මේ මොහොතේ ජීවත් වෙන්න

මේ මොහොතේ ජීවත් වෙන්න

පුද්ගලයාගේ දියුණුව ඇත්තේ ඔහු තුළයි. ඒ ඔහුගේ හිතයි. සිත කෙනකුගේ දියුණුවේ පදනම වේ. කෙනකුට මෙලොව දියුණුව, පරලොව දියුණුව, නිවනින් සැනසීම ලබා ගන්නට සිත මුල් වේ. සිත නායකත්වය ලබයි. සිතින් ම ඒ සියල්ල උපදියි. ඒ නිසා සිත සකස් කර ගැනීම දියුණුවේ මඟ වෙයි. සියලු බුදු වරු සිත් හික්මවා ගැනීම අගය කරයි. "සචිත්ත පරියෝදපනං" තමන්ගේ සිත නිවැරැදිව සකස් කර ගැනීම ඒතං බුද්ධානුසාසනං මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි. අප මේ මොහොතේ ජීවත් වුවත් අපගේ සිත මේ මොහොතෙහි සිටින අවස්ථා ඉතා අඩු ය. විටෙක අතීතය තුළ සිටියි. විටෙක අනාගතය තුළ සිටියි. එලෙස සිටීම හානිකර වෙයි.

හිතේ කි‍්‍රයාකාරිත්වය මහා ආශ්චර්යවත් ය. මහා යුද්ධ ගොඩ නඟන්නේ හිතයි. යුද ආයුද නිපදවන්නේ හිතයි. මහා ගොඬනැඟිලි ඉදි කළේ සිතයි. ඒ ගොඩ නැඟිලි විනාශ කළේ සිතයි. එක තැන කිරිකැටි දරුවන් ඇතුළු ව දහස් ගණන් මිය යන්නේ සිතක කි‍්‍රයාකාරිත්වය නිසයි. තමන්ගේ ගමනට බාධාවක් වූ කල තවත් මිනිසකු මරන්නට පෙළඹවීම් කරන්නේ හිතයි. මිලියන බිලියන වටිනාකම් ඇති මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ හිත්වල කි‍්‍රයාකාරකම් නිසා ය.ලොවේ යහපත තීරණය කරන්නේ සිතයි. අයහපත තීරණය කරන්නේ සිතයි.

නොදියුණු සිත සමාජය විනාශ කරයි. දියුණු සිත සමාජය සුවපත් කරයි. නොදියුණු සිත පාපයට බරයි. දියුණු සිත පිනට බරයි. නොදියුණු සිත පුද්ගලයා දුකට පමුණුවයි. දියුණු සිත පුද්ගලයා සතුටු කරයි.

පුද්ගලයා යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකයකි. මේ ස්කන්ධ පඤ්චකය දෙස පුද්ගලයා දක්වන ආකල්පය සිතේ වැදගත්කම හා දුප්පත්කම පෙන්වයි. ස්කන්ධ දෙස අතීත අවලෝකනය, අනාගත අවලෝකනය, වර්තමාන අවලෝකනය හිතේ යහපත් අයහපත් භාවය ගොඩනඟන බව මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්නාසකයෙහි විහඟ වග්ගයේ භද්දේක රත්ත සූත්‍රය තුළ පැහැදිලි කරයි. අතීත ස්කන්ධයන් සඳහා ඇල්ම, ඇලීම මනාපය ගොඩනඟයි. ඒ නිසා ම සිත දූෂ්‍ය වෙයි. අතීතය නොවු විට අනාගතයෙන් එම ස්කන්ධ ගැන සිතයි. රූප මෙසේ විය යුතුයි. වේදනා මෙසේ විය යුතුයි. ආදී වශයෙන් