[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

බුදු ගුණ දකින්නට ධර්මය දකින්න

බුදුගුණ අනන්ත ය. සාමාන්‍ය කෙනෙකුට තබා බුදු කෙනෙකුටවත් බුදුගුණ දේශනා කොට නිම කළ නොහැක. බුදු කෙනෙක් අන් කිසිවක් දේශනා නොකොට කල්පයක් මුළුල්ලෙහි ම බුදුගුණ පමණක් ම දේශනා කළත් කල්පය අවසන් වේ. එහෙත් බුදුගුණ වර්ණනාව අවසන් නොවේ. එසේ නම් අප වැනි පෘථග්ජනයින්ට බුදුගුණ දැකිය හැක්කේ අල්ප වශයෙනි. බුදුගුණ අචින්ත්‍ය බව බුදු මුවින් ම දේශනා කොට ඇත. එහි අදහස සාමාන්‍ය කෙනකුට බුදුගුණ සිතා නිම කළ නොහැකි බවයි. ඊට හේතුව බුදු කෙනෙක් යනු අනන්ත කාලයක් සමතිස් පෙරුම් සම්පූර්ණ කොට ඇස්, ඉස්, මස්, ලේ, ජීවිතය දන් දී සවාසනා සකල ක්ලේෂයන් මුලිනුපුටා දමා ලෝක සත්‍යය අවබෝධ කර ගත් හෙයින් එම පාරමිතා නොපිරූ, සත්‍යාවබෝධයක් නොලැබූ කෙලෙස් කහටින් අපවිත්‍ර වූවකුට බුදුගුණ හඳුනා ගැනීම අසීරු ය. එහෙත් අප බුදුගුණ දැකීමට නම් බුද්ධ ධර්මය ගැන දැන ගත යුතු ය. ධර්මය දැන ගන්නා තරමට බුදුන් දැකිය හැකි ය. යෝ ධම්මං පස්සති – යමෙක් ධර්මය දකියිද? සෝමං පස්සති – ඔහු මං දකියි ඒ නිසා බුදුන් දැකීමට කැමති අය ධර්මය හොඳින් හැදෑරිය යුතුයි. ධර්මය දැන ගන්නා තරමට බුදුන් දැකිය හැකි ය. ධර්මය දැන ගැනීම පමණක් ද ප්‍රමාණවත් නැත. එය පිළිපැදිය යුතු ය. අනුගමනය කළ යුතු ය. බුදුරදුන් අනුගමනය කළ මාර්ගය අප ද අනුගමනය කළ යුතු ය. ශීල, සමාධි, ප්‍රඥා වැඩිය යුතු ය. තෘෂ්ණාව අඩුවන තරමට මමත්වය හෙවත් මම ය, මාගේ ය යන හැඟීම අඩුවන තරමට බුදුන් දැකිය හැකි ය. ඉහවහා ගිය ආශාවන් පොදි බැඳගෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය පුරවා ගෙන, කුහකකම් හිතේ තද කරගෙන, සුදු කඩකින් හෝ ගුරු කඩකින් ගත වසාගෙන ඉතිපිසෝ පාඨය මැතුරුවාට බුදුගුණ අවබෝධ නොවේ. ශ්‍රද්ධාව, භක්තිය හා බුද්ධිය ඇතිව නිහතමානී ව උසස් ධර්මයක්, විමුක්ති මාර්ගයක් අවබෝධ කර ගැනීමේ අදහසින් සත්‍ය අවබෝධ කර ගැනීමේ උත්සාහයක යෙදිය යුතු ය. කලක් තිස්සේ කරන ලද ව්‍යායාමයක ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ඇති තතු වැටහේ. ඒ සඳහා අනනිත්‍යය ද වැටහිය යුතු ය. තම කය පිළිබඳ තිබෙන තෘෂ්ණාව අඩු කර ගෙන එහි පිළිකුල් සහගත බව වටහා ගෙන ජීවිතය කෙරෙහි ඇති ඇල්ම දුරු කළ යුතුය.


වප්  අමාවක

නොවැම්බර් 12 ඉරිදා අ.භා.
 02.42 න් අමාවක ලබා 13 සඳුදා අ.භා. 02.55 න් ගෙවේ.
12 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]