ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වප් අමාවක පෝ දා 2025 ඔක්තෝබර් 20 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුදු පිළිම සඳහා පාරුපනය යොදා ඇති ආකාරය අනුව ද ගන්ධාර මථුරා සම්ප්‍රදායද්වයෙහි පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. දෙවුරම නොවැසෙන සේ සිවුර දක්වා ඇත. එහි වම් උරහිස වැසෙන අයුරින් සිවුර දක්වා සිවුරෙහි රැළි උඩුකය මත පමණක් පෙන්වා ඇත. ඇතැම්විට දෙවුර වැසූ ප්‍රතිමා ද දක්නට නැතුවා නොවේ. ශරීරයේ පහළ කොටසෙහි පෙනෙන නොපෙනෙන අයුරින් ඉතා සියුම් ව සිවුර නිර්මාණය කොට ඇත. අඳනය පටියකින් සිරකොට බැඳ තිබෙන ආකාරය පෙන්නුම් කරයි. බුදුරදුන් සිවුර හැඳ පොරවා සිටි ආකාරය ගැන ගන්ධාර ශිල්පියාට වඩා වැඩි අවබෝධයක් මථුරා ශිල්පියාට තිබුණු බව මේ අනුව පෙන්වා දිය හැකි සාධකයකි. බුදු පිළිමය සඳහා මුද්‍රා භාවිතය ද මථුරා ශිල්පියා ගේ තවත් විශේෂ ලක්‍ෂණයකි. බුදු සිරිතෙහි විවිධ අවස්ථා නිරූපණය කිරීමට මථුරා කලා ශිල්පියා මුද්‍රා භාවිතය යොදාගෙන ඇත. බුදු පිළිම නිර්මාණයේ දී පරිමාණ ලක්‍ෂණ ගැන ද මථුරා ශිල්පියා ගේ අවධානය යොමු වී ඇත. නළලේ සිට නිකට දක්වා ඇති ප්‍රමාණය එක් ඒකකයක් ලෙස ගෙන එවැනි කොටස් අටකින් හෝ නවයකින් යුක්ත වන සේ ශරීරය නිර්මාණය කොට ඇති ප්‍රතිමා මථුරා සම්ප්‍රදායෙහි වෙයි. බොහෝ විට මෙම ක්‍රමය හිටි පිළිම සඳහා යොදාගෙන ඇත. මථුරා කලා සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමා අතර අද්විතීය කලා නිර්මාණයක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගුප්ත යුගය තුළ ඉදිකෙරුණු හිටි පිළිම යි. ඉතා චමත්කාරජනක මෙම ප්‍රතිමා ශතවර්ෂ ගණනාවක අත්දැකීම් අනුසාරයෙන් හැඩගැසුණු නිර්මාණ බව පෙනේ. ගුප්ත යුගයේ නිර්මාණය වූ එකී බුද්ධ ප්‍රතිමා අපරදිග කලා සම්ප්‍රදායේ හා දේශීය සම්ප්‍රදායේ සම්මිශ්‍රණයෙන් බිහි වූ පරිසමාප්ත කෘතීන් වේ. ස්ථිරසාර ගුණය, ගාම්භීරත්වය, ප්‍රසන්න පෙනුම, මහා කරුණාව හා වීතරාගීත්වය එම ප්‍රතිමා තුළින් මනාව මූර්තිමත් වේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය දැක්වෙන සාරානාත් හි ප්‍රතිමාව ද මථුරා කලා සම්ප්‍රදායේ තවත් ශ්‍රේෂ්ඨතම නිර්මාණයකි. මථුරා සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමා අතර විශේෂ අවධානයක් යොමුවිය යුතු තවත් ප්‍රතිමාවක් ලෙස මථුරා මියුනික් කෞතුකාගාරයේ ඇති කත්‍රා බුදු පිළිමය (ක්‍රි.ව. 02 වන ශතවර්ෂය) දැක්විය හැකි ය. අඩි 02 අඟල් 3 1/4 ක් පමණ උස ඇති රතු වැලිවලින් නිම වූ ඒකාංශ පාරුපනය සහිත මෙය අභය මුද්‍රාවෙන් යුක්ත ය. බද්ධ පර්යංකයෙන් වැඩසිටින මෙහි සිරිපතුල්වල ත්‍රිරත්න චක්‍ර ආදී මංගල ලක්‍ෂණ පිහිටුවා ඇත. පා ඇඟිලිවල ස්වස්තික ලක්‍ෂණ කොටා ඇත.
ඔක්තෝබර් 20 සඳුදා අ.භා 03.48 අමාවක ලබා 21 අඟහරුවාදා අ.භා 05.58න් ගෙවේ. 20 සඳුදා සිල්
අමාවක
ඔක්තෝබර් 20
පුර අටවක
ඔක්තෝබර් 29
නොවැම්බර් 05
පසළොස්වක
නොවැම්බර් 12
අව අටවක
නොවැම්බර් 19
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]