[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මෙහෙකාර ධර්මාදෙව්ලොව ඉපදෙයි

මෙහෙකාර ධර්මා දෙව්ලොව ඉපදෙයි

සිංහල රටේ අනුරාධපුර රාජධානිය කාලයේ රාජ්‍ය කළා ලජ්ජිතිස්ස කියලා රජ කෙනෙක්. මේ රජතුමා හරිම ශ්‍රද්ධා සම්පන්න යි. රුහුණු රටේ ප්‍රසිද්ධියට පත්ව තිබුණු ‘ගිරිතිම්බිල තිස්ස පර්වතය ඇසුරු කර ගෙන අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ පන්සියනමක් වැඩ සිටියා.

රජතුමා උන්වහන්සේට වස් සමාදන් වෙන්න ආරාධනා කළා. භික්ෂූන් වහන්සේත් ආරාධනාව පිළිගෙන වස් සමාදන් වුණා. මේ හැම දෙනා වහන්සේ ම ජීවත් වුණේ නම් පිණ්ඩපාතයෙන් ම විතරයි. උදෑසන පිණ්ඩපාතයට පිරිසක් වැඩම කරනවා, දහවල් දානයටත් පිරිසක් වැඩම කරනවා. එහෙම එකතු කරගෙන එන පිණ්ඩපාතය පන්සිය දෙනා වහන්සේ අතර ම බෙදාගෙන වළඳනවා.

මේ විදිහට පිණ්ඩපාතයේ වැඩම කරන්නේ විහාරය අසල තිබුණු ‘සිව’ නමින් ප්‍රසිද්ධ ගමට යි. මේ ගමේ ජීවත් වුණේ හරිම පොහොසත් උදවිය. ඒවගේ ම දුප්පත් අයත් හිටියා.

සත්පුරුෂ ධනවතුන් වගේ ම අසත්පුරුෂ අයත් අද වගේ ම එදත් හිටියා.

මේ ගමේ ජීවත් වුණා දුප්පත් ඉතා ම ලස්සන තරුණියක්. ඇයගේ නම ධර්මා. දෙමාපියන් ජීවත් කරන්නත්, තමන්ගේ විවාහය වෙනුවෙන් අඩු වැඩි සපුරා ගන්නත්, කනකර ආභරණ ගන්නත් හිතාගෙන ධනවත් නිවසක මෙහෙකාර සේවයට ගියා. දුක සේ මහන්සි ව වැඩ කළා; උයන පිහින වැඩ කළා, දර පැළුවා, වතුර ගෙනාවා, කෙත් වතු රැක බලා ගන්න විශාල කුඹුරුවලට ගියා. වී කෙටුවා. ඒ නිවැසියන්ගේ ඇඳුම් පැළඳුම් සේදුවා; ගෙවල් දොරවල් අස්කළා; අතුපතු ගෑවා; අපි අද දකින මෙහෙකාර සේවයේ වැඩවලටත් වඩා දුකක් විඳිමිනුයි මේ තරුණිය කාලය ගත කළේ. කාලයකට පසුව හරි ඉතිරි කර ගත් මුදල් වියදම් කර වස්ත්‍රයක් මිලදී ගෙන පරිස්සමට අරගෙන තිබ්බේ අනාගතයේ දවසක ලස්සනට අඳින්න හිතාගෙන. හැමදාම මේ වස්ත්‍රය දිහා බලනවා. අතට අරගෙන ඇඟට තබා බලනවා. ඒවගේ ම අතින් පිරිමදිනවා. මේ වස්ත්‍රයට බොහෝ ම ආදරය කළා. මෙහෙම වැඩ කරමින් ඉන්න හැම දවසක ම මේ තරුණියට දකින්න ලැබෙනවා ‘සිව’ ගමට පිණ්ඩපාතයේ වැඩම කරන භික්ෂූන් වහන්සේ පිරිසක්. හැබැයි දවසින් දවස ඒ අය වෙනස්. හැමදාම එකම කණ්ඩායම දකින්න ලැබෙන්නේ නෑ. භික්ෂූන්ගේ සීල ගුණයත්, දන්දීමේ වටිනාකමත් පුංචි කාලේ සිට ගමේ මිනිසුන්ගෙන් අහලා තිබුණා. ඒවා හිතේ තියාගෙන නින්දට ගියත්, වැඩක් කළත් ඒ හැම තැන දී ම කල්පනා කළා තමන්ගේ ජීවිතය ගැන. ඒ හැම මොහොතක ම දුකට පත් වුණේ ඇයි ? ඇය හිතුවා

මම මෙහෙම මෙහෙකාරියක් විදිහට අනුන්ට සේවය කරන්නේ පෙර ආත්මයේ මම ඇති පමණ පින්දහම් කරපු නැති නිසයි සිතා මේ ජීවත්වන කාලයේ පින්කම් කරන්න ඕන කියලා කල්පනා කළා. අනික හොඳට හිතන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, තමන්ගේ වැඩපළ කර ගන්න හොඳට අතපය වාරුව තියන කාලෙයේ පින්කම් කර ගන්න ඕන කියලත් හිතුවා.

