බද්දේගම සිරිරතන නාහිමිපාණෝ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

බද්දේගම සිරිරතන නාහිමිපාණෝ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

ධර්මධර, විනයධර භික්ෂු ආකල්පයන්ගෙන් සුපෝෂිත සංඝ සෝබන ගුණයන්ගෙන් පිරිපුන් ආදර්ශවත් ක්‍රියාශීලී මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස දෙස් විදෙස්හි මහත් කීර්තියට පත් බද්දේගම කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරාධිපති කිරිබතාවිල ශ්‍රී අමරවංශ පිරිවෙනේ කෘත්‍යාධිකාරී ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ස්වරභඤ්ඤ විශාරද බද්දේගම සිරිරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවිදි භූමියට පත්ව වසර පනස්හයක් සම්පූර්ණ වන අතර අධිශීල උපසම්පදා ශීලයෙහි පිහිටා පුරා වසර පනහක් සම්පූර්ණ වන මේ අවස්ථාව වන විට උන්වහන්සේ හැත්තෑ වන වියට ද පා තබති.

ඒ නිමිති කරගෙන පින්කම් මාලාවක් මෙම මස 13, 14, 15, 16 දිනයන්හි පැවැත්වීමට ශිෂ්‍ය බාලාදීන් හා දායක සභාව විසින් සංවිධානය කරනු ලැබ ඇත.

බද්දේගම සිරිරතන නා හිමියෝ 1955.10.16 වැනි දින බද්දේගම හම්මෑලිය නම් රමණීය ගමේ හේන්ද්‍රික් නානායක්කාර සහ ඩැසී සූරියආරච්චි යන දම්පතීන්ට දාව රතනසිරි නානායක්කාර නමින් මෙලොව ජනිත ව මූලික අධ්‍යාපනය ගමේ පාසලෙන් ලබා බද්දේගම කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාමාධිපති ව වැඩ විසූ බද්දේගම ශ්‍රී පඤ්ඤාසාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවනේ පරිවේණාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අකුරටියේ ශ්‍රී අමරවංශාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස බද්දේගම සිරිරතන සාමණේර නමින් පැවිදි විය.

හික්කඩුව නලාගස්දෙණිය ශ්‍රී සෝරත පිරිවනෙන් මූලික ධර්ම ශාස්ත්‍ර ග්‍රහණය කර උසස් අධ්‍යාපනය සඳහා 1975 දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් ව ගුරු සිසු දෙපක්ෂයේ ගෞරවයට පත්වෙමින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කළහ.

1975.05.30 වැනි දින රාජ පූජිත මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටියහ. 1980 සිට කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාම විහාරයට වැඩම කළ අපේ සිරිරතන තරුණ යතිවරයන් වහන්සේ ස්වකීය ගුරුදේවයන් වහන්සේට ඇප උපස්ථාන කරමින් ප්‍රදේශයේ ආගමික සාමාජික සංස්කෘතික කටයුතුවල දී නායකත්වයක් ලබා දෙමින් ක්‍රියා කළහ.

1981 වසරේ දී ගුරුදේවයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති පදවියට පත් ව දර්ශනීය රමණීය විහාරස්ථානයක් බවට පත්කරන්නට ද දිරිය ශක්තිය දෙමින් ක්‍රියා කළ අතර, 1986 දී බද්දේගම ශ්‍රී අමරවංශ පිරිවෙන ආරම්භ කරමින් ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කරන්නට ද නායකත්වය ලබා දුන් අතර විහාරස්ථ පුස්තකාලය ද ශ්‍රී පඤ්ඤාසාර පුස්තකාලය නමින් ආරම්භ කෙරිණි.

මහාවිහාර සම්ප්‍රදායයන් අගය කරමින් කීමෙහි බිනීමෙහි අති දක්ෂ දේශකයන් වහන්සේ නමක් ලෙස දෙස් විදෙස්හි පතළ කීර්තියක් ඇති අපේ සිරිරතන නා හිමියන්ගේ උදාර ශාසනික සේවය අගය කළ ස්‍යාමෝපාලී මහා විහාර වංශික මල්වතු විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව වෙතින් විනය කීර්ති ශ්‍රී විචිත්‍ර භානක යන ගෞරව නාම සහිත ව කර්මාචාර්ය පදවිය ද, විනය කීර්ති ශ්‍රී පඤ්ඤාසාර යන ගෞරව නාම සහිත ව ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද ගෞරවයට පත් කළහ.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරාධිපති ඔස්ටේ‍්‍රලියාවේ ප්‍රධාන සංඝනායක බේරුවල සෝභිත නාහිමියන් වහන්සේ ප්‍රමුඛ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය සමඟ විහාරස්ථ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය මඟින් ස්වරභඤ්ඤ විශාරද යන ගෞරව නාම සම්මුති පිළිගැන්වීම 2023.02.12 වැනි දින සිදු කරන ලදී.

අපේ සිරිරතන නායක හාමුදුරුවෝ දැන උගත් ධර්මධර විනයධර ශිෂ්‍යවරයන් වහන්සේ රාශියක් සසුනට එක් කළහ. උන්වහන්සේ බද්දේගම ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය ද දරමින් කළ මෙහෙවර ප්‍රසංශනීය ය.

ජීවන ගමන් මඟේ හැත්තෑවන වියට පා තබන ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ස්වරභඤ්ඤ විශාරද කර්මාචාර්ය බද්දේගම සිරිරතන නාහිමියන්ට තුනුරුවන් සරණින්, සියලු දෙවි රැකවරණයෙන් ශතවර්ෂාදී කාලයක් ලෝ සසුන් වැඩ වඩන්නට දිරිය, ශක්තිය, බලය, ලැබේවා'යි ප්‍රාර්ථනා කරමි.

වප් අමාවක

ඔක්තෝබර් 20 සඳුදා අ.භා 03.48 අමාවක ලබා 21 අඟහරුවාදා අ.භා 05.58න් ගෙවේ.
20 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

First Quarterපුර අටවක

නොවැම්බර් 05   

Full Moonපසළොස්වක

නොවැම්බර් 12 

Second Quarterඅව අටවක

නොවැම්බර් 19    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]