නිවන්
මඟට අත්‍යවශ්‍ය ආර්ය ශීලය
ආචාර්ය
මඩිහේ සුගතසිරි හිමි
භික්ෂූන් වහන්සේගේ ශීලය පිළිබඳ විවරණයක් ඉදිරිපත් ව ඇත්තේ චුල්ලසීල, මජ්ඣිමසීල,
මහාසීල විවරණයට අනුව ය.
එම විස්තරයේ දී භික්ෂූන් වහන්සේ, සතුන් මැරීමෙන්, සොරකමින්, අබ්‍රහ්මචර්යාවෙන්,
බොරුකීමෙන්, කේලම් කීමෙන්, රළු වදන් කීමෙන්, වැඩකට නැති හිස් වදන් කීමෙන් , විකාල
භෝජනයෙන්, නැටුම් ගැයුම් වැයුම් උසුලු විසුලු දස්නෙන්, මල්ගඳ විලවුන් ඈ දැරීමෙන්,
උසසුන් මහ අසුන් පරිහරණයෙන්, රන්රිදී මසු කහවනු පිළිගැනීමෙන් වෙන් ව,
අල්ලස් ගැනීම් ආදී ප්‍රයෝගවලින් තම සුඛ විහරණයට කටයුතු නො කරමින් කය පරිහරණය සඳහා
ප්‍රමාණවත් සිව්රෙන් ද, ජීවත්වීම සඳහා(කුස පුරවා ගැනීම සඳහා) ප්‍රමාණවත්
පිණ්ඩපාතයෙන් ද යුක්ත ව කටයුතු කරයි නම්, ඒ භික්ෂුව ආර්ය ශීලයෙන් යුක්ත වූයේ වෙයි.
මෙම ආර්ය ශීලය නිර්වාණගාමී මාවතෙහි යෙදීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ ය.
ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, යනුවෙන් ආයතන හෙවත් ඉන්ද්‍රිය හයක් සෑම සත්ත්වයකුට
ම ඇත. එකී ඉන්ද්‍රියන්ගේ ස්වභාවය වන්නේ පව්කිරීමට කැමැති වීම ය. එනම් පිනවීමට
කැමැතිවීම ය.
එසේ පිනවීමට කැමැති වන්නේ හිත තුළ ප්‍රධාන වශයෙන් ඇති වන අකුසල් චෛතසිකය, රාගය නිසා
ය. රාගය හා සමාන ගින්නක් නොමැති බව ද බුදුන්වහන්සේ විසින් දේශිත ය.
ඒ නිසා නිරන්තර ව සත්ත්වයා පිනවීමට කැමැති වීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිරන්තර ව අකුසල
සිදුකර ගනී. මේ නිසා ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම හෙවත් ඇසින් රූපයක් දැක එහි නො
ඇලීම, නිමිති නො ගැනීම, අනුව්‍යඤ්ජන නො ගැනීම, සිදුකළ යුතු බවත්, සිහියෙන් යුක්ත ව
දුටුවේ නම් දුටුවා පමණක් ය යන හැඟීමෙන් සංවර විය යුතු බවත් ය.
නිදසුනක් වශයෙන් වංගීස හිමියන්ගේ පුවත දැක්විය හැකි ය.
වංගීස හිමියෝ දිනක් මහපාරේ වඩිද්දී රූපවත් කාන්තාවක දැක ඇයගේ රූපය දැකීමෙන් කලබල වූ
සිත් ඇති වීමෙන් මහත් අපහසුතාවයට පත් වූ සේක. එනිසා වංගීස හිමියන් අනඳ හිමියන්
මුණගැසී ප්‍රකාශ කළේ තමන් වහන්සේගේ සිත කාම රාගයෙන් දැවෙන බවත්, එම ගින්න නිවා
ගැනීම සඳහා අනුකම්පාවෙන් මාර්ගයක් කියා දෙන ලෙසත් ය.
එහි දී අනඳ හිමියන් දේශනා කළේ අසුභානුපස්සනාව වඩන ලෙසයි. එනම් ශරීරය හමෙන් වසන ලද
අසුචි පුරවන ලද භාජනයක් බවත්, පපුව ප්‍රදේශයේ දැකිය හැකි පියවුරු දෙක පිසාචිනියන්
දෙදෙනකු වැනි බවත්, නව දොරකින් මෙම ශරීරයෙන් කුණු වැගිරෙන බවත් ය.
මෙම සිද්ධිය භික්ෂුවකට කාන්තාවක් මුණගැසීමෙන් සිදු වූ බැවින් මෙසේ කාන්තා රූපයක
ස්වභාවය දක්වා ඇති බව සිහිකළ යුතු ය.
මෙසේ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම තුළින් ශීලය සඳහා අවශ්‍ය පදනම ඇති වේ. එනම්
ඉන්ද්‍රිය සංවරය ඇති තැනැත්තා සිල්වතෙකි. එම සිල්වතාගේ සිත නො කැළඹෙන ස්වභාවයට
පත්වෙන හෙයින් සිත සමාධිගත වේ. එසේ සිත සමාධිගත වීමේ දී සිතෙහි ඇති වෙන
කාමච්ඡන්දාදි නීවරණ ප්‍රහාණය වේ.
මෙම ලිපියේ ඉතිරි කොටස පොසොන් අව අටවක (28) පෝදා
අන්තර්ජාල කලාපයේ පළවේ |