[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුවපත් මනසක් සුවබර දිවියක් - 15 කොටස: ජයග්‍රහණය ලැබෙන තුරු උත්සාහය අත්හරින්න එපා

සුවපත් මනසක් සුවබර දිවියක් - 15 කොටස:

ජයග්‍රහණය ලැබෙන තුරු උත්සාහය අත්හරින්න එපා

නිරවුල් මනස ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් ලබා දෙයි. එහෙත් කාර්ය බහුල බව නිසා ම බොහෝ දෙනාගේ මනස නිරතුරුව ම ව්‍යාකූල ය. සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරි වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙස වැඩිය නොහැකි ය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගිත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අමෙරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ සියයක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සෑම පසළොස්වක පෝදාක ම බුදුසරණ පුවත්පතේ පළවන අතර මේ එම ලිපි මාලාවේ පහළොස් වැන්නයි.

වාඩි වී, තමා සමඟ ම පුංචි කතාබහක නිරත වීම භාවනාව නොවේ. “එය බිඳුණු කෙටි හුස්මක්, මෙය ගැඹුරු දිග හුස්මක්. ඊළඟ එක මොනවගේ වෙයි ද?”

නැත.

මේ විපස්සනා භාවනාව නොව කල්පනා කිරීමයි. පටන් ගැන්මේ දී මෙවැනි දේ සිදු විය හැක. නමුත් එය ද මඳකින් ඉවත්වී යයි. හුදෙක් ම එම සංසිද්ධිය සනිටුහන් කර, හුස්මේ දැනීම වෙතට අවධානය නැවත රැගෙන එන්න. මානසික බාධාවක් නැවතත් හටගනු ඇත. තවදුරටත් එය සිද්ධ නොවන තුරු නැවත නැවතත් ඔබගේ අවධානය හුස්ම වෙත රැගෙන එන්න.

එය මුල්වරට පුහුණුවන විට දුෂ්කරතාවලට මුහුණ දීම බලාපොරොත්තු විය යුතු දෙයකි. ඔබ මොබ පියාසර කරන බඹරකු සේ, ඔබගේ හිත නැවත නැවතත් එක් එක් දිසාවට දුවනු ඇත. ඒ ගැන කරදර නොවන්න. වඳුරකු වැනි සිත සැමට ම හොඳීන් හුරු පුරුදු සංසිද්ධියකි. භාවනාවේ අගතැන්පත් අය ද මේ තත්ත්වයට මුහුණ දී තිබේ. ඔවුන් එය සාර්ථක ව හසුරුවා ගෙන ඇති බැවින් ඔබට ද එසේ කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඔබ හුදෙක් ම දවල් සිහින දකින බව, කල්පනා කරන බව හා යමක් පිළිබඳ කරදර වන බව ඒ සිදුවන මොහොතේ ම සනිටුහන් කර ගන්න ඒ ගැන විනිශ්චය නොකර, මුදු මොළොක් ව එහෙත් ස්ථිරව ම හුස්මේ භෞතික දැනීම වෙත අවධානය රැගෙන එන්න. ඊළඟ වතාවේ හා නැවත නැවතත් සිත ඉබාගාතේ යන සෑම වාරයක් පාසා ම එසේ කරන්න.

මෙම ක්‍රියාවලියේ යම් අවස්ථාවක දී ඔබ සම්පූර්ණයෙන් ම උමතු වී ඇතිවා සේ ඔබට හැඟෙනු ඇත. මුළුමනින් ම පාලනයෙන් තොරවූ ඔබගේ සිත, බලාපොරොත්තු සුන් වී යටිගිරියෙන් කෑ ගසමින්, පල් හෑලි දොඩවමින් මහත් කලබලයෙන් පහළට පෙරළී යන, රෝද උඩ රැඳ වූ පිස්සන් කොටුවක් වැනි විය හැක. එහි කිසි ගැටලුවක් නැත. එය අද ඇති වූ තත්ත්වයක් නොවේ. එය සැමදා ම එසේ වූ නමුත් ඔබ එය කිසිදිනෙක දුටුවේ නැත.

