[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ශ්‍රී ලාංකීය ඉතිහාසය පුරා විහිදී ගිය ජන සම්මතවාදී පාලන ක්‍රමවේදය

ලිඛිත සාධක අනුව අවුරුදු දෙදහස් පන්සියයකට අධික සභ්‍යත්වයකට උරුමකම් කියන ලෝක ජාතීන් අතළොස්ස අතර සිංහල ජාතියට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මෑත අතීතයේ සිදු කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් හා තවදුරටත් කරනු ලබන භූ ගර්භ පර්යේෂණයන් අනුව අවුරුදු දසදහස් ගණනක දුරාතීතයකට ලාංකේය ශිෂ්ටාචාරය දිවෙන බව තහවුරු කොටගෙන තිබේ. මෙම ගවේෂණයන් මඟින් අතීත බුද්ධෝත්පාද කාලයක් දක්වා පැතිර යන පින්බිමක මහරු බව අනාගතය විසින් අනාවරණය කරනු ලබනු ඇත. අනුරාධපුර ඇතුළුනුවර පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හෙළිවී ඇත්තේ ව්‍යවහාර වර්ෂ පූර්ණ ව 10වැනි සියවසට අයත් අයන යුගයේ ජනාවාස එහි පැවත තිබූ බවයි. මීට අවුරුදු තුන් දහසකට පෙර අනුරාධපුරයේ ජීවත් වූ ජනයා බ්‍රාහ්මී අක්ෂරවලට සමාන අකුරු වර්ගයක් භාවිත කළ බවට සාධක ලැබී ඇත. එම අක්ෂර ඉන්දු ආර්ය භාෂාවකට නෑකම් කියන බව ද පැවසේ. බුදුරජාණන් වහන්සේ වැඩ විසුවේ ව්‍යවහාර වර්ෂ පූර්ව 623 සිට 543 දක්වා ය. ඊට සියවස් තුනකට පෙරත් ලක්දිව ඉන්දු ආර්ය ජනාවාස තිබී ඇත. යක්ෂ, නාග, රාක්ෂ ආදී ගෝත්‍රික ජන කොටස් ද සමුද්‍රාසන්න හා කඳුකර ප්‍රදේශවල වාසය කොට ඇති බැව් පිළිගැනේ. ව්‍යවහාර වර්ෂ පූර්ව හය වැනි සියවසේ සිට සිංහල ද්වීපයේ රාජාවලියට අයත් පළමු රජු ලෙස මහාවංශය හඳුන්වන්නේ විජයයි. භාරතීය හා වෙනත් මූලාශ්‍රයන්ට අනුව ඔහුගේ නම සිංහල ලෙස දැක්වේ. මහාවංශ ටීකාව වන වංසත්ථප්පකාසිනිය ද ඔහු හඳුන්වන්නේ සිංහල ලෙසයි. කෙසේ හැඳින් වුව ද සිංහල රාජ්‍යයක් ලංකා ද්වීපයේ පිහිටුවීමේ දී මුල්වී ඇත්තේ ශාක්‍යයන් ය. සුද්ධෝදන රජතුමන්ගේ මලණුවන් වූ අමිතෝදන ශාක්‍යගේ පුතා වූයේ පණ්ඩුශාක්‍ය හෙවත් පණ්ඩුසක්ක ය. ඔහු තම මවුබිමත්, ශාක්‍ය වංශයත් කෝසල රාජ්‍යයේ විඩූඪභ අතින් විනාශ වී යන බව සැලවී කපිලවස්තුව අත්හැර තම පිරිස් සමඟ ගංගා නදියෙන් එතෙර ව එහි රාජධානියක් කරවා තම පවුල හා අනික් ශාක්‍ය වංශික පිරිස සමඟ එහි සිට පාලනය ගෙන ගියේ ය. පණ්ඩුසක්කගේ දියණියක වූ භද්දකච්චායනා කුමරිය සිය සොහොයුරන් හය දෙනා සහ පරිවාර පිරිස සමඟ ලක්බිමට සැපත් ව විජය හෙවත් සිංහලගේ ඇවෑමෙන් ලක්දිව රජකමට පත්ව සිටි සුමිත්තගේ පුත් පණ්ඩුවාසදේවගේ බිසොව බවට පත් වූවා ය. ඇගේ සහෝදරයන් හය දෙනා ලක්දිව විවිධ ප්‍රදේශවල ජනපද පිහිටුවා ගෙන ප්‍රාන්ත පාලකයින් වශයෙන් කටයුතු කළහ.


නවම් පුර අටවක

 පෙබරවාරි 05 බදාදා පූ.භා. 02.33 පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 00.38න් ගෙවේ.
05 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]