[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සිරි මිහිඳු බුදු පුතුන් නාමය ලෙහි දරා සසුන් මිහිර විඳ නිවී සැනසෙමු

“ස්වාමීනී ! භාග්‍යවතුන් වහන්ස, මේ ශාසන බ්‍රහ්මචර්යාවෙන් හරි අඩක් ම පවත්නේ කල්‍යාණ මිත්‍රයා මත යැයි හඟිමි “ යනුවෙන් වරෙක ආනන්ද හිමියන් විසින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කෙරිණි. එය ඇසූ බුදුරජාණන් වහන්සේ “ආනන්දය එසේ නොකියන්න. හරි අඩක් නොව මේ මුළු බ්‍රහ්මචර්යාව ම කල්‍යාණ මිත්‍රයා මත පවත්නේ ය “ යනුවෙන් වදාළහ. එය පරම සත්‍යයකි. අද අප සැනසෙන සම්බුදු සසුන දැයට දායාද කළ සිරි මිහිඳු බුදු පුතුන්ගේ කල්‍යාණ සෙනෙහස නොවන්නට මෙවන් පොසොන් උදානයක් නොවන්නට තිබුණි. තෙවලා දහම්කඳ හද රුවන් විමනේ සටහන් තබාගෙන මේ ලක් දෙරණට වැඩම කොට ඔබ වහන්සේ ලබා දුන් කරුණා ජීවය දෙවැනි වන්නේ මහා ගෞතම බුදු මුනිඳුන්ගේ මහා කරුණාවට ම පමණි. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක පාරමී ගමනකින් ලොව්තුරු බුදු පදවි වැඩ පිහිටවූ බුදුසසුන අතුරුදන් නොවන ලෙස සුරක්ෂා කළේ මහා සංඝරත්නය යි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවන දා සිරි කසුප් බුදුපුතුන්ගේ ප්‍රධානත්වයෙන් සප්තපර්ණී ගුහා ද්වාරයෙහි පන්සියයක් පමණ රහතන් වහන්සේගේ සහභාගීත්වයෙන් පළමු ධර්ම සංගායනාව සිදුකොට තථාගත ධර්මයත්, ශාස්තෘ සාසනයත් මනාව ආරක්ෂා කරන ලදී. ඉක්බිති ව තථාගත පරිනිර්වාණයෙන් සියවසක් පිරෙන යුගයේ විසාලා වැසි වජ්ජිපුත්තක භික්ෂූහු දස අකැප වස්තුවක් ඉදිරිපත් කොට සසුන් පිළිවෙත අර්බුදයකට හෙලූහ. ඒ බව දුටු සබ්බකාමී මහා රහතන් වහන්සේ ප්‍රධාන සත්සියයක් පමණ රහතන් වහන්සේගේ සහභාගීත්වයෙන් විසල් පුර වාලිකාරාමයේ දී දෙවන මහා ධර්ම සංගායනාව පවත්වා ශාසන මල ධෝවනය කොට සසුන් පිළිවෙත පාරිශුද්ධ කළහ. සම්බුදු පිරිනිවනින් වර්ෂ දෙසිය දහ අටක් වන දා භාරත දේශයේ රජ පදවි පත් ධර්මාශෝක රජතුමා මෙතෙකැයි කිව නොහැකි පමණින් සිව්පස පූජා සිදුකොට බුදුසසුන නඟාසිටුවීමේ භාරය ඉසිලූහ. එහිදී පිරිහීගිය ලාභසත්කාර ඇති තීර්ථකයන් ජීවිකාව පතා සසුන් වැද නොයෙක් විසම දෘෂ්ඨීන් පතුරුවමින් නැවතත් සසුන් පිළිවෙතෙහි කසල හෙළන ලදී ඒ බව දුටු රහතන් වහන්සේ ධර්මාශෝකයන් දැනුවත් කළහ. සැට දහසක් පමණ ශ්‍රමණ වේශධාරීන් නෙරපා හැරි රජතුමා මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේ සමඟ එක්වී තුන්වන මහා ධර්ම සංගායනාවට පසුබිම සකස් කළහ. පැළලුප් නුවර අශෝකාරාමයට රැස්වූ දහසක් පමණ ප්‍රතිසම්භිදාප්‍රාප්ත මහා රහතන් වහන්සේ විසින් තෙවන මහා සංගායනාව සිදුකොට සසුන් දායාදය මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරන ලදී.


පොසොන්
පුර පසළොස්වක

ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ.
21 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]