ඔබ අවට සිටින අනෙක් පුද්ගලයන්ට වඩා ඔබ උන්මත්තකයෙක් නොවේ. සැබැවින් ම සිදුවී ඇත්තේ ඔබ අද එයට මුහුණට මුහුණලා සිටීමයි. අනෙක් පුද්ගලයින් එසේ කර නැත. එම නිසා ඔවුහු තවමත් පහසුවෙන් සිටිති. ඔවුන් ඔබට වඩා පොහොසත් බව ඉන් අදහස් නොවෙයි. අනවබෝධය සැනසීමට හේතුවක් විය හැකි නමුත් ඉන් විමුක්තිය නො ලැබෙයි. එම නිසා මෙම තේරුම් ගැනීම ඔබ ව කැළඹවීමට ඉඩ නොහරින්න. එය වර්ධනයේ ලකුණකි. සැබැවින් ම එය සන්ධිස්ථානයකි. ඔබ ඍජුව ම, එක එල්ලේ ප්‍රශ්නය දෙස බැලීමෙන් පැහැදිලි වන්නේ එයින් මිදී ඔබ ඉහළට ම ගමන් කරන බවයි.

නොදොඩා, ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නිරීක්ෂණයේ දී ඔබ මඟ හැරිය යුතු මානසික ස්වභාවයන් දෙවර්ගයක් තිබේ. අප මඳ වේලාවකට කලින් කතා කළ “වඳුරු මනස” ලෙස හැඳීන්වූ සිතුවිලි අතර දුවන හිත එක් වර්ගයකි. “ගිලෙන මනස” එහි විරුද්ධ පැත්තයි. දැනීම අඩුවී දුර්වලවීම ගිලෙන මනසේ සාමාන්‍ය ලක්ෂණයයි. ඒ නිරීක්ෂණයෙන් හා එළඹි සිහියෙන් තොර, රික්තකයක් බඳු සිත ය. එය හරියට ම සිහිනවලින් තොර නින්දක් වැනි, හැඩයක් රහිත, නොදන්නා මානසික පැතිකඩකි. එය හිස් අවකාශයකි. එය මඟ හරින්න.

විපස්සනා භාවනාව ක්‍රියාශීලී කාර්යයකි. සිතෙහි ඒකාග්‍රතාව යනු ප්‍රබල හා උද්‍යෝගිමත් ලෙස එක අරමුණක් කෙරෙහි සිත යොමු කිරීමයි. එළැඹි සිහිය යනු දීප්තිමත් පැහැදිලි සෝදිසියයි. අප ඇති කර ගැනීමට උත්සාහ කරන විශේෂ කුසලතා දෙක නම් සමාධිය හා සිහියයි. ගිලෙන මනසෙහි මේ කිසිවක් නැත. අවම අවස්ථාවේ දී එය, ඔබ නිදිගන්වන අතර, උච්චතම අවස්ථාවේ හුදෙක් ම එය ඔබගේ කාලය කා දමනු ඇත.

ඔබ ‘ගිලෙන මනස’ තත්ත්වයට ඇද වැටුණු විට හුදෙක් ම ඒ බව දැනගෙන, ඔබගේ අවධානය හුස්ම වෙත ගෙන එන්න. ඇතුළුවන හුස්මෙහි ස්පර්ශය නිරීක්ෂණය කරන්න. පිටවන හුස්මෙහි ස්පර්ශය දැක ගන්න. ආශ්වාස ප්‍රාශ්වාස කර සිදුවන්නේ කුමක්දැයි බලන්න. මේ ලෙසින් සති හෝ මාස ගණනාවක් පුහුණු කළ විට, හුස්මෙහි ස්පර්ශය භෞතික වස්තුවක් සේ ඔබට හැඟෙනු ඇත. හුස්ම ඇතුළුවීම හා පිටවීම නොකඩවා සිදු කරන්න. සිදුවන දේ දකින්න. ඔබගේ සිතෙහි ඒකාග්‍රතාව ගැඹුරු වන විට ‘වඳුරු මනසින්’ දුවන බාධාව ක්‍රමයෙන් අඩු වනු ඇත. ඔබගේ හුස්මෙහි වේගය අඩු වී, හුස්ම පැහැදිලි ව දැනෙයි. මානසික බාධකවලින් මුළුමනින් ම නිදහස් වී, ගැඹුරු, සන්සුන් බවක් අත්දකිනු ඇත. තෘෂ්ණාව, ආශාව, ඊර්ෂ්‍යාව හෝ වෛරය නොපවතියි. කලබලකාරී බව ඉවත්ව යයි. බය පලා යයි. මේවා, සිතේ චමත්කාර, පැහැදිලි ප්‍රමෝදවත් ස්වභාවයන් වෙයි.

