නිවස බෞද්ධ දර්ශනයබද්ධ වෛරයේ ඉරණම පැරදුමයි

බද්ධ වෛරයේ ඉරණම පැරදුමයි

by Test User
November 5, 2025 12:01 am 0 comment

වි ආයුධ මෙහෙයවා යුද වැදීම් තුළින් රටවල් යටත් කර ගැනීම පැරැණි ක්‍රමවේදයකි. එසේම ඡන්දය තුළින් ආණ්ඩු ඇති කිරීම, නැති කිරීම පැරැණි ක්‍රමයකි. ලෝකය වර්තමානය තුළ රටවල් යටත් කර ගැනීමට, ආණ්ඩු එළවීමට, ආණ්ඩු ඇති කිරීමට ගන්නා නවතම ක්‍රියා මාර්ගයක් ඇත. එය මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයකි. මිනිස් සිත තුළ වෛරය උපදවා ඒ වෛරී සිතින් සමාජ විනාශයක් කිරීම නවතම ක්‍රමවේදය වෙයි.

ශාස්ත්‍රපති අධ්‍යාපනපතිවිල්ඔය පඤ්ඤාතිලක හිමි

ශාස්ත්‍රපති අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි

මෙය දැන් ලෝක රැල්ලක් බවට පත්ව ඇත. එය ලෝක රැල්ලක් ලෙස ගොඩනඟන්නේ සමාජ මාධ්‍යයයි. වෛරී ප්‍රකාශන බිහි කරන උල්පත වෙලා තිබෙන්නේ සමාජ මාධ්‍යයයි. සමාජ මාධ්‍යය තුළින් වර්තමානය තුළ එකිනෙකා කෙරෙහි වෛරය උපද්දවයි. ඒ වෛරය තුළින් මිනිසුන් මිනිසුන්ට එරෙහි වෙයි. ජාතීන් වශයෙන් බෙදයි. ඔවුන් අතර ගැටුම් ඇති කරයි. ආගම් වශයෙන් බෙදයි. ඔවුන් අතර ගැටුම් ඇති කරයි.

මිනිස් සිත තුළ ප්‍රධාන වශයෙන් අකුසල් සිතුවිලි තුනක් පවතී. ඒ ලෝභ, ද්වේශ, මෝහ නම් වෙයි. මෙයින් ද්වේෂ සිතුවිල්ල වෛරයයි. සතුටින් තොර, දූෂ්‍ය වූ සිතින් යුතු ව, වෛරයෙන් යුක්ත ව තමා ම යම් ක්‍රියාවක්, වචනයක්, සිතුවිල්ලක් ක්‍රියාවට නඟයි නම්, එසේම වෙනත් කෙනකුගේ මෙහෙයවීම මත ක්‍රියාවට නඟයි නම් එය වෛරී ක්‍රියාවකි. වෛරී වචනයකි, වෛරී සිතුවිල්ලකි.

වෛරය මමත්වය, වැරැදි වැටහීම, සැකය, බිය, ලජ්ජාව, ආශාව, නොවැටහීම, මානය හා සිතේ විපලිසර බව ආදි දේ නිසා හට ගනියි. බුදුරජාණන් වහන්සේ වෛරය හට ගන්නා ආකාරය නව විධියකින් දේශනා කළ හ. මට හානියක් කළා, කරනවා. කරන්න පුළුවන්, මා කැමැති අයට හානියක් කළා, කරනවා. කරන්න පුළුවන්. මා අකැමැති අයට වාසියක් කළා, කරනවා, කරන්න පුළුවන් යනු ඒ නව ආකාරයයි.

