සිරි මිහිඳු බුදු පුතුන් නාමය ලෙහි දරා
සසුන් මිහිර විඳ නිවී සැනසෙමු
ශාස්ත්‍රපති
බලංගොඩ රාධ හිමි
“ස්වාමීනී ! භාග්‍යවතුන් වහන්ස, මේ ශාසන බ්‍රහ්මචර්යාවෙන් හරි අඩක් ම පවත්නේ
කල්‍යාණ මිත්‍රයා මත යැයි හඟිමි “ යනුවෙන් වරෙක ආනන්ද හිමියන් විසින් බුදුරජාණන්
වහන්සේට ප්‍රකාශ කෙරිණි. එය ඇසූ බුදුරජාණන් වහන්සේ “ආනන්දය එසේ නොකියන්න. හරි අඩක්
නොව මේ මුළු බ්‍රහ්මචර්යාව ම කල්‍යාණ මිත්‍රයා මත පවත්නේ ය “ යනුවෙන් වදාළහ.
එය පරම සත්‍යයකි. අද අප සැනසෙන සම්බුදු සසුන දැයට දායාද කළ සිරි මිහිඳු බුදු
පුතුන්ගේ කල්‍යාණ සෙනෙහස නොවන්නට මෙවන් පොසොන් උදානයක් නොවන්නට තිබුණි. තෙවලා
දහම්කඳ හද රුවන් විමනේ සටහන් තබාගෙන මේ ලක් දෙරණට වැඩම කොට ඔබ වහන්සේ ලබා දුන්
කරුණා ජීවය දෙවැනි වන්නේ මහා ගෞතම බුදු මුනිඳුන්ගේ මහා කරුණාවට ම පමණි.
සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක පාරමී ගමනකින් ලොව්තුරු බුදු පදවි වැඩ පිහිටවූ බුදුසසුන
අතුරුදන් නොවන ලෙස සුරක්ෂා කළේ මහා සංඝරත්නය යි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක්
ගතවන දා සිරි කසුප් බුදුපුතුන්ගේ ප්‍රධානත්වයෙන් සප්තපර්ණී ගුහා ද්වාරයෙහි
පන්සියයක් පමණ රහතන් වහන්සේගේ සහභාගීත්වයෙන් පළමු ධර්ම සංගායනාව සිදුකොට තථාගත
ධර්මයත්, ශාස්තෘ සාසනයත් මනාව ආරක්ෂා කරන ලදී.
ඉක්බිති ව තථාගත පරිනිර්වාණයෙන් සියවසක් පිරෙන යුගයේ විසාලා වැසි වජ්ජිපුත්තක
භික්ෂූහු දස අකැප වස්තුවක් ඉදිරිපත් කොට සසුන් පිළිවෙත අර්බුදයකට හෙලූහ. ඒ බව දුටු
සබ්බකාමී මහා රහතන් වහන්සේ ප්‍රධාන සත්සියයක් පමණ රහතන් වහන්සේගේ සහභාගීත්වයෙන්
විසල් පුර වාලිකාරාමයේ දී දෙවන මහා ධර්ම සංගායනාව පවත්වා ශාසන මල ධෝවනය කොට සසුන්
පිළිවෙත පාරිශුද්ධ කළහ.