ස්ථිර නොවන මෙම ස්වභාවයන් භාවනාව අවසානයේ දී අවසන් වෙයි. නමුත්, මෙම කෙටි අත්දැකීම් පවා ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත. මේවා විමුක්තිය නොවන නමුත් එම දිශාවට ඔබ යොමු කරන අඩිතාලමයි. කෙසේ වෙතත්, ක්ෂණික ප්‍රමෝදය බලාපොරොත්තු නොවන්න. මූලික අඩිතාලම ගොඩනැඟීම සඳහා වුව ද කාලය, මහන්සිය හා ඉවසීම අවශ්‍යයි.

භාවනා පුහුණුව තරගයක් නොවෙයි. මෙහිදී ඔබට විශේෂිත අරමුණක් ඇති නමුත් නියමිත කාල සටහනක් නැත. ඔබ කරනුයේ ජීවිතයේ පරම සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා එය වසා සිටින තට්ටු ගණන් වූ මුළාවේ ගැඹුරට හැරීමයි. මෙයම චිත්තාකාර්ශනීය හා තෘප්තිමත් ක්‍රියාවලියකි. එය පමණක් ම රසවිඳීය හැක. හදිසි වීමට අවශ්‍ය නැත.

හොඳීන් පුහුණු කළ භාවනා කාලයක් අවසානයේ දී ඔබේ සිතට ප්‍රීතිමත් නැවුම් බවක් දැනෙනු ඇත. එය එදිනෙදා ජීවිතයේ ගැටලු විස¼දීම සඳහා යොදවා ගත හැකි සාමකාමී, ප්‍රීතිමත් හා උද්යෝගීමත් ශක්තියකි. මෙය ම ඔබට ලැබෙන ත්‍යාගයකි. භාවනාවේ අරමුණ ගැටලු නිරාකරණය කිරීම නොවූවත්, එම ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව ඔබගේ මහන්සියට ලැබෙන පාරිතෝෂිතයකි. එය එසේ සැලකීම වැදගත් ය. ගැටලු නිරාකරණය සඳහා අනවශ්‍ය අවධානයක් යොමු කළ හොත්, ඔබගේ අවධානය හිත එකඟ කිරීමෙන් ඉවත් වී ප්‍රශ්න විස¼දීම කෙරෙහි යොමුවන බව ඔබ අත්දකිනු ඇත.

භාවනා කාලය තුළ දී ඔබගේ ප්‍රශ්න පිළිබඳ නොසිතන්න. ඒවා සෙමෙන් පසෙකට තල්ලු කර හරින්න. සියලුම කරදරවීම්වලින් හා සැලසුම් කිරීම්වලින් මඳ විරාමයක් ගන්න. ඔබගේ භාවනාව පූර්ණ නිවාඩු කාලයක් කර ගන්න. භාවනාවෙන් උපදින ශක්තිය හා මානසික ප්‍රබෝධය භාවනාවෙන් පසුව ඔබගේ ගැටලු විසඳා ගැනීමට ඔබට ලැබෙන ශක්තිය කෙරෙහි ද, ඔබ කෙරෙහි ද විශ්වාස කරන්න. මෙලෙස ඔබ ගැන විශ්වාසය තැබූ විට එය එලෙසින් ම සිදුවනු ඇත.

