නිතර අමතක වෙනවාට
ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක්
මල්වතු මහාවිහාරවාසී
කහත්තේවෙල පියනන්ද හිමි
සංගාරව නම් බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ එකත් පසෙක හිඳ දිගු කලක් හදාළ
වේද මන්ත්‍ර ඇතැම්විට අමතක වීමට හේතුව කුමක් දැයි ප්‍රශ්න කළේ ය.
බුදුන් වහන්සේ මෙසේ දේශනා කළහ. කාමරාගය සිතේ ඇති විට දිගුකල් හැදෑරීම කළ වේදමන්ත්‍ර
වුව ද අමතක වේ.
භාජනයක ඇති වතුරට නිල් ආදී පාටක් මුසු කළහොත් එයින් මුහුණේ ඡායාවක් නො පෙනෙන්නාක්
මෙනි.
එමෙන් ම සිතේ ව්‍යාපාදය පවත්නා විටත් පාඩම් කළ දෙය නො වැටහේ. මතක් කර ගැනීමට බැරි
වෙයි. ගින්නෙහි තැබීමෙන් රත් වී නටන දිය ඇති බඳුනක් තුළ කෙනකුගේ මුහුණේ ඡායාව නො
පෙනෙන මෙනි.
සිත ථීනමිද්ධයෙන් යුතු අවස්ථාවකත් කටපාඩම් කළ දෙය නො වැටහේ. සැලෙන දිය ඇති බඳුනක
මුහුණ නො පෙනෙන්නාක් මෙනි. විචිකිච්ඡා සිතක් ඇති විටත් මේ ආකාරය ම වේ. අඳුරෙහි ඇති
දිය බඳුනක මුහුණ නො පෙනෙන්නාක් මෙනි.
නීවරණ යන වචනයේ තේරුම වළක්වන යන අදහස යි. එනම් කුසල් සිත් ඇතිවන්නට ඉඩ නොදී
වැළැක්වීම යි. මෙහිදී විශේෂයෙන් ම ධ්‍යාන සිත් ආදිය ඉපදීමට ඉඩ නොදී වළක්වන ලද අකුසල
ධර්ම නීවරණ නම් වේ. ඒ අකුසල ධර්ම නම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය,
උද්ධච්චකුක්කුච්චය, විචිකිච්ඡාව යන කරුණු පහ යි.
කාමච්ඡන්දය
කාමය නම් පස්කම් සැපයෙහි බැඳුණු අධික රාගය යි, ඇලීම යි. කැමති වන නිසා, ප්‍රාර්ථනා
කරන නිසා කාමයට ම ඡන්ද යැයි කියනු ලැබෙයි. එය ධ්‍යාන ආදී උතුම් මිනිස් ගුණ දහම්
ඉපදීම වළක්වන බැවින් නීවරණ නම් වේ.
වඳුරන් අල්ලා ගැනීමට භාවිත කරන මැලියම් වර්ගයකට වඳුරුලහටු යැයි කියයි. යම් තැනක දමා
ඇති ඒ වඳුරුලහටු වෙත එන වඳුරා අත් දෙක, කකුල් දෙක, මුව යන පස් තැනින් ම ඒ ලහටුවේ
ඇලෙයි.
ඒ ආකාරයෙන් සත්වයාගේ චිත්ත සන්තානය ද රූපාදී පස් අරමුණෙහි ඇලී පවතී. ඒ ඇලීමට රාගය
යැයි කියයි. කාම යන්න ද කාමච්ඡන්ද යන්න ද එය ම වෙයි. එය නීවරණයකි. ධ්‍යාන, මාර්ගඵල
ආදිය සිතේ උපදින්නට ඉඩ නොදෙන වැසීමකි. ආලෝකයක් ඇති තැන අඳුරක් නැත. අඳුරක් ඇත්නම්
එහි ආලෝකයක් නැත. අන්ධකාරය ආලෝකය යන දෙක ඔවුනොවුන්ට විපක්ෂ ධර්මයෝ ය.
එසේම කාමාදිය ඇති තැන ධ්‍යානාදිය නැත. ධ්‍යානාදිය ඇති තැන කාමච්ඡන්දය නැත. මේ
කාමච්ඡන්දය ඉපදීමට මූලික නිමිත්ත අරමුණ ශුභ වශයෙන් සැලකීමයි. ශුභ නිමිත්ත
කාමච්ඡන්දයේ ඉපදීමට ද, උපන් කාමච්ඡන්දය නැවත නැවත ඉපදීමෙන් බහුල භාවයට ද හේතු වේ.
මෙය අංගුත්තර නිකායේ දී පැහැදිලි කරයි. අරමුණු අශුභ වශයෙන් සැලකීම උපන්
කාමච්ඡන්දයාගේ ප්‍රහාණයට හේතු වේ.එයට දශ අසුභාදී වශයෙන් කරන අශුභ භාවනාව ඉවහල් වේ.
ව්‍යාපාදය
ව්‍යාපාදය යන්න ක්‍රෝධයට කියන නමකි. යමක් හේතු කොටගෙන සිත විකෘතියට, විනාශයට පත් වේ
නම්" එයට ව්‍යාපාදය යනුවෙන් කියයි. ක්‍රෝධයෙන් යුතු පුද්ගලයා කෙරෙහි කිසිම ප්‍රසන්න
භාවයක් නැත. ශෝභාවක් නැත. මුහුණ පුරා ඒ ගතිය ඇති වන්නේ කෝපය නිසා ය.
හැම යහපතකට ම ආවරණයකි. බාධාවකි. කෝප වූ තැනැත්තා නිතර ම මතකයට ගන්නේ අනුන් තමන්ට කළ
බැණුම්, රිදුම්, දිනුම් ආදියම යි. ගින්නට පිදුරු දැමූ විට මෙන් ක්‍රෝධ ගින්න
ඇවිලෙනවා මිසක නිවීමක් වන්නේ නැත.
එය ක්‍රමයෙන් වැඩෙන අයුරු නිද්දේස පාළියේ දක්වා තිබේ. ක්‍රෝධය මුලින් ම සිතේ කුඩා
කැළඹීමක් ඇති කරයි. නැවත මුහුණේ විරූපී බව උපදවයි. දත් මිටි කයි. රළු වචන කියයි.
දඬු මුගුරු සොයමින් වටපිට බලයි. අනුන්ට පහර දෙයි. අනුන් නසා තම ජීවිතය ද නැති කර
ගනී. මේ සියල්ල සිදුවන්නේ කෝපය නිසාවෙනි. මේවාට නිදසුන් ඕනෑතරම් ජන සමාජයෙන් ම
සොයාගත හැකි ය.
මෙම ලිපියේ ඉතිරි කොටස පොසොන් අව අටවක පෝදා
(28 ) අන්තර්ජාල කලාපයේ පළවේ. |