මට, මා කැමැති අයට අතීතයෙන්, වර්තමානයෙන්, අනාගතයෙන් හානියක් කිරීම හා මා අකැමැති අයට වාසියක් ඒ අයුරින් කිරීම මෙහි දක්වා ඇත. භව භෝග සම්පත් ලැබීම, ගරු සත්කාර, සම්මාන ලැබීම, නිලතල නම්බුනාම ලැබීම පදනම් කොටගෙන වෛර කරයි. මිනිසුන් පස්කම් සැප ලැබීමේ දැඩි ආසාවක වෙසෙයි. මේ පස්කම් සැපයට යම් තැනකින්, යම් දෙයකින් බාධාවක් වේ නම් වෛර කරයි.

වෛරයට වඩා භයානක දේ තමයි බද්ධ වෛරය. බද්ධ වෛරය භවයෙන් භවයට ගමන් කරයි. සේරිවානිජ ජාතකයේ දී සොර වෙළෙන්දා තුළ කච්ඡපුට වෙළෙන්දා පිළිබඳ රන්තැටියක් උදෙසා හට ගන්නා වෛරය භවයෙන් භවයට සසර පුරා යයි.

ගුත්තිල ජාතකයෙහි දී ගුත්තිල මූසිල දෙදෙනාත්, උම්මග්ග ජාතකයෙහි දී මහෞෂධ, කේවට්ට දෙදෙනාත් මේ දෙදෙනා ම වේ. අවසානයේ සිද්ධාර්ථ දේවදත්ත වන්නේ මේ දෙදෙනායි.

ධම්මපදට්ඨ කථාවෙහි එන කාලියක්ඛිණි කථාවෙහි බද්ධ වෛරයක් භවයෙන් භවයට ගිය අයුරු දක්වයි.

මේ ලෝකයෙහි සත්ත්වයන්ට බලපාන එක් කාරණයකි කර්මය. කර්මය දායාද කොට, කර්මය යෝනි කොට, කර්මය ඤාති කොට, කර්මය පිළිසරණ කොට සත්ත්වයා උපදියි. කරන කර්මය ඔහුගේ දායාදය යි. එහෙයින් මේ වෛර කරන අය, වෛරී ක්‍රියාකාරකම් කරන අය, වෛරී ප්‍රකාශන ගොඩනඟන අය, වෛරී සිතුවිලි උත්පාදනය කරන අය මේ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු වෙයි.

වර්තමානයේ බොහෝවිට මාධ්‍යවල ප්‍රවෘත්ති කියවන්නන්, බලන්නන්, අසන්නන් මේ හැම දෙනා ම වෛරය තුළින් තම සිත දූෂ්‍ය කර ගනියි. අර්හත්වය, නිවන ඇත්තේ අවෛරී වීම තුළයි. තමන් නිවැරැදි බෞද්ධ ඉතිහාසය ඉදිරිපත් කරන, නිවැරැදි බුදුදහම ඉදිරිපත් කරන පිරිසක් යැයි හඳුන්වා ගත් අසම්මත පිරිසක් සම්මත භික්ෂුවට, භික්ෂූ නායකත්වයට, සාම්ප්‍රදායික පන්සලට පහර ගසයි. නින්දා අපහාස කරයි. දෝෂාරෝපණය කරයි. ඒ තුළ ම ඔවුන් අරහතුන්, නිවැරැදි ධර්මය දකින්නන් නොවන බව පැහැදිලි වෙයි.

කෙසේ නමුත් වෛරය උසිගන්වා, බෞද්ධ සමාජය තුළ ගැටුම් ඇතිකොට, බෞද්ධ සමාජය හා බුදු දහම විනාශ කර දැමීමේ මහා භයානක කුමන්ත්‍රණයක් මෙහි ක්‍රියාත්මක වෙයි. මේ අයුරින් ජාතීන් ජාතීන් අතර, ආගම් ආගම් අතර, සමාජ කණ්ඩායම්, සමාජ කණ්ඩායම් අතර වෛරය ගොඩනඟා සමාජය රට විනාශ කරවන කුමන්ත්‍රණයක් පවතී.