ළඟා විය නොහැකි තරම් ඉහළ අරමුණු ඇති කර නොගන්න. ඔබ කෙරෙහි කාරුණික වන්න. ඔබ විරාමයකින් තොරව ඔබගේ හුස්ම අධ්‍යයනය කිරීමට සූදානම් වෙමින් සිටියි. බැලූ බැල්මට එය පහසු කාර්යයක් සේ පෙනෙන බැවින් මුල සිට ම ඉතා නිවැරැදි ව හා ඉහළින් ම භාවනා කිරීමට ඔබ උත්සාහ දරනු ඇත. එය කළ හැකි දෙයක් නොවේ. කෙටි කාල පරාසයක් භාවනාව සඳහා භාවිත කරන්න. පටන් ගැන්මේ දී එක ආශ්වාසයක් පුරාම අවධානයෙන් සිටීමට අදිටන් කර ගන්න. මෙය වුව ද පහසු නොවන නමුත් එය කළ හැකියි. ඊළඟට, ප්‍රාශ්වාසය පටන් ගැනීමේ දී එම එක ප්‍රාශ්වාසය දැකීමට අධිෂ්ඨාන කර ගන්න. තවමත් ඔබ අසාර්ථක වීමට ඉඩකඩ ඇත. එසේ වුව ද එය දිගට ම කර ගෙන යන්න.

ඔබ අසාර්ථක වන සෑම අවස්ථාවක දී ම නැවතත් පටන් ගන්න. වරකට එක හුස්ම බැගින් ගන්න. ඔබට සත්‍ය වශයෙන් ම ජයග්‍රහණය කළ හැකි මට්ටම මෙයයි. එය අත නොහරින්න.

සෑම ආශ්වාස ප්‍රාශ්වාස චක්‍රයක දී ම අලුත් අධිෂ්ඨානයක් හා කුඩා කාල ඒකකයක් ඇති කර ගන්න. එක් වරකට තත්පරයෙන් පංගුව බැගින් ගෙන, ඒ සමඟ ම අලුත් අධිෂ්ඨානයක් සහිත ව, සෑම හුස්මක් ම පරීක්ෂාකාරී ව හා නිරවද්‍ය ව නිරීක්ෂණය කරන්න. මේ ආකාරයෙන් පුහුණු වන විට අවසානයේ දී නොකඩවා, නොබිඳුණු සිහිය හට ගනියි.

හුස්ම කෙරෙහි සිහිය එළඹවා සිටීම වර්තමානය පිළිබඳ දැනීමයි. එය මනාව ඉටු කරන විට, ඔබ දැන ගන්නේ මේ මොහොතේ සිදුවන දේ පමණි. ඔබ අතීතය හෝ අනාගතය දෙස නොබලයි. ඔබ පසුවූ හුස්ම අමතක කර ඇති අතර ඊළඟ හුස්ම බලාපොරොත්තුවෙන් නොසිටියි. ආශ්වාසයක් පටන්ගන්නා මොහොතේ දී ඔබ එහි අවසානය ගැන නොසිතයි. ඔබ ඊළඟට ආ යුතු ප්‍රාශ්වාසය වෙතට නොපනියි. ඔබ හරියට ම වෙමින් පවතින දේ සමඟ රැදී සිටියි. ඔබ අවධානය යොමු කරන්නේ ආරම්භ වෙමින් පවතින ආශ්වාසය වෙත පමණි. එය මිස අන් කිසිවක් වෙත නොවේ.

භාවනාව මනස නැවත පුහුණු කරන ක්‍රියාවලියකි. ඔබ සොයන්නේ ඔබගේ සංකල්පිත විශ්වය තුළ සිදුවන සියලුම දේ පිළිබඳ අංග සම්පූර්ණවත්, සිදුවන සැටියෙන්මත්, සිදුවන මොහොතේමත් දැන සිටීමේ හැකියාවයි; එය නොඅඩුව, අඛණ්ඩ ව වර්තමානය පිළිබඳ දැන සිටීමයි. මෙය එකවර ම ළඟා විය නොහැකි විශාල ඉලක්කයකි. එයට පුහුණුව අවශ්‍ය කරන බැවින් අපි සුළුවෙන් පටන් ගනිමු.

