[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර පසළොස්වක පෝ දා 2024-06-21

බෞද්ධයා අවංක ය

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හෙළදිව ධර්මද්වීපයක් කළ උතුම් පොසොන් පුන් පෝ දිනය අදයි. අනේකවිධ හැලහැප්පීම්, රෝග පීඩාදී ව්‍යසන හමුවේ ජීවිතය රැක ගන්නට ගස්, ගල් පවා වන්දනා කරමින්, මළවුන් අදහමින් මිථ්‍යා විශ්වාසයන්ගෙන් මුළා වූ අඳුරු ආකල්ප මිනිස් හද සන්තානයෙන් උදුරා දමා ධර්මාලෝකයේ පහන දැල්වූ ඒ උදාරතර දිනය බොදුනුවන් ලෙස අපි ඉතා ගෞරවයෙන්, සැදැහැ සිතින් සෑම වසරක ම සමරමු.

ගම් දොරින් දොර, මං මාවත් බොදු ධජ පතාකයන්ගෙන් සැරසේ. තැන තැන දන්සැල් ඉදිවේ. සම්බුදු ගුණ, අනුබුදු මිහිඳු හිමි ගුණ, සදහම් ගුණ මුවින් මුව කියැවේ. වෙහෙරක් වෙහෙරක් පාසා ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා සංවිධානය වේ. සද්ධර්ම දේශනා පැවැත්වේ. පොසොන් පෙරහර, තොරණ, පහන්කූඩු ලක් දෙරණත අසිරි සිරි ගන්වයි. පහන් හැඟුම් පුබුදයි. මේ බුද්ධාලම්භන පී‍්‍රතියයි. ඒ පිළිබඳ බෞද්ධයන් ලෙස අපට ඇත්තේ අභිමානයකි. ගෞරවයකි.

ලෝකයේ විවිධ මාතෘකා සම්බන්ධ ව දින වෙන්කොට ඒවා සැමරීම වර්තමානයේ බෙහෙවින් ප්‍රචලිත ය. මව්වරුන්ට දිනයකි. පියවරුන්ටත් දිනයකි. පෙම්වතුන්ටත් දිනයකි. ලෙඩ රෝගයන්ටත් දිනයකි. මේ ආදි කොට අපමණ දින සමරති. කනගාටුවට කරුණු වන්නේ පුරුද්දක් ලෙස මහා උත්සව සංවිධානය කරමින්, දේශනා පවත්වමින්, විවිධ වැඩපිළිවෙල සාකච්ඡාවට බඳුන් වුව ද ඒ සියල්ල එදිනට හෝ ඉදිරි දින දෙක තුනකට පමණක් සීමා වීම ය.

බෞද්ධයන් ලෙස අපට එසේ මං මුළා වූවන් සේ ක්‍රියා කළ නොහැකි ය. අපගේ හැදියාව, ගුණගරුක බව, ධම්මානුධම්ම පටිපන්න බව මොහොතකට, දිනයකට සීමා කළ නොහැකි ය. ජීවිතය අහිමි වුව ද සැබෑ බෞද්ධයා ධර්මයට පිටුපාන්නේ නැත. සෑම පුණ්‍ය කර්මයක ම අවසාන ප්‍රතිඵලය විය යුතු කෙනෙක් අදහැමි මඟ යනවා නම් ඔහු ද ධර්මානුකූල, චරිතවත් මිනිසකු ලෙස සමාජගත කිරීම ය.

ඒ ආදර්ශවත් බෞද්ධ සමාජයේ මව්පියන් මෙත්, කරුණා, මුදිතා, උපේක්ඛා ආදි සිව්බඹ විහරණ ගුණයෙන් යුතු ය. එහි හැදෙන වැඩෙන දරුවන් සමාජයට විනාශකාරි පුද්ගලයන් නොවන්නේ ය.

බෞද්ධ පවුලක සැමියා හා බිරිඳ ජීවත් වන්නේ දෙවියෙක් දෙවඟනක් හා වසන පරිද්දෙනි. ඒ පවුල තුළ එකිනෙකාට වැරැදි සිදුවන්නේ නැත. සාමකාමීය. අර්ථවත් ය.

ජීවි පරිසරයට සේ ම අජීවි පරිසරය රැක ගැනීම බෞද්ධයාගේ ස්වභාවයයි. ඔහු ජීවත්වන පරිසරයට ආදරය කරයි. ගහකොළ විනාශ නොකරයි. ඇළ දොළ ගංගා රැක ගනියි. අපවිත්‍ර නොකරයි. ගෙදර ගොඩගැසෙන කුණු මහ මඟ නොදමයි. තමන්ට රැකවරණය දෙන පරිසරයට කෘතවේදී වෙයි.

බෞද්ධයා කිසි විටෙක සතුන් මරන්නේ නැත. සොරකම, කාමය වරදවා හැසිරීම, බොරුව, සුරාව පිළිකුල් කරයි. මවක් සිය එකම දරුවා පණ සේ රැක ගන්නා සේ සියලු සතුන්ට මෙත් සිත පැතිරවීම බෞද්ධයාගේ ගුණයයි. එවැනි තැනෙක කවර නම් හිංසාවක් ද? කවර නම් පීඩාවක් ද?

ඡන්දයෙන්, ද්වේෂයෙන් බයෙන්, මෝහයෙන් අගතියට යෑම බෞද්ධයාගේ ස්වභාවය නොවේ. එනිසා ඔහු නායකත්වය දරන කවර ආයතනයක වුව ද කටයුතු අසාධාරණ ව සිදු නොවේ. එය ම දියුණුවේ මාවත ය.

බෞද්ධ සමාජයක අඩුම තරමේ මේ ගති ලක්ෂණවත් ගම්‍ය විය යුතු ය. හදවතින් තෙරුවන් සරණ ගොස් මේ පොසොන් පෝදා සැබෑ බෞද්ධයන් වීමට සැවොම පෙළ ගැසෙමු.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ.
21 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]