ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ඉපැරැණි සම්ප්‍රදායට සඟසතු කොට පූජා කෙරේ

ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ඉපැරැණි සම්ප්‍රදායට සඟසතු කොට පූජා කෙරේ

බුදුරදුන් ජීවමාන කල බිම්බිසාර මහා රජතුමා ලෝකයේ ප්‍රථම ආරාමය ලෙස සැලකෙන වේළුමනාරාමය ගොඩනඟා අතපැන් වත්කොට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වෙත ගෞරවයෙන් පූජා කළ පුවත අපි බෙහෙවින් ශ්‍රද්ධාවෙන් අසා ඇත්තෙමු. මළවුන්ට පින් අනුමෝදන් කිරීමේ අර්ථවත් චාරිත්‍රය අපට හඳුන්වාදුන් තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවේ නිදාන කතාව සම්බන්ධ සිද්ධිවාචක නිදසුන බෞද්ධ සාහිත්‍යයට එකතුවූයේ ඒ සමඟිනි.

බුදුරදුන් ධරමාන කල කෝටිපතියකු වූ අනේපිඬු මහා සිටාණන් කහවනු 54 ලක්ෂයක් වියදම් කර ගොඩනැඟූ ත්‍රිපිටක දේශනාවන්ගෙන් හතරෙන් තුනක් දේශනා කරන්නට යෙදුණු සැවැත්නුවර ජේතවනාරාමය එලෙසම අතපැන් වත්කොට බුදුරදුන් ප්‍රධාන මහා සංඝ සන්නිපාතයකට පූජා කළ බව ත්‍රිපිටකගත බෞද්ධ සාහිත්‍ය හෙළි කරයි.

සම්බුද්ධ දේශනා ශ්‍රවණය කරන්නට ගිය විශාඛා මහා උපාසිකාව තමන්ට අමතකව ගිය වටිනා මේලපලඳනාව ආනන්ද මාහිමි ප්‍රධාන මහා සංඝරත්නය ස්පර්ශ කළ හෙයින් ගිහියන් වන අපට අකැප යැයි පවසා ඒ මහා ආභරණය විකුණා ලබා ගත් මුදලින් ජේතවනාරාමයට නැඟෙනහිරින් පූර්වාරාමය පිහිටුවා එබඳු අයුරින් ම අතපැන් වත්කොට බුදුරදුන් ප්‍රධාන මහා සංඝරත්නයට පූජා කළ බව ශාසන ඉතිහාසය අතිශය වර්ණනාත්මක ව විස්තර කරයි.

අනුබුදු මිහිඳු මාහිමියන් බුදු දහම රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි කල්හි උන්වහන්සේට වැඩ විසීමට හැටඅටක් ලෙන් කරවා දෙවනපෑතිස් මහාරජාණන් විසින් මෙලෙසම අතපැන් වත්කොට මිහිඳු මාහිමියන්ට පූජා කළ ආකාරය මහාවංශය ඇතුළු වංශකතාවල විස්තරාත්මක ව පැහැදිලි කරයි.

එතැන් පටන් මෙම මහා සම්ප්‍රදාය ප්‍රකට ව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ අතර විහාර මන්දිර, ආවාස ගෙවල්, ඉඩකඩම් කුඹුරු, වැසිකිළි කැසිකිළි පවා හදවා පූජා කිරීමේ දී මෙම ඓතිහාසික සම්ප්‍රදාය ආරක්ෂා කළ ආකාරය විශදව අපේ ඉතිහාසය පුරාම සාක්ෂි සපයයි.

මෙම ඉපැරැණි ඓතිහාසික සම්ප්‍රදායට පණ පොවමින්, යුරෝපයේ සාම අග නගරය ලෙස විරුදාවලි ලත් ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ දී අසිරිමත් උත්සවයක් පසුගිය දා සිදු කෙරිණි. “අගත අනගත සදිස සගසු දිනේ” යන පැරැණි සෙල්ලිපිවලින් අපට හමුවන ‘ආව, වූ ද නො අවා වූ ද සතර දිගින් වැඩම කරවන මහා සංඝරත්නයට පූජා කළ වගයි’ යන අපේ ආදි මුතුන්මිත්තන් අනුගමනය කළ මේ උතුම් ඓතිහාසික ශිලා ලේඛනය නැවත වරක් අතීතාවර්ජනයක යෙදෙන්නට මඟ පාදමින් ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ඒ වූ පරිද්දෙන්ම අතපැන් වත්කොට සාංඝික කරවා පූජා කිරීම අතිෂය උත්කර්ෂවත් හා සම්භාවනීය ආකාරයෙන් සිදුකෙරිණි.

ඉමං ආරාමං ච ආරාම වත්ථූංච චත්තාරි දිසාය ආගත්තස්ස අනාගතස්ස භික්ඛු සංඝස්ස පූජේම’ යනුවෙන් කියැවෙන පාඨය රැස්ව සිටි ශ්‍රී ලාංකික තායි, සුවිස්, ප්‍රංශ, ලාඕස්, වියට්නාම්, කාම්භෝජ, බංග්ලාදේශ් හා ඉන්දියන් ජාතීන්’ ලවා කියවීම උත්සවයේ ප්‍රධාන අනුශාසකයාණන් වහන්සේ වූ අමෙරිකාවේ සිට වැඩම කළ කැලිෆෝනියා සරසවියේ හිටපු මහාචාර්ය සක්රමෙන්ටෝ බෞද්ධ විහාරයේ අතිපූජ්‍ය මඩවල සීලවිමල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකර වදාළහ.