එක කෙටි කාලයක් පිළිබඳ, එක ආශ්වාසයක් පිළිබඳ, පූර්ණ අවධානයෙන් අපි පටන් ගනිමු. ඔබ සාර්ථක වූ විට ජීවිතය ගැන සම්පූර්ණ නැවුම් අත්දැකීමකට යන මාර්ගය ඔබට හෙළි වී ඇත.

මේ වන තුරු සාකච්ඡා කළ සියල්ල න්‍යායාත්මක කරුණු ය. දැන්, සැබෑ ප්‍රායෝගික කරුණු වෙත යොමුවෙමු. මෙම භාවනාව යනුවෙන් හැඳීන්වෙන දෙය පුරුදු වන්නේ කෙසේද කියා සොයා බලමු.

පළමුව, විපස්සනා භාවනාව පුහුණුවීම සඳහා නියමිත කාලයක් වෙන් කිරීම අවශ්‍යය. ළදරු අවධියේ දී ඔබ ඇවිදීමට දැන සිටියේ නැත. ඔබට එම කුසලතාව ලබා දීම සඳහා යම් පුද්ගලයකුහට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. ඔවුහු ඔබගේ දෑතින් අල්ලාගෙන සිටියහ. ඔබ ව ධෛර්යවත් කර, ඔබට තනිව එය කළ හැකි වන තුරු, එක පාදයක් ඉදිරියෙන් අනෙක් පාදය තැබීමට ඉගැන්වූහ. ඇවිදීමේ කලාව ඉගැන්වීම ප්‍රායෝගික අභ්‍යාසවලින් සමන්විත විය.

භාවනාවේ දී ද, අපි එම මූලික ක්‍රමය අනුගමනය කරමු. එළඹි සිහිය යන මේ මානසික කුසලතාව ඇති කර ගැනීම සඳහා නියමිත වේලාවක් වෙන් කර ගනිමු. එම කාලසීමාව, මෙම ක්‍රියාව සඳහා පමණක් ම කැප කර ගත යුතු වන අතර, බාධක හා අවහිරතා අවම වටපිටාවක් සකස් කර ගැනීම ද අවශ්‍යය. අපගේ මුළු ජීවිත කාලය ම ගෙවා ඇත්තේ මෙයට පටහැනි මානසික ස්වභාවයක් ගොඩනඟා ගැනීම සඳහා බැවින්, එම පුරුදුවලින් අප මුදාලීම සඳහා උපායයන් අවශ්‍ය කරයි.

කලින් සඳහන් කළ පරිදි, අපගේ සිත් මඩ වතුර සහිත භාජන වැනි ය. භාවනාවේ අරමුණ මේ මඩ ටික පාදා, එහි අභ්‍යන්තරය දැක ගැනීම වේ. එයට නිශ්චල ව තිබෙන්න ඉඩ හැරීම ඉතා සුදුසු ම ක්‍රමයයි. තැන්පත් වීම සඳහා එයට අවශ්‍ය පමණ කාලය ලබා දෙන්න. අවසානයේ ඔබට පැහැදිලි වතුර ලැබෙනු ඇත. මෙම පැහැදිලිකම ලබා ගැනීම සඳහා, භාවනාවේ දී, අප යම්කිසි කාලයක් වෙන් කරමු. බාහිරින් දකින අයකුට එය නිශ්ඵල සේ පෙනිය හැකි ය. ගලින් තැනූ විචිත්‍ර ජල කරාමයක් සේ අපි වාඩිවී සිටිමු. කෙසේ වෙතත්, ඇතුළතින් බොහෝ දේ සිදුවෙමින් පවතී. සිත තැන්පත් වී, ඉදිරියේ දී පැමිණෙන ජීවිත සිදුවීම් සඳහා අපව සූදානම් කරන මානසික පැහැදිලි බව අපට ලැබෙනු ඇත.