මට ගැහුවා, මට බැන්නා, මා පැරැද්දුවා, මා සතු දේ පැහැර ගත්තා යැයි සිත සිතා ඊට පිළියම් යෙදීමෙන් මිනිස් සිත තුළ වෛරය උපසමනය නොවෙයි. එසේ නොසිතා සිටීමෙන් වෛරය නැති කළ හැකි ය. බෞද්ධයා තුළ ඇත්තේ විශ්ව මෛත්‍රියකි. සියලු සත්ත්වයෝ සැපවත් වෙත්වා යනු ඔහුගේ ප්‍රාර්ථනාවයි. එහෙයින් මෙම විශ්ව මෛත්‍රියෙන් යුක්තව අප කටයුතු කළ යුතු ය.

වෛර කිරීමෙන් වෛරය නිමාවට පත් නොවෙයි. අවෛරී වීම තුළින් වෛරය නිමාවට පත් වෙයි. මේ ලෝකය තුළ ප්‍රත්‍යක්ෂ ධර්මතාවකි.

වෛරී සිත නැති කිරීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් උන්වහන්සේ අංගුත්තර නිකායේ පඤ්චම නිපාතයෙහි අඝාත වර්ගයෙහි පඨම, දූතිය අඝාත සුත්‍රයන් තුළ දක්වති. මෛත්‍රියෙන්, කරුණාවෙන්, උපේක්ෂාවෙන්, වෛරය ගැන මෙනෙහි නොකිරීමෙන්, කර්මය පිළිබඳ ව සිතීමෙන් වෛරය දුරු කළ යුතු බව එහි දක්වයි.

අංගුත්තර නිකායේ සත්තනිපාතයෙහි අව්‍යාකත වර්ගයෙහි කෝධන සූත්‍රය තුළ ද වෛරය නැති කිරීමේ පිළිවෙතක් උන්වහන්සේ දක්වති. හොඳීන් ස්නානය කොට තෙල් ගා, මැනවින් අන්දම් තබා, හිස පීරා, මනා සුදුවතින් සැරසී සිටිය ද, ක්‍රෝධයෙන් පීඩිත වූ ඔහු විරූපියෙක් ම වෙයි. සුව පහසු වූ ඇද ඇතිරිලි තිබුණ ද ඔහු සැප සේ නොනිදයි. දියුණුවක් ඇති නොවෙයි. භව භෝග සම්පත් විනාශ වෙයි. ගින්නෙන්, ජලයෙන් විනාශ වෙයි. හොරුන්, රජුන් රැගෙන යයි. කීර්තියෙන් පිරිහෙයි. පරිවාර සම්පත්තියෙන් පිරිහෙයි. මිතුරන් නැති වෙයි. සතුරන් ඇති වෙයි. අපායේ උපදියි.

සමාජයෙහි වෛරය ඉපැදවීම සුදුසු කරුණක් නෙවෙයි. ඒ නිසා අවෛරී ව කටයුතු කළ යුතු ය. වෛරි ප්‍රකාශන නොකළ යුතු අතර, වෛරී ප්‍රකාශන කියැවීමෙන්, ලිවීමෙන්, ඇසීමෙන්, බැලීමෙන් වැළැකිය යුතු ය. වෛර කරන්නෝ අම්මා, තාත්තා, දූ දරුවෝ නොහඳුනති. ධර්මය, අධර්මය, විනය, අවිනය නොදනිති. කළ යුත්ත, නොකළ යුත්ත නොදනිති. වෛර කිරීම නිසා නින්දා අපහාස ලබති. ධනය, භවභෝග සම්පත් විනාශ කර ගනිති. පුද්ගලයකු වශයෙන්, ජාතියක් වශයෙන්, රටක් වශයෙන් නැඟී සිටින්නට නම් අවෛරී ව කටයුතු කළ යුතුයි. මෛත්‍රී සහගත විය යුතුයි. අපි මෛත්‍රී සහගත වෙමු.

You may also like

Leave a Comment