[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් අමාවක පෝ දා 2025-10-20

කරදර මඟහරින මඟක්

මෙලොව එළිය දුටු දා පටන් සත්ත්වයාට මුහුණ දෙන්නට වන ප්‍රශ්න අපමණ ය. ගැටලු අපමණ ය. ජීවත්වීම යනු මේ ප්‍රශ්න, ගැටලුවලට විසඳුම් සොයනවා ම විනා වෙනත් දෙයක් නොවන බව කෙනකුට හැඟෙන තරමට ප්‍රශ්න හා ගැටලුවල ඉවරයක් නැත. අප තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ සිටින සමයේ එක්තරා දේවතාවෙක් උන්වහන්සේ වෙත පැමිණ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස. මේ ලොව ජීවත් වන මිනිසුන්ට ඇතුළත් ප්‍රශ්නය. පිටත් ප්‍රශ්නය. කායික ව මානසික ව ඔවුන්ට පීඩාගෙන දෙන මේ කරදරවලින් මිදෙන්නට යම් ප්‍රතිකර්මයක් තිබෙනවාද? යි විමසා සිටියේ ය.

එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ යම් පුද්ගලයෙක් තමන්ගේ සිත පාලනය කර ගන්නට අපොහොසත් නම්, ගුණධර්ම නොසලකා කටයුතු කරන්නේ නම්, සිත හා ප්‍රඥාව දියුණු කර නොගන්නේ නම් ඔහුට මුහුණ දෙන්නට වන ප්‍රශ්න, ගැටලුවලින් බේරී සිටිය නොහැකි බව ය. මේ නිසා තමන් තුළ කායික මානසික හික්මීමක් ඇති කරගත යුතු බව ය.

උදාවන දිනක් පාසා, ගෙවෙන මොහොතක් පාසා තමන් මුහුණ දෙන අනේක විධ ප්‍රශ්න හමුවේ පීඩාවට පත්වන සමාජයට මේ දහම් පණිවුඩය මොනතරම් ශාන්තියක්, සුබදායී පිළිතුරක් ලබා දෙනවා ද? අප බොහෝ දෙනෙක් කරදර පිට කරදරවල පැටලෙන්නේ අසීමාන්තික ආශාව නිසා ය. එනම් දේවල් ළඟා කර ගැනීමෙහි ලා, අයිතිකර ගැනීමෙහි ලා පාලනයක් නොවන නිසා ය. ඒ පිළිබඳ ව සිත හික්මවා ගත නොහැකි නිසා ය. රස තණ්හාව, බල කාමය බොහෝ දෙනා අන්ධයින් බවට පත් කොට තිබේ. දෑස් නොපෙනෙන පුද්ගලයාට තමන් ඉදිරියේ ගින්නක් ඇවිළී ආවද එය නොපෙනේ. එයින් වන විනාශය නොදැනේ. ආශාවෙන් අන්ධ වූවහට ද ඒ තණ්හාව නම් වූ ගින්නෙන් තමන්ගේ ආධ්‍යාත්මය දැවෙන බව, විනාශය ළඟා වන බව නොපෙනේ. නොදැනේ.

අද සමාජයේ බොහෝ දේ තීරණය කරන්නේ මුදල ප්‍රමුඛ කර ගනිමිනි. රුපියල් ශත වෙනුවෙන් දිවිය ම කැප කරන්නෝ ද වෙති. ජීවත් වීමට මුදල් ඇවැසි වුව ද එය ජීවිතයේ අනර්ථය ළඟා කරන ආකාර බොහෝ ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ධනය, මිල මුදල්, දේපළ පිළිබඳ ප්‍රඥාවෙන් කටයුතු කළ යුතු බව ය. සම්පත් අර්ථය පිණිස මිස අනර්ථය පිණිස නොයෙදවිය යුතු බව ය. අර්ථ සම්පන්න ව භාවිත කළ යුතු බව ය. ශීලාචාර බව, හික්මීම, ප්‍රඥාව අවශ්‍ය වන්නේ ඒ සඳහා ය. ඒ ගුණ ඇති තරමට තමන් කරන කියන දෙයෙහි හොඳ නරක, අර්ථය, අනර්ථය වටහා ගත හැකි ය. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි පුද්ගලයෙක් උන්වහන්සේගෙන් අපූර්ව ප්‍රශ්නයක් විමසී ය.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ බොහෝ ප්‍රසන්න වෙති. දිනකට එක් වේලක් වළඳති. එහෙත් බොහෝ මිහිරි ආහාරපාන ඇති ගිහියෝ දුක සේ ජීවත් වෙති. අවලස්සන සිරුරු ඇත්තෝ වෙති.” යනුවෙනි.

සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් ගෙවුණු අතීතය හෝ උදානොවූ අනාගතය ගැන සිහින මවන්නේ නැති බවත් වර්තමානයේ ජීවත් වන බවත්, ඒ නිසා ප්‍රශ්න ගැටලු නැතිව සුව සේ ජීවත් වන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. මේ පණිවුඩය ජීවිතය පිළිබඳ කියා දෙන අපූර්ව පාඩමකි. ඒ පාඩම නිවැරැදි ව ජීවිතයට ප්‍රායෝගික කර ගන්නවා නම් බොහෝ ගැටලු, කරදර, සිත් රිදීම්, පසුතැවීම් අවම කර ගත හැකි ය.

වප් අමාවක

ඔක්තෝබර් 20 සඳුදා අ.භා 03.48 අමාවක ලබා 21 අඟහරුවාදා අ.භා 05.58න් ගෙවේ.
20 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

First Quarterපුර අටවක

නොවැම්බර් 05   

Full Moonපසළොස්වක

නොවැම්බර් 12 

Second Quarterඅව අටවක

නොවැම්බර් 19    


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]