සම්බුදු පිරිනිවනින් වර්ෂ දෙසිය දහ අටක් වන දා භාරත දේශයේ රජ පදවි පත් ධර්මාශෝක
රජතුමා මෙතෙකැයි කිව නොහැකි පමණින් සිව්පස පූජා සිදුකොට බුදුසසුන නඟාසිටුවීමේ භාරය
ඉසිලූහ. එහිදී පිරිහීගිය ලාභසත්කාර ඇති තීර්ථකයන් ජීවිකාව පතා සසුන් වැද නොයෙක්
විසම දෘෂ්ඨීන් පතුරුවමින් නැවතත් සසුන් පිළිවෙතෙහි කසල හෙළන ලදී
ඒ බව දුටු රහතන් වහන්සේ ධර්මාශෝකයන් දැනුවත් කළහ. සැට දහසක් පමණ ශ්‍රමණ වේශධාරීන්
නෙරපා හැරි රජතුමා මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේ සමඟ එක්වී තුන්වන මහා ධර්ම
සංගායනාවට පසුබිම සකස් කළහ. පැළලුප් නුවර අශෝකාරාමයට රැස්වූ දහසක් පමණ
ප්‍රතිසම්භිදාප්‍රාප්ත මහා රහතන් වහන්සේ විසින් තෙවන මහා සංගායනාව සිදුකොට සසුන්
දායාදය මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරන ලදී.
මොග්ගලීපුත්ත රහතන් වහන්සේගේ උපදෙස් මත පිහිටි රජතුමා රාජ්‍යයයන් දහයකට ආසන්න
ප්‍රමාණයකට ධර්මදූත භික්ෂූන් යොමු කොට සසුන් වැඩ වඩමින් ඉමහත් ලෝකෝපකාරයක් සිදු
කළහ. තම අතිජාත පුත් මිහිඳු කුමරු හා දියණිය සංඝමිත්තාව ද සසුන් ගත කොට සසුනෙහි
උරුමය ද ලැබූහ.
පිරිපුන් විසිවස් ඇතිව පැවිදි උපසම්පදාව ලැබූ සිරි මිහිඳු සමිඳු පුරා තුන් වසකින්
අටුවා සහිත තෙවලා දහම් වාචෝද්ගත කළහ. උපසම්පදාවෙන් දොළොස් වස් පිරෙන, උත්පත්තියෙන්
දෙතිස් වස් පිරෙන දා සිරි මිහිඳු හිමි දහම්දූත මෙහෙවරින් සිරි ලක් බිමට වැඩීමට
තීරණය කළහ.
ඒ වනවිට ලක්දිව රජපදවි දැරූ මුටසීව රජතුමා මහලු වියේ පසුවිය. දෙවනපෑතිස් කුමරුගේ
රාජ පද ප්‍රාප්තිය අපේක්ෂාවෙන් කල් බලමින් සිටි මිහිඳු සමිඳු තම ඥාතීන්ට ධර්මයෙන්
සංග්‍රහ කරමින් වේදිස නගරයට වැඩම කළහ. එහි වාසය කළ තම මව් බිසව පූජා කළ වේදිසගිරි
මහා විහාරයෙහි වැඩ සිට දිවැසින් ලක්දෙරණ දෙස බැලූහ. මුටසීව රජු කළුරිය කළ බවත්,
දෙවනපෑතිස් කුමරු රජ පැමිණි බවත් දුටු සිරි මිහිඳු හිමි අදවන් පොසොන් පුන් පොහෝ
දිනක දානය වළඳා හෙළබිම් වඩින්නට තීරණය කළහ.
දෙදෙව් ලොව අධිපති සක් දෙවිඳු ද ඒ මොහොතේ මිහිඳු හිමි සිරිපා වැඳ “ ස්වාමීනී,
පිරිනිවන් වඩින ඒ බුදුරජාණන් වහන්සේ විසින් ද ඔබ වහන්සේ ලක්දිව වඩින දා ඒ ගමනට සහය
වන ලෙස මා හට භාර කළ සේක. එබැවින් මම ද සහය වෙමි. අපි ලක්දිවට වඩිමු “ යැයි ආරාධනා
කළහ. දෙව් බඹුන්ගේ අපමණ පුද පෙළහර මැද මිහිඳු බුදු පුතුන් ඇතුළු ධර්මදූතයන් වහන්සේ
වේදිසගිරි පර්වතයෙන් අහසට පැනනැඟුණ හ. රන්හස රෑනක් සේ ම නුඹ කුස බබුළුවා අහස්
ගමනින් මෙබිම් බලා වැඩම කොට අනුරාධපුරයට පෙරදිග මිස්සක නම් පර්වත මස්තකයෙහි පෙනී
ගියහ. ඒ සම්බුදු පිරිනිවනින් දෙසිය සතිස් වැන්නෙහි ය.
