[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බද්දේගම සිරිරතන නාහිමිපාණෝ

ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ඉපැරැණි සම්ප්‍රදායට සඟසතු කොට පූජා කෙරේ

බුදුරදුන් ජීවමාන කල බිම්බිසාර මහා රජතුමා ලෝකයේ ප්‍රථම ආරාමය ලෙස සැලකෙන වේළුමනාරාමය ගොඩනඟා අතපැන් වත්කොට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වෙත ගෞරවයෙන් පූජා කළ පුවත අපි බෙහෙවින් ශ්‍රද්ධාවෙන් අසා ඇත්තෙමු. මළවුන්ට පින් අනුමෝදන් කිරීමේ අර්ථවත් චාරිත්‍රය අපට හඳුන්වාදුන් තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවේ නිදාන කතාව සම්බන්ධ සිද්ධිවාචක නිදසුන බෞද්ධ සාහිත්‍යයට එකතුවූයේ ඒ සමඟිනි. බුදුරදුන් ධරමාන කල කෝටිපතියකු වූ අනේපිඬු මහා සිටාණන් කහවනු 54 ලක්ෂයක් වියදම් කර ගොඩනැඟූ ත්‍රිපිටක දේශනාවන්ගෙන් හතරෙන් තුනක් දේශනා කරන්නට යෙදුණු සැවැත්නුවර ජේතවනාරාමය එලෙසම අතපැන් වත්කොට බුදුරදුන් ප්‍රධාන මහා සංඝ සන්නිපාතයකට පූජා කළ බව ත්‍රිපිටකගත බෞද්ධ සාහිත්‍ය හෙළි කරයි. සම්බුද්ධ දේශනා ශ්‍රවණය කරන්නට ගිය විශාඛා මහා උපාසිකාව තමන්ට අමතකව ගිය වටිනා මේලපලඳනාව ආනන්ද මාහිමි ප්‍රධාන මහා සංඝරත්නය ස්පර්ශ කළ හෙයින් ගිහියන් වන අපට අකැප යැයි පවසා ඒ මහා ආභරණය විකුණා ලබා ගත් මුදලින් ජේතවනාරාමයට නැඟෙනහිරින් පූර්වාරාමය පිහිටුවා එබඳු අයුරින් ම අතපැන් වත්කොට බුදුරදුන් ප්‍රධාන මහා සංඝරත්නයට පූජා කළ බව ශාසන ඉතිහාසය අතිශය වර්ණනාත්මක ව විස්තර කරයි. අනුබුදු මිහිඳු මාහිමියන් බුදු දහම රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි කල්හි උන්වහන්සේට වැඩ විසීමට හැටඅටක් ලෙන් කරවා දෙවනපෑතිස් මහාරජාණන් විසින් මෙලෙසම අතපැන් වත්කොට මිහිඳු මාහිමියන්ට පූජා කළ ආකාරය මහාවංශය ඇතුළු වංශකතාවල විස්තරාත්මක ව පැහැදිලි කරයි. එතැන් පටන් මෙම මහා සම්ප්‍රදාය ප්‍රකට ව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ අතර විහාර මන්දිර, ආවාස ගෙවල්, ඉඩකඩම් කුඹුරු, වැසිකිළි කැසිකිළි පවා හදවා පූජා කිරීමේ දී මෙම ඓතිහාසික සම්ප්‍රදාය ආරක්ෂා කළ ආකාරය විශදව අපේ ඉතිහාසය පුරාම සාක්ෂි සපයයි. මෙම ඉපැරැණි ඓතිහාසික සම්ප්‍රදායට පණ පොවමින්, යුරෝපයේ සාම අග නගරය ලෙස විරුදාවලි ලත් ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ දී අසිරිමත් උත්සවයක් පසුගිය දා සිදු කෙරිණි. “අගත අනගත සදිස සගසු දිනේ” යන පැරැණි සෙල්ලිපිවලින් අපට හමුවන ‘ආව, වූ ද නො අවා වූ ද සතර දිගින් වැඩම කරවන මහා සංඝරත්නයට පූජා කළ වගයි’ යන අපේ ආදි මුතුන්මිත්තන් අනුගමනය කළ මේ උතුම් ඓතිහාසික ශිලා ලේඛනය නැවත වරක් අතීතාවර්ජනයක යෙදෙන්නට මඟ පාදමින් ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ඒ වූ පරිද්දෙන්ම අතපැන් වත්කොට සාංඝික කරවා පූජා කිරීම අතිෂය උත්කර්ෂවත් හා සම්භාවනීය ආකාරයෙන් සිදුකෙරිණි.


වප් අමාවක

ඔක්තෝබර් 20 සඳුදා අ.භා 03.48 අමාවක ලබා 21 අඟහරුවාදා අ.භා 05.58න් ගෙවේ.
20 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

First Quarterපුර අටවක

නොවැම්බර් 05   

Full Moonපසළොස්වක

නොවැම්බර් 12 

Second Quarterඅව අටවක

නොවැම්බර් 19    


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]