නිවස විශේෂාංගහොඳට නරකට දෙකට කට ම ය

හොඳට නරකට දෙකට කට ම ය

by Test User
November 5, 2025 12:00 am 0 comment

රාජ්‍ය සභාවේ දී කටපරිස්සම් කර ගැනීමට අපොහොසත් ව වාචාලයකු වූ පුරෝහිත බමුණකුට බඹදත් රජු විසින් දුන් අපූරු දඬුවමක් පිළිබඳ හාස්‍යජනක කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ අන්තර්ගත ය. ඇඟිලි තුඩු උපයෝගි කරගෙන නිවැරැදි ඉලක්කයකට කැට විඳීමේ සමතෙක් වූ කොරකු තිරයක් පිටුපස හිඳුවා එහි වූ සිදුරක් තුළින් පුරෝහිතයා කට අරින වාරයක් පාසා එළු බෙටි කට තුළට විදීමට සැලැස්වූ බවත් රාජ සභාව අවසානයේ දී විරේක බෙහෙත් ලබා දීමෙන් ගිල දමා තිබූ එළුබෙටි වමනය කරවා අවිචාරවත් ලෙසට කට පාවිච්චි කිරීමේ පල විපාකය ඔහුට පෙන්වා දුන් බවත් සඳහන් වේ.

අප කුඩා කල පරිශීලනය කළ කියවීම් පොතක දක්වා තිබූ කොකුන් දෙදෙනකු විසින් දෙකෙළවරින් ඔසවාගෙන පියාඹන කෝටු කැබල්ලක් මැද කටින් එල්ලී අහසින් යන ඉබ්බකුගේ පින්තූරයක් සහිත වූ රසවත් පුංචි කතා පුවත බොහෝ දෙනාට මතක ඇත. ක්‍රීඩා පිට්ටනියක් උඩින් පියාසර කරද්දී කුඩා ළමුන් සමූහයක් විසින් කෙරුණු සමච්චල්, උසුළු විසුළු ඉවසා සිටිය නොාහැකි වූ ඉබ්බා ඔවුන්ට බැණ වැදීමට කට ඇරීමේ දී බිම පතිත වී මියගිය අභාග්‍ය සම්පන්න සිද්ධිය බුද්ධ දේශනාවක් බව අපි බොහෝ දෙනෙක් එදා දැන නොසිටියෙමු.

නූතන සමාජයේ ජීවත් වන කාර්යය බහුල, එහෙත් කය වෙහෙසා වැඩ නොකරන, අධික ලෙස පැණි රස, ලුණු හා සත්ව මේදය අඩංගු ආහාර ද්‍රව්‍ය අනුභව කරන බොහෝ දෙනෙක් තමන් කටින් පිට කරන වචන ගැන පමණක් නොව මුවට ඇතුලු කරන දෑ ගැන ද සැලකිලිමත් වුවහොත් දියවැඩියාව, හදවත් රෝග වැනි බරපතළ ආබාධවලින් වැලකීමට හැකි වනු ඇත.

එසේම වර්තමානයේ ජංගම දුරකථන භාවිත කරන්නන් වාග් සංවරය ගැන උනන්දු වන අතරම අත්‍යවශ්‍ය නොවන සංවාදයන්ගෙන් වැළැකී එමඟින් ස්වකීය මුදල් පසුම්බියට ඇති කරන අහිතකර බලපෑම අවම කරන ගැනීමට උත්සුක වීම ඥානාන්විත ය.

වාග් සුචරිතය හෝ දුෂ්චරිතය හෝ නිශ්චය වන්නේ පුද්ගලයා එම ඉන්ද්‍රිය හසුරුවන ආකාරය අනුව ය.

You may also like

Leave a Comment