මෙහෙම කල්පනා කරලා දවසක් පිණ්ඩපාතයේ වැඩම කරන භික්ෂූන් වහන්සේ ඉදිරියට ගිහින් උන්වහන්සේට බොහෝම ශ්‍රද්ධාවෙන් වන්දනා කළා. ඊට පස්සේ මෙහෙම කිව්වා.

‘ස්වාමිනි, මම අර පෙනෙන ගෙදර තමයි වැඩ කරන්නේ. මම මෙහෙකාරියක්. මම දුක සේ උපයා ගත්ත ධනයෙන් ලස්සන වටිනා වස්ත්‍රයක් මිල දී ගත්තා. මට ඕන ඒක ඔබ වහන්සේට පූජා කරන්න. හැබැයි ඒක වස්සාවාසික වස්ත්‍රයක් විදිහට තමයි මට පූජා කර ගන්න ඕනෑ.‘යි කියලා පූජා කළා.

එතැන හිටිය වැඩිහිටි භික්ෂූන් වහන්සේ ඇය කෙරෙහි අනුකම්පාවෙන් වස්ත්‍රය පිළිගත්තා. පිණ්ඩපාතය අවසන් කරලා ගිරිතිම්බිල තිස්ස පර්වතයට වැඩම කර පිණ්ඩපාතය වැළඳුවා. දන් වළඳා අවසානයේ දී ආසන ශාලාවට වැඩම කර සිටි භික්ෂූන් වහන්සේ පන්සිය දෙනා වහන්සේට ම ඇසෙන පරිදි වස්ත්‍රය පිළිගත් හැටිත්, ධර්මා නම් ස්ත්‍රීය වස්ත්‍රය පූජා කළේ වස් තුන් මාසයේ වස්සාවාසිකයක් විදිහට විහාරයේ භික්ෂූන්ගේ පරිහරණයට බවත්, තමන් කියන දෙය විහාරයේ භික්ෂූන්ට පැවසීමට දැන්වූ බවත් කියමින් දහවල් කාලයේ සිදු වුණු සියල්ල ම පවසා සිටියා.

එතැන වැඩසිටිය භික්ෂූන් අතුරින් එක නමක් අත ඔසවලා කිව්වා ‘ස්වාමිනි, මට තුන් මාසයකට දෙන්න, මම එය පරිහරණය කරන්නම්‘යි කියලා.

තවත් භික්ෂූන් වහන්සේ නමක් මට මාස දෙකකට දෙන්නයි පැවසුවා.

තවත් නමක් මට මාසයකට දෙන්නයි කියා සිටියා. තවත් නමක් මට දවස් පහළොවකට දෙන්නයි ඉල්ලා සිටියා. ඔහොම පිළිවෙළින් ගිහින් අවසානයට ම එක් භික්ෂූන් වහන්සේ නමක් ඉල්ලා සිටියා මට දවසක පරිහරණයට විතරක් දෙන්න කියලා. උන්වහන්සේ ඒ වස්ත්‍රය අරගෙන කඩ කපලා, සිවුරක් විදිහට මහලා, පඬුපොවලා, වේළලා එදින රාත්‍රියේ පොරවගෙන සක්මන් මලුවට වැඩම කරලා සක්මන් භාවනාව වඩන්න පටන් ගත්තා.

ආරම්භක ස්ථානයේ සිට පියවර හයක් ගිහින් හත්වැනි පියවර තබනවාත් එක්කම මේ භික්ෂුව අර්හත් භාවයට පත් වුණා; නිරාමිස ප්‍රීතියෙන් ඉපිලී ගියා; ඒ බව මහ තෙරුන් වහන්සේට දන්වා සිටියා. එතැන් පටන් වස් තුන් මාසය අවසන් වන තෙක් පන්සිය දෙනා වහන්සේ ම පිළිවෙළින් මේ චීවරය පොරවාගෙන භාවනා කටයුතුවල යෙදුණා. ඒ හැම දෙනා ම රහත් භාවයට පත් වුණේ ඒ චීවරය පොරවාගෙන සිටින අවස්ථාවක යි.

