නවම් පුර අටවක පෝ දා
2025-02-05
ශක්තිමත් බැඳීමක් ඕනෑ
සමාජය ශක්තිමත් කරන කුඩා ම ඒකකය පවුල ය. එහෙයින් පවුලට සුවිශේෂී වටිනාකමක් හිමි ය.
ඒ වටිනාකම ඉහළට ඔසවා තබන්නට, අර්ථවත් කරන්නට එහි සාමාජිකයන්ට පැවරෙන කාර්යභාරය
සුළුකොට තැකිය යුතු නොවේ.
මිහිඳු මා හිමියන් සම්බුදු දහම රැගෙන ලක්දිවට වැඩම කිරීමත් සමඟ ජන ජීවිතයෙහි
සුවිශේෂී පරිවර්තනයක් සිදුවිය. විශිෂ්ට භෞතික දියුණුවක් සමඟ ආධ්‍යාත්මික සංවර්ධනය
සිදුවුණි. භෞතිකත්වය තීරණය කෙරුණේ ආධ්‍යාත්මික ගුණ ධර්මයන්ට හානියක් නොවන පරිදි ය.
කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය විය. දහමට අනුව ධාර්මික රැකියාවක නිරත වූ හෙළයා
වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පයට අනුගත වෙමින් මෙලොව පමණක් නොව පරලොව
ජීවිතය ද සුඛිත මුදිත කර ගත්හ.
ඒ සමාජයේ පවුල කිසිවකුට බිඳිය නොහැකි ශක්තිමත් පවුරක් වැනි විය. අද මෙන් එක දරුවකුට
හෝ දෙදෙනකුට හෝ සීමා නොවුණු එදා පවුලේ මව්පිය දෙදෙනාට අමතර ව තවත් වැඩිහිටියෝ වූහ.
ඒ පවුලේ දුවා දරුවන් ඇති දැඩි වුණේ, ජීවිතයට වටිනා ආදර්ශ උකහා ගත්තේ, අවවාද ලැබුවේ,
ආරක්ෂිත වූයේ, පෝෂණය වූයේ මව්පිය දෙදෙනාට අමතර ව බොහෝවිට කිරිඅම්මා, කිරිඅත්තා,
නැන්දා, මාමා, පුංචිඅම්මා, ලොකු අම්මා ආදී ඥාතීන්ගේ ආදරය, කරුණාව මැද ය. ඒ තුළ
පවුලේ කිසිදු සාමාජිකයකුට වරදෙහි වැටෙන්නට තිබූ අවකාශය බෙහෙවින් අවම විය. ඔවුනොවුන්
දෙස බලා සිටිමින්, ඔවුනොවුන්ගේ ජීවිත හා බද්ධ වෙමින් සියලු සාමාජිකයන් සාමූහික ව
ජීවත් වූ බැවිනි. ඒ තුළ ඔවුහු පවට, වරදට බිය වූහ. ලජ්ජා වූහ. එවැනි පවුලක දරුවන්
සමාජයට පය තැබුවේ හීන ධර්ම ඇති ව නොවේ. කායික, මානසික පීඩාවන්ගෙන් යුතු ව නොවේ. ඒ
තුළ සමාජයේ ප්‍රගමනය මිස අවගමනය සිදු නොවුණි. ආර්ථික, සාමාජික, දේශපාලනික,
අධ්‍යාපනික ඇතුළු සියලු අංශයන් හා ඒ තුළ ගොඩනැඟුණු සංස්කෘතිය මුළු ලෝකය තුළ ශ්‍රී
ලංකාව යන නම බබළවන්නට සමත් විය. පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය බවට පරිවර්තනය වූයේ ද
ඇළ,දොළ, ගංගා දී සොබාදහමේ අපූර්වතම නිර්මාණයත් සමඟ ගැළපී ම, මානව ක්‍රියාකාරකම් ද
ඊට අනුගත වූ බැවිනි. අතීතයේ ඉදිවූ වෙහෙර විහාර, වැව්, අමුණු දෙස බලමින් අද ද අපි
උදම් අනමු. අභිමානයට පත්වෙමු.
එහෙත් ඒ අභිමානය අපට උරුම කර දුන් මුතුන් මිත්තන් ගිය මඟ යන්නට දරන උත්සාහය සීමා
වන්නේ අතිශය සුළු පිරිසක ට ය.
අද, සමාජය ශක්තිමත් කරන කුඩා ම ඒකකය බොහෝ තන්හි බිඳී විසිර යමින් තිබේ. දික්කසාද
වීම් ඉහළ ය. දික්කසාදය නොවුණ ද ඇතැම් පවුල්වල අඹුසැමියන් විරසක ය. බොහෝ ගැටුම් මැද
ජීවත් වේ. ඒ තුළ අසරණ වන දරුවන් සමාජගත වන්නේ ව්‍යාකූල මනසිනි. මේ තත්ත්වය වළක්වා
ගත යුතු ය. පූර්ව විවාහ උපදේශ මෙහිදී ඉතා වැදගත් ය. විවාහයේ අර්ථය, එහි වටිනාකම
පිළිබඳ විවාහයට පෙර දැනුම්වත් කළ යුතු ම ය. ඒ සඳහා අපමණ සදූපදේශ බුදු දහමෙහි
අන්තර්ගත ය. ඒවා පරිශීලනය, භාවිතය අත්‍යවශ්‍ය කාලයකි උදාවී තිබෙන්නේ. |