මෙම තැන්පත් බව බලෙන් ඇති කිරීම සඳහා කිසිම දෙයක් කළ යුතු බව මම මෙයින් අදහස් නොකරමි. එය එතුළින් ම ඇතිවන ස්වභාවික ක්‍රියාවලියකි. නිශ්චල ව වාඩි වී සිටීම හා එළැඹි සිහියෙන් සිටීම නිසා ම එම තැන්පත් වීම හටගනියි. සැබැවින්ම එය බලෙන් ඇති කිරීමට අප දරන කිසියම් උත්සාහයක් ඵල රහිත වනු ඇත. එය නිශ්චල යටපත් කිරීමකි.

මනසට බල කිරීමෙන් සිද්ධ වන්නේ එය තව තවත් බලවත් කිරීම පමණකි. තාවකාලික ව ඔබ සාර්ථක විය හැකි නමුදු දීර්ඝ කාලීන ව ගත් කල එය වඩාත් ශක්තිමත් වීම සිදුවේ. ඒවා ඔබගේ අවිඥානය තුළ සැඟව සිට, ඔබ ඒවා දෙස බලා නොසිටින මොහොතක එළියට පැන ඔබට මැඬලිය නොහැකි තරමට ඔබව අසරණ කරනු ඇත.

මානසික තරලය පිරිසුදු කිරීම සඳහා සුදුසුම ක්‍රමය එයට ම එය කිරීමට ඉඩ හැරීමයි. එයට කිසිදු ශක්තියක් හෝ බලයක් එකතු නොකරන්න. එයට කිසිදු අයුරකින් සහාය නොවී, මඩදිය කැරකෙන සැටි සිහියෙන් බලා සිටින්න. අවසානයේ් දී තැන්පත් වන එය, එසේ තැන්පත් වී පවතී. භාවනාවේ දී අපි ශක්තිය යොදනවා මිස බල කිරීමක් නොකරමු. අපගේ එකම උත්සාහය, මෘදු, ඉවසන සුලු, එළැඹි සිහියයි.

භාවනා කාලය ඔබගේ දවසේ හරස්කඩක් වැනි ය. දවස පුරා සිදුවෙන සෑම දෙයක් ම මානසික ව හෝ චිත්තවේගී ලෙස ඔබගේ සිතෙහි ගබඩා වී ඇත. සාමාන්‍ය වැඩ කටයුතුවල දී නොයෙකුත් පීඩනයන්ට හසුවන ඔබ, මූලික ගැටලු සමඟ නිවැරැදි ව ගනුදෙනු කරන්නේ කලාතුරකිනි. ඒවා අවිඥානයේ වැළලී, කැකෑරෙමින්, පැසවමින් පවතී. පසුව, මෙතරම් ආතතියක් පැමිණියේ කොහෙන්ද කියා ඔබ පුදුමයට පත් වේ.

භාවනාවේ දී මේ සියල්ල කුමන හෝ ආකාරයකට පිටතට පැමිණෙයි. ඒවා දෙස බලා, ඇති සැටියෙන් දැක, ඒවාට යන්නට හැරීමට ඔබට අවස්ථාවක් ලැබෙයි. භාවනාව සඳහා විධිමත් කාලයක් සකසා ගන්නේ මෙම මුදාහැරීම් සඳහා සුදුසු පරිසරයක් තනා දීමටයි. අපි, අපගේ එළැඹි සිහිය විධිමත් ආකාරයට නැවත පිහිටුවා ගනිමු. සිත උත්තේජනය කරන සිදුවීම් වෙතින් අපි ඉවත් වෙමු. ආවේග ඇති කරන ක්‍රියාවලින් වෙන් වෙමු.

නිශ්ශබ්ද ස්ථානයකට ගොස් නිශ්චල ව වාඩි වී සිටින විට, ඒ සියල්ල බුබුළු දමමින් පිටතට පැමිණේ. ඉන්පසු එය ඉවත්වී යයි. අවසාන ප්‍රතිඵලය ගෙවුණු බැටරියක් නැවත පණ ගැන්වූවා වැනි ය. භාවනාව ඔබගේ සිහියට නැවත පණ ලබා දෙයි.

මීළඟ කොටස ඇසළ පුර පසළොස්වක පෝදා කලාපයේ

පොසොන්
පුර පසළොස්වක

ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ.
21 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]