එදා හෙළදිව මහා පොසොන් නැකැත් කෙළියක් විය. පෑතිස් රජු හා සතළිස් දහසක් පිරිස්
මිස්සක පව් නැඟ විනෝද වෙමින් සිටියහ. ඒ මොහොතේ එ පව් වාසී එක් දෙවියෙක් රජුට තෙරුන්
දැක්වීමට උපායක් ලෙස රෝහිත මුව වෙසක් මවා රජුට නුදුරින් තණ කන්නාක් මෙන් හැසිර
අම්බස්තල මාර්ගයට පිවිස පලා ගියේ ය. ඒ දුටු රජු දුනු දිය මානා මුවා පසුපස
ලුහුබැන්දහ. පිරිස කෙරෙන් මඟහැරුණු රජුන් එකලාව ම මිහිඳු සිරිපා වෙත කැඳවා ගිය මුව
පොව්වා අතුරුදන් විය.
රජු අම්බස්තල පව් පාමුල ය. සිරි මිහිඳු හිමි ඇතුළු පිරිස පව් මතුයෙහි වැඩ සිටිති.
එහෙත් තමා පමණක් රජුට පෙනෙන ලෙස අධිටන් කළ මිහිඳු හිමි “තිස්ස මෙහි එන්න” කියා
රජුගේ නමින් ම ආමන්ත්‍රණය කළහ. නමින් මෙමා ඇමතිය හැක්කෙක් මෙපුර නැත. මේ මිනිසෙක් ද
නොහොත් නොමිනිසෙක් ද? යැයි සිතූ රජු ඇමතූ සිරි මිහිඳු සමිඳු මෙසේ වදාළහ.
”මහ රජුනි, අපි ධර්ම රාජයන්ගේ ශ්‍රාවක ශ්‍රමණයෝ වෙමු. නුඹට අනුකම්පාවෙන් දඹදිවින්
මෙහි පැමිණියෙමු.”
ධර්මාශෝකයන් එවූ හසුන් කියවා සිටි රජතුමා දඹදිව තෙරුවන් වැඩසිටින බව කල් ඇතුව ම දැන
සිටියහ. එනිසා මිහිඳු හිමි වදන් සවනත වැකෙන පමාවට ආර්යයන් වහන්සේ පැමිණියාහු යැයි
තුටු වූහ. පිළිසඳර කථාවෙහි යෙදෙන විට සතළිස් දහසක් පිරිවර ද රජු වටා එක්විය.ඒ
මොහොතේ සෙසු භික්ෂූන් වහන්සේ හා භණ්ඩුකයන් ද පෙනෙන්නට සැලැස්වූහ. රජු විස්මයට
පත්විය. රජුගේ බුද්ධි මහිමය දැන ගැනීම පිණිස අඹ ප්‍රශ්නය හා ඥාති ප්‍රශ්නය ඇසූ
මිහිඳු සමිඳු ඒ සියල්ලන්ට ම සම්බුදු සසුන හඳුන්වාදෙමින් චූලහත්ථිපදෝපම සූත්‍රය
දේශනා කළහ. සතුටින් අසා සිටි පිරිස සහිත රජතුමා සරණ සීලයෙහි පිහිටා මිහිඳු සිරිපා
පිණිපා කළහ. ඒ මොහොතේ රජුට දිවා භෝජනය එළැඹිණි. මිහිඳු හිමියන් බතින් නිමැතූ රජුට ඒ
වන විට විකාලය බවත් අරුණෝදාවේ සිට මධ්‍යාහ්නය දක්වා පමණක් භෝජන කාලය බවත්, වදාළහ.
