නිවස බොදු පුවත්පින්නදූව ශ්‍රී සද්ධර්මෝදය විහාරයෙන් ධජග්ග සූත්‍ර සජ්ඣායනාවක්

පින්නදූව ශ්‍රී සද්ධර්මෝදය විහාරයෙන් ධජග්ග සූත්‍ර සජ්ඣායනාවක්

by Test User
August 27, 2026 12:26 am 0 comment

ගාල්ල, පින්නදූවේ ශ්‍රී සද්ධර්මෝදය විහාරයේ (කළුගල මාවත පන්සලේ) වස්සාන පින්කම් මාලාවට සමගාමී ව, ගම්වැසි මෙන් ම මුළුමහත් රටවාසී සියලු ජනතාවට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ධජග්ග සූත්‍රය 10,008 වාරයක් සජ්ඣායනා කිරීමේ උතුම් පුණ්‍යකර්මයක් විහාරස්ථානයේ දී පැවැත්වේ. පින්නදූව ශ්‍රී සද්ධර්මෝදය විහාරයේ විහාරාධිපති අලවල සුභූති හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කර ඇති මෙම මහා පුණ්‍යකර්මය, මෙවර වස්සාන සමය නිමා වන තෙක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ධජග්ග සූත්‍රය යනු බුදුරජාණන් වහන්සේ විසින් ත්‍රිවිධ රත්නයේ අසංඛෙය්‍ය ගුණ සමුදාය මුල් කර ගනිමින් දේශනා කරන ලද ඉතා බලගතු පිරිත් දේශනාවකි. ජීවිතයට මුහුණ දීමට සිදුවන නොසිතූ විරූ අනතුරු, සිතේ ඇතිවන බිය, ත්‍රාසය, තැතිගැන්ම මෙන්ම එකී අමනුෂ්‍ය හා ග්‍රහ දෝෂ දුරු කරමින් මනසටත්, ජීවිතයටත් නිරවුල් බව හා සැනසිල්ල උදා කරදීමට මෙම පිරිත උපකාරී වන බව අටුවා දේශනාවල සඳහන් වේ.

මෙම පින්කමේ විශේෂත්වය වන්නේ, කොරෝනා මහා වසංගත සමයේ දී රටටත්, ලෝකයටත් සෙත් පතා සිතුල්පව්ව රාජමහා විහාරය, කැලණිය රාජමහා විහාරය, මාතර බෝධි පරිශ්‍රය, කළුතර බෝධි පරිශ්‍රය සහ වාරියපොළ සංඝරාජ රාජමහා විහාරය ඇතුළු පූජනීය සිද්ධස්ථානවල දී එක් ස්ථානයක දී 1,008 වාරය බැගින් රතන සූත්‍රය 31,000 වාරයක් සජ්ඣායනා කර නිම කරමින් විශාල ආගමික මෙහෙවරක් ඉටු කළ මැදකැටියේ නාගිත හිමියන් විසින් ම මෙම 10,008 වාරයේ ධජග්ග සූත්‍ර සජ්ඣායනාව ද සිදු කරනු ලැබීමයි.

වස්සාන කාලය පුරාවට ම පැවැත්වෙන මෙම මහා සූත්‍ර සජ්ඣායනාවට සහභාගී වී තෙරුවන් ගුණ සිහිපත් කරමින් පින් අනුමෝදන් වන ලෙසත්, ඒ තුළින් සෙත් ශාන්තිය ලබා ගන්නා ලෙසත් පින්නදූව ශ්‍රී සද්ධර්මෝදය විහාරයේ දායක සභාව සියලු පින්වතුන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටියි.

You may also like

Leave a Comment