු කළහ. කෙසර සිහරදකු මෙන් අභීතව ශීලාදී
ගුණයෙන් වෙසරද ව අන් සැමට ම වඩා උත්තරීතර ව, ථේරීය මහා විහාර සම්ප්‍රදායෙහි ශ්‍රමණ
සාරුප්‍ය මෙබඳු යයි ලොවට නිදසුන් වෙමින් වැඩ සිටියහ.
ප්‍රාචීන පණ්ඩිත උපාධිය උසස් ලෙසින් සමත් වූ උන්වහන්සේ සිංහල-පාලි- සංස්කෘත
-ප්‍රාකෘත හා හින්දි භාෂාවන් හා එහි වියරණයන් ද, ඡන්දස් - අලංකාර - තර්‍ක - න්‍යාය
ඉතිහාසාදී ශාස්ත්‍ර විෂයනුත් මනාව ප්‍රගුණ කළ අතර, ත්‍රිපිටක බුද්ධ වචනය අටුවා -
ටීකා -සන්න - ගැටපද හා ප්‍රකරණ ඇසුරු කරමින් ධර්‍ම විනයෙහි ද පරතෙර පත්හ. මහ
නාසමිඳුන්ගේ ප්‍රඥා පාටවය දැනීමට බුරුම භාවනා විවේචනය වැනි එක් කුදු ගතක් පමණක් ම
සෑහේ.
ධර්‍ම විනය පිළිබඳ පැන නැඟ ආ ඕනෑම ගැඹුරු ප්‍රශ්නයකට අවසාන තීරණය ලබාදීමට සමත්වූහ.
ඒ නිසා මහ නාහිමියන්ගේ පිහිට පතා ආ පිරිස අපමණ ය. කාරණය ගැඹුරු තරමට ම උන්වහන්සේගේ
ප්‍රඥා කෞශල්‍යය විදහා පෙන්වනුයේ ගැඹුරු මුහුදෙහි සිතැඟි සේ ක්‍රීඩා කරන්නා වූ මහා
මත්ස්‍යයකු ලෙසිනි. කුදුසික විවරණා දී විනය ග්‍රන්ථ මේ සඳහා නිදසුන් සපයයි. එමෙන් ම
ශාසන විලෝපී ක්‍රියාවන්ට මෙන් ම ජාතික ප්‍රශ්නවල දී ද අභීත ව නැඟී සිටිමින් ගත්
පියවර නිසා රටටත් ජාතියටත් සම්බුදු සස්නටත් සිදු වූ මෙහෙවර සදානුස්මරණීය වේ.
ප්‍රතිපත්ති ශාසනයෙන් විඳී දහම් සුවය, අන්‍යයන්ට ද සුව එළවනු වස් ‘අන් සැම දෙන තුළ
ද ධර්මය ජීවමාන කිරීමට’ තම දිවි කැප කළහ.
ඊර්ෂ්‍යා පරවශයන් හැර මුළු මහත් බෞද්ධ ලෝකයාගේ ම අකලංක ගෞරවාදරයට භාජනය වෙමින් වැඩ
විසූ මහ නාහිමිපාණන් වහන්සේ කෙරෙහි කිසිවිටෙක බොරු තෙද ඔද තිබුණේ නැත. උන්වහන්සේ
හමුවට එන බාල-මහලු, උසස්-පහත්, දුප්පත්-පොහොසත්, උගත්-නූගත්, ගිහි-පැවිදි යන කවර
තරාතිරමේ කෙනකු ගැනවත් උස් පහත් කොට සිතා, උසස් අය සගන්නටවත්, පහත් අය නිගන්නටවත්
සූදානම් නොවූහ. හමුවන සැමට සාරාණීය කාරණයක් කියාදීම මෙන් ම, දහම් ග්‍රන්ථයක් තුටු
පඬුරක් ලෙස ලබාදීම අවිජහිත සිරිතක් ව පැවතිණි. උන්වහන්සේ ලියූ කුඩා ලිපිය වුව අර්‍ථ
පූර්ණ ය. ධර්‍ම රසයෙන් අනූන ය. මෙසේ ලියන ලද ධර්‍ම ග්‍රන්ථ සංඛ්‍යාව ශතාධික ය.