ඉක්බිති රජතුමා මිහිඳු සමිඳුන් අමතා රජ මාළිගාවට වඩින ලෙස ඇරයුම් කළේ ය එහෙත් එදින
රාත්‍රිය මිස්සක පව්වේ වැඩ සිටින බව වදාළහ. ඉක්බිති රජු භණ්ඩුකයන් කැඳවාගෙන යාමට
කැමති විය. එහෙත් එම දරුවා එහිදී එම මොහොතේ දී ම පැවිදි කරන බව රජුට දැනුම් දුන්නහ.
නොබෝ මොහොතකින් භණ්ඩුක උවසු සසුන්ගත විය.
හෙට දින දනට නිමැතූ රජතුමා “ ස්වාමීනි මම රාජකීය රථය එවන්නෙමි.එහි නැඟ අනුකම්පාවෙන්
වඩින සේක්වා” යැයි ඇරයුම් කොට අපමණ ප්‍රීතියෙන් රජමැදුරට පිටව ගියහ.
සුමණ සාමණේරයන් ලවා ධර්ම ශ්‍රවණයට කාල ඝෝෂණය කරවූ මිහිඳු සමිඳු පොසොන් සඳ නැගෙන
නිශාමුව මිස්සක පව් තෙලෙහි වැඩ හිඳ අපමණ දෙව් බඹුන් වෙත සමචිත්ත පරියාය සූත්‍රය
වදාළහ. ඒ අසා අසංඛ්‍යෙයක් පමණ දෙව් බඹවරු මගඵල නිවන් ලැබූහ.
මිහිඳු සමිඳු ඇතුළු පිරිස පසුදා අහසින් ම රජ මැදුරේ දනට වැඩියහ. අමාදහම් දිය
වැස්සවූහ. අනුලා දේවිය ඇතුළු පන්සියයක් පමණ කුල කතුන් වඩාත් පළමුව මෙලක් පොළොව මත
මගඵල ලබා සැනසින. දිනක් පාසා දෙසූ දහමින් මගඵල ලබා බොහෝ දෙනා ආර්ය ශ්‍රාවකයන් විය.
මහාමේඝවනය මහසඟනට පිදූ රජු මිහිඳු සමිඳුට රාජ්‍යය ම පූජා කළහ. දහමින් තැනුන සිතැති
පෑතිස් නිරිඳු සම්බුදු සසුන ළය මඬලින් ම පිළිගත්හ. මිහිඳු හිමි උපදෙසින් ථූපාරාමය
ඇතුළු වෙහෙර ගණනාවක් මෙදියත ඉදිකළහ. සංඝමිත්තාව ද සමඟ දක්ෂිණ ශාබා බෝධීන් වහන්සේ ද
මෙබිමට වැඩම කරවූහ.
අරිට්ඨ ඇමති සහපිරිවරින් පැවිදි උපසම්පදාව ලබා අග්‍ර ඵලයට පැමිණ තෙවලා දම් ඉගෙන
මිහිකත සොලවා සංගායනා කළහ.
සම්බුදු අදිටනින්, සිරි මිහිඳු අනුහසින්, පෑතිස් අණ තෙදින් මෙලක් බිම ගෞතම බුද්ධ
ශාසනයේ අග නගරය බවට පත්විය.
යළි කිසිදා උපන්බිමට නොවැඩි සිරි මිහිඳු අනුබුදු සඳ මෙ බිමේ දී ම බැස ගියහ.
කෙලෙහිගුණ දත් හෙළයෝ එදා පටන් සිරි මිහිඳු මුනිඳුට ආමිස ප්‍රතිපත්ති පිළිවෙතින්
සයුරක් සේ පුද දුන්හ.අපිදු ඒ බුදු පුතුන්ගේ සිරිපා පිනිපා කොට ඒ අමරණීය නාමය ලෙහි
දරා සසුන් මිහිර විඳ නිවී සැනසෙමු.
සියලු දෙනාට ම මිහිඳු බුදු පුතුන්ගේ කරුණාව ලැබේවා!! |