[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අව අටවක පෝ දා 2026-01-10

අවෛරයෙන් වෛරය දුරුකරමු

නහි වේරේන වේරානි - සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී - එස ධම්මෝ සනත්තනෝ”

 කිසිදු විටක වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් ම වෛරය දුරු කළ යුතු බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ඒ දහමට ගරු කරන්නට අප එදා කටයුතු කළා පමණක් නොව ලෝකයේ ම අවධානය පවා ඒ කෙරෙහි යොමු කරන්ට අපට හැකි විය.

ඊට හොඳම උදාහරණය වන්නේ  දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානයෙන් යුද වන්දි ඉල්ලීමට 1951 කැඳවා තිබූ සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවයි. එහිදී ජපානයට ආර්ථික දඬුවම් ලබා දීමටත් ජපානයෙන් වන්දි ඉල්ලීමටත් කටයුතු සූදානම් කර තිබූ නමුත් ඒ සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ ජේ.ආර්. ජයවර්ධන මහතා කියා සිටියේ ‘අපි බෞද්ධ දර්ශනය පදනම් කරගත් ජාතියක්. ඒ නිසා අපි ඒ අයට සමාව දෙනවා. අපිට වන්දි අවශ්‍ය නැහැ‘ යනුවෙනි. එමෙන්ම  ධම්මපදයේ දැක්වෙන ඉහත ගාථා පාඨයද ඔහු ප්‍රසිද්ධියේ පවසන ලදී. ඔහුගේ දේශනයෙන් පසු එම සමුළුවට පැමිණ සිටි සියලු රටවල් ජපානයට සමාව ලබා දුන්නේ ය.

ජපානය ශ්‍රී ලංකාවට බෝම්බ දැම්මේ ය. එයින් අපට විශාල හානි සිදු විය. එහෙත් ශ්‍රී ලංකාව ඊට වෛර කිරීම නැවැත්වූවා පමණක් නොව සමස්ත ලෝකයට ම අවෛරීව කටයුතු කළ යුතු බවට පාඩමක්ද කියා දුන්නේය.

ජපානයට අද ලබා ඇති දියුණුව කරා එන්නට හැකි වූයේ එදා ජපානයට ලැබුණු ඒ සහනය නිසා ය. එදා අප රටේ තිබුණු ඒ ධාර්මික හැඟීම් අද වන විට අපෙන් යම් දුරකට දුරස් ව ගොසිනි.

ලෝකයේ රටවල් අතර මේ වන විට ඇති ව තිබෙන එකිනෙකා පරයා යාමේ අර්බුදකාරී තත්ත්වය අපට ද ඍජුව ම බලපානු ඇත. රටවල් දෙකක් අතර ඇතිවන ගැටුම් හා ආර්ථික සම්බාධක පැනවීම් හරහා එන අර්බුදවලින් අපට වන බලපෑම කිසිසේත් ම වැළැක්විය නොහැකි ය.

මේ සියල්ලම වළක්වා ගත හැකි එකම ක්‍රමය වන්නේ අවෛරීව අනෙකා දෙස බැලීමට හුරුවීම පමණි.

තමන් කොතරම් බලවතෙක් වුවත්, කොපමණ ශක්තියක් තිබුණත්, ආර්ථිකය කොතරම් ශක්තිමත් වුවත් ඒ සියල්ල විනාශ වන්නට අපට ගත වන්නේ කෙටි කාලයක් විය හැකි ය. වෙනිසියුලාවට වූයේ ද ඒ දේම ය.

ලෝකයේ වැඩිම බොරතෙල් සංචිත ඇති රට ලෙස වෙනිසියුලාව පිළි ගනු ලැබේ. සාමාන්‍ය වශයෙන් පෙන්වා දෙන්නේ නම් වෙනිසියුලාවේ බොරතෙල් බැරල් බිලියන  300 ක් ඇති බවට ගණන් බලා ඇත.

එවන් ආර්ථීකයෙන් ශක්තිමත් රටක්  වූ වෙනිසියුලාව ඇද වැටීම ආරම්භ වූයේ 1999 වසරේ හියුගෝ චාවේස්  එරට ජනාධිපතිවරයා වූ පසුව ය. ඔහුගෙන් පසුව ජනාධිපති ධුරයට පත් නිකලස් මදුරෝද තම ආර්ථික ශක්තිය ගැන උදම් අනමින්  කටයුතු කළේ ය. ඔහු තම හයිකාරකම් ගැන උදම් අනමින් සිටියේය. අවසානයේ වෙනිසියුලාවේ ආර්ථිකය කොතරම් බංකොලොත් වූවේ ද යත් පෙර වසරේ වෙනිසියුලානු බොලිවර්ස් 10ක් වූ ආහාර පාර්සලයක් වසරකට පසු වෙනිසියුලානු බොලිවර්ස් ලක්ෂයක් පමණ දක්වා ඉහළ ගියේ ය.

මේ තත්ත්වය නිසා අසල්වැසි අමෙරිකාවට දැඩි බලපෑම් එල්ලවීම නිසා පසුගිය දා ජනාධිපතිවරයා ජීවග්‍රහයෙන් අල්ලාගෙන අමෙරිකාවට රැගෙන යාමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කිරීම ලෝකයේ සෙසු රටවල් පෙන්වා දෙන්නේ වෛරයෙන් කළ ක්‍රියාවක් ලෙස ය.

ලෝකයේ රටවල් අතර ඇති එකමුතුකම නිසා අනෙක් රටවලට අවශ්‍ය ආධාර ලබාදීම සිදු කෙරිණි. අපට ද පසුගිය දිට්වා සුළි කුණාටුව ඇති වූ අවස්ථාවේදී රටවල් රැසකින් ආධාර හිමි නොවන්නට අදටත් ගැටලු රැසකට මුහුණ පාන්නට ඉඩ තිබුණි.

එම නිසා බුදු දහමට අනුව අප ගමන් නොකළහොත් විශේෂයෙන් ම අවෛරයෙන් වෛරය සංසිදීම දෙස නොබැලුවහොත් එය අපේ ගමට, නගරයට පොදුවේ රටට දැඩි ව බලපානු ඇත. දහමෙහි හැසිරෙන්නා දහම විසින් ම රකිනු ලබන බොදු වදන් ද අප සිහි කර ගත යුතු ය.

දුරුතු අව අටවක

ජනවාරි 10 සෙනසුරාදා
පූ.භා. 08.27න් අව අටවක ලබා
11 ඉරිදා. පූ.භා. 10.23න් ගෙවේ
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

 ‍පෙබරවාරි 01 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]