සිය ඇදුරු පරපුරෙන් හිමි වූ විහාරස්ථානයට අමතරව දෙස් - විදෙස් වශයෙන් බෞද්ධ
කේන්ද්‍රස්ථාන ගොඩනැං වූ අතර, රත්මලාන මල්ලිකාරාම මහා විහාරස්ථානය එහි අද්විතීය
පින්බිමයි. ශ්‍රීලංකාවෙහි විවිධ පළාත් තුළ ගොඩ නංවන ලද අතර, සම්බුද්ධ ශාසනයෙහි
චිරස්ථිතිය පිණිස ශ්‍රේෂ්ඨ ගිහි - පැවිදි උගත් සිසු පරපුරක් ඇතිකර වූහ. පිරිවෙන්
ආයතන ඇති කොට, භික්‍ෂු අධ්‍යාපනය ද, දහම් පාසල් තුළින් බෝසත් දරු පරපුරක් ද, ධර්ම
දේශනා මාලා හා ධර්ම ග්‍රන්ථකරණය තුළින් වැඩිහිටි පරපුර ද වශයෙන් සෑම අංශයකින් ම
සදාචාර සම්පන්න යුගයක් නිර්මාණය උදෙසා කටයුතු කළහ.
එනිසා දඹරන් කඳක් බඳු, ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයකු වූ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
සිය දිවියෙහි 101 ක් වසරක් හා සිය පැවිදි දිවියෙහි 89 වසරක් පුරා සිදුකළ අනුපමේය
යුග මෙහෙවර අනුස්මරණය කිරීම සත්පුරුෂ ලෝකයාට සිය දිවි සාර්ථක කර ගැනීමට උපස්ථම්භක
වෙනවා මෙන් ම එම ශ්‍රේෂ්ඨ චරිත අධ්‍යයනය කිරීම වර්තමානයෙහි ගිහි - පැවිදි කාගෙත්
චරිත සංවර්ධනයටත්, සිය චිත්ත සන්තානය තුළ වීර්ය ඇති කරගැනීමටත් මහෝපකාරී වන බව
හෘදයාංගමව සිහිපත් කරමි.
මෙම තෙළෙස් වන ගුණ සමරු පින්කම්වලට සමගාමී ව මහනාහිමිපාණන් වහන්සේ ලියා පළ කළ වටිනා
ධර්ම ග්‍රන්ථ අතුරින්, ‘චතුරාර්ය සත්‍යය, මිනිස් දිවිය, සිත පිරිසිදු කරගත හැකි
ක්‍රමය, අනුත්තරිය ධර්ම, ගිහි බෞද්ධයාගේ දියුණුව පිණිස හේතුවන කරුණු හතක්’ යන ධර්ම
ග්‍රන්ථයෝ මුද්‍රණය කොට ධර්ම දානය වශයෙන් බෙදා දීමට ද කටයුතු යොදා තිබේ. මෙම සකල
පුණ්‍යයෝ අප ගුරුදෙවි මහනාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් පිණිස ම වේවා!
සීලාදිනේක ගුණ සෝභිත තේජවන්තෝ
සබ්බේසු තීසු පිටකේසුපි කෝවිදෝයෝ
ධීරෝහි ඤාණරතනව්හය ථේරපාදෝ
නිබ්බාන ධාතු මධිගච්ඡතු
තික්ඛපඤ්ඤෝ
සිල්ගුණ පිරු නොමද -
හොබනා තෙදින් හිරු ලෙද
තෙවළ දම් කෝවිද -
දියත දද නැගු යමකු වේවි ද
වැලිගම නැණරුවන් -
මහනයු තෙර ය පිරුවන්
විදසුනම දැරුවන් -
තැනට යේවා නොදුටු මරුවන් |