අතපැන් වත් කිරීම එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හා තානාපති හිමාලි අරුණතිලක මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිදු කළ අතර, විහාරස්ථ දායක සභාව හා කුලඟන සමිතිය නියෝජනය කරමින් සිංහල, තායි, සුවිස්, වියට්නාම්, ලාඕස්, කාම්භෝජ, බංග්ලාදේශ හා ඉන්දියන් යන විවිධ ජාතිකයන් නියෝජනය වෙමින් මහා සංඝරත්නය වෙත අතපැන් වත්කිරීම මහත් ගෞරවයෙන් සිදු කළහ. ඉන් අනතුරුව එම ඵලකය නිරාවරණය කිරීම ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ ආයතනයේ පරවාහැර චන්දරතන නාහිමි අතින් සිදු කෙරිණි.

උත්සවය ආරම්භ කරමින් වැඩමකොට වදාළ මහා සංඝරත්නය ඒ ඒ රටවල් නියෝජනය කරමින් අටවිසි බුදුරජාණන් වහන්සේට උපහාර පිණිස පහන් 28 දැල්වීමෙන් සැමට ආශීර්වාද සිදු කළහ.

වැඩමවා වදාළ සියලුම මහා සංඝරත්නය ජිනීවා සාම නගරයේ සිට ලෝක සාමය වෙනුවෙන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදු කිරීම හැමගේ ගෞරවයට හා පහන් සංවේගය පිණිස හේතු වූ අතර, අවසන මහනුවර මල්වතු විහාර මූලස්ථානයෙන් ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ට හා හල්විටිගල සුජාත හිමි ඇතුළු විහාර වාසී හිමිවරුන්ටත්, සියලු දායක කරකාදීන්ටත් සෙත් පතමින් ජය පිරිත හා අටවිසි පිරිත දේශනා කොට වදාළහ.

යුරෝපයේ රටවල් 12ක් නියෝජනය කරමින් ප්‍රධාන වැඩිහිටි ස්වාමින් වහන්සේ 30 නමක් ද, විවිධ ජාතික භික්ෂුණීන් වහන්සේ 7 නමක් ද මෙම අවස්ථාවට වැඩම කළ අතර, එම දර්ශනය ‘සමණානංච දස්සනං’ යන බුදු වදන් සිහිපත් කළා පමණක් නොව සැමට කලාතුරකින් ලැබුණ මහත් ආශීර්වාදයක් වූ බව ද මැනවින් පැහැදිලි විණි.

අමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, සයිප්‍රස්, ඩෙන්මාර්කය, ස්වීඩන්, ස්කොට්ලන්තය. ගී‍්‍රසිය, වියට්නාමය, තායිලන්තය හා ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් වැඩම කළ මේ සියලු මහා සංඝරත්නය වෙනුවෙන් සිංහල භාෂාවෙන් ආචාර්ය අග්ගමහා පණ්ඩිත අකුරටියේ නන්ද නාහිමියන් ද, ප්‍රංශ භාෂාවෙන් ආචාර්ය පරවාහැර චන්දරතන නාහිමියන් ද, ඉංගී‍්‍රසි භාෂාවෙන් මහාචාර්ය මඩවල සීලවිමල මාහිමියන් හා ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමියන් ද තායි භාෂාවෙන් අචාන් ප්‍රාකුර් හිමියන් ඒ ඒ අවස්ථානුකූල ව දේශනාවන් සිදු කළ අතර, පාස්ටර් ජෝන් ක්ලෝඩ් පියතුමා ද, හාපික් වුවාදිරි මහතා ද අන්තර්ජාතික ආගමික සමුළුව වෙනුවෙන් අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට ස්විස්, ප්‍රංශ, ශ්‍රී ලංකා, තායිලන්ත, ලාඕස්, කාම්බෝජ, වියට්නාම, බංග්ලාදේශ් හා ඉන්දියාන් ජාතික දායක පිරිස් සමඟ සුරිච්, බාසල්, ලුසාන්, ලුසේර්න්, ෆ්රිබුග්, නිව්ෂටෙල්, ඉවර්දොන්, හා ජිනීවා නගරවලින් හාරසීයකට ආසන්න පිරිසක් සහභාගි වූහ. පිළිගැනීමේ කතාව ආචාර්ය තවලම ධම්මික නාහිමියන් සිදු කළ අතර පින් අනුමෝදනාව හල්විටිගල සුජාත හිමියෝ සිදු කළහ.

වප් අමාවක

ඔක්තෝබර් 20 සඳුදා අ.භා 03.48 අමාවක ලබා 21 අඟහරුවාදා අ.භා 05.58න් ගෙවේ.
20 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

First Quarterපුර අටවක

නොවැම්බර් 05   

Full Moonපසළොස්වක

නොවැම්බර් 12 

Second Quarterඅව අටවක

නොවැම්බර් 19    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]