වස් තුන් මාසය ක්‍රමයෙන් ගෙවී ගියා. ලජ්ජිතිස්ස රජතුමා රාජපුරුෂයන්, හිතවතුන් සහ අමාත්‍යවරුන් වෙහෙරට යවලා කොඩිවලින් සරසන්නත්, අවශ්‍ය වැඩ කටයුතු සිදු කරන්නත් පැවරුවා. ඒ අයත් ඒ විදිහට ම කටයුතු කළා. විහාරයේ භික්ෂූන් වහන්සේගේ ඒකමතික තීරණයෙන් උන්වහන්සේ විසින් ම විහාරයට ගොඩවන තැනම පිහිටි සක්මන් මළුවේ ප්‍රවේශ දොරටුවේ ධජයක් විදිහට එල්ලෙන සේ පන්සිය දෙනා වහන්සේ ම පරිහරණය කළ බොහෝ සෙයින් දිරා ගිය, දුහුල් වී තිබුණු ධර්මා ස්ත්‍රිය පූජා කළ වස්ත්‍රයෙන් කළ චීවරය ප්‍රදර්ශනය කළා. රජතුමා සවස විහාරයට ගොඩ වෙන කොට ම දැක්කේ දුර්වර්ණ වුණු ඒ සිවුර යි. සේවකයන්ගෙන් වගේ ම ඇමැතිවරුන්ගෙන් ඇහුවා මේ වස්ත්‍රය මොකටද එතැන ඔසවා තැබුවේ කියලා. වහාම එය අයින් කරන්නැයි කියා සිටියා. එතකොට ඒ අය උත්තර දුන්නා.

‘රජතුමනි, භික්ෂූන් වහන්සේ ම තමයි මේක මෙතැන ඔසවලා ප්‍රදර්ශනයට සැලැස්සුවේ. අප මේ ගැන තොරතුරක් දන්නේ නෑ. ඉතිං අප මෙය ඉවත් කරන්න ගියේ නෑ‘යි පිළිතුරු දුන්නා. රජතුමා භික්ෂූන් වහන්සේ හමුවෙලා වන්දනා කරලා එකත් පසක ඉඳගෙන ඇහුවා.

‘ස්වාමිනි, විහාරයට එන තැන ම පරණ සිවුරක් ඔසවා තැබීම අශෝභන යි. අපට මේක අයින් කරන්න අවසර දෙනවාද? ‘යි විමසා සිටියා. එතකොට නායක භික්ෂූන් වහන්සේ කියනවා

‘රජතුමනි, මේ වස්ත්‍රය සිව ගමේ ධර්මා කියන මෙහෙකාර තරුණිය තමයි පූජා කළේ. විහාරයේ වස් එළැඹුණු පන්සිය දෙනා වහන්සේ ම මේ වස්ත්‍රය පොරවා ගෙන භාවනා කිරීමෙන් අර්හත් භාවයට පත් වුණා. වස්ත්‍රය අපට බොහොම උපකාර කළා. මේ සිවුර පූජාවට සුදුසු එකක්. ඒ නිසයි

එහෙම තැබුවේ'යි හේතු පවසා සිටියා.

රජතුමා බොහොම සතුටට පත් වෙලා ධර්මා තරුණිය රාජ සභාවට ගෙන්වා ඇයට ‘සිව’ ගම පවරා දුන්නා. ඒ විතරක් නෙවෙයි, රජතුමාගේ දූ කුමරිය තනතුරේ තබා උපස්ථාන, සැලකිලි, සම්මාන කළා.

ඉතින් පින්වතුනි සිල්වත්, ගුණවත් භික්ෂූන්ට පුංචි රෙදි කඩක් පූජා කිරීමෙන් ඇය ලැබූ කීර්තිය වගේ ම රාජ සැප සම්පත්වල මහිමය බලන්න. ඇය මෙලොව බොහෝ පින්කම් කර මිය ගිහින් දෙව්ලොව උපත ලබා දිව්‍ය සැප සම්පතුත් ලැබුවා'යි පුවතක් පාලි රසවාහිනියේ සඳහන් වෙනවා. ඒ නිසා අපට පුළුවන් හැම අවස්ථාවක ම පින්කම් කර ගන්න ඕන. ඒකට දිනයක් හෝ වේලාවක් හෝ එනකම් බලා ගෙන නම් ඉන්න එපා. ජීවිතය අස්ථිර යි. වහාම බිඳී නැසී යන එකක් බව නිතර ම කල්පනා කරන්න ඕනෑ.

නවම් පුර අටවක

 පෙබරවාරි 05 බදාදා පූ.භා. 02.33 පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 00.38න් ගෙවේ.
05 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]