විදුලකර අබිමන් - 02
නොවැම්බර් මස පළමුවැනි දිනට යෙදෙන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ 150 වැනි සැමරුම
නිමිත්තෙනි
රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගෙන් පසු විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරයට පත්
වූයේ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ ය. පිරිවෙනේ ස්වර්ණමය යුගය මෙම
යුගය බව අවිවාදයෙන් පැවසිය හැක්කේ පන්සියයකට වැඩි දෙස් විදෙස් ශිෂ්‍යයන් මේ
වකවානුවේ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ නිසා ය. පිරිවෙන සකලාංග පරිපූර්ණ
විද්‍යාස්ථානයක් වීම සේ ම ඉන්දියාවේ හිල්සා ස්තූපය කැණීමෙන් හමු වී එංගලන්තයට රැගෙන
ගොස් තිබූ සර්වඥ ධාතූන් වහන්සේ පිරිවෙනට වැඩම වූයේ ද මේ අවධියේ ය.
ලුණුපොකුණේ නාහිමියන්ට පසුව කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන් පරිවේණාධිපති
ධුරයට පත් විය. භික්ෂුවකගේ උරුමය තහවුරු කරමින් විද්‍යාලංකාර ප්‍රකාශනය එළි දක්වන
ලදී. සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ඉදිරිපත් කළ නිදහස් අධ්‍යාපන පනත
පාර්ලිමේන්තුව මගින් සම්මත කොට නීතිගත කරවීම පිණිස රට පුරා රැස්වීම් පවත්වමින්
විශාල දායකත්වයක් ලබා දීමට විද්‍යාලංකාර පිරිවෙනේ හිමිවරු ක්‍රියා කළහ.
නිදහස් අධ්‍යාපනය ලංකාවේ භික්ෂූන් වහන්සේ විසින් ජනයාට ලබා දුන් ජයක් බව නල්ලුර්
මන්ත්‍රී වී. නල්ලයියා මහතා ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ සඳහන්
වෙයි.
පිරිවෙනට හැත්තෑපස් වසරක් සපිරීම නිමිත්තෙන් 1950 වර්ෂයේ ත්‍රිපිටක ධර්ම සංගායනාවක්
ආරම්භ කෙරුණි. බුරුමයේ පැවති ඡට්ඨ සංගායනාව සඳහා ආදර්ශය සපයන ලද්දේ මෙම ත්‍රිපිටක
ධර්ම සංගායනාව යි.
1956 වර්ෂයේ සමාජ පෙරළියේ කේන්ද්‍රස්ථානය වූයේ විද්‍යාලංකාර පිරිවෙනයි. සිංහල භාෂාව
රාජ්‍ය භාෂාව කිරීම වැනි සේවා රාශියක් විද්‍යාලංකාරයේ අනුශාසනා පරිදි සිදු කෙරිණි.
විශේෂයෙන් 1959 වර්ෂයේ විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් දෙකට විශ්වවිද්‍යාල තත්වය
පිරිනැමුණි. එම අවස්ථාවේ දී පරිවේණාධිපති කිරිවත්තුඩුවේ නාහිමියන් විශ්වවිද්‍යාලයේ
උපකුලපති පදවියට පත්වූයෙන් යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමිපාණන් වහන්සේ
පරිවේණාධිපති ධුරයට පත් වූහ.
ශ්‍රී ධර්මානන්ද, ශ්‍රී ප්‍රඥාසාර නාහිමිවරුන්ගේ අවධියේ සිදු වූ සෑම කටයුත්තක ම
පුරෝගාමියා වූයේ යක්කඩුවේ නාහිමිපාණන් වහන්සේ ය. ගිහි දරුවන් වෙනුවෙන් කැලණිය
ධර්මාලෝක විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය ආරම්භ කරවූයේ යක්කඩුවේ නාහිමියන්ගේ
මූලිකත්වයෙනි.
දිමුතු පුන්සර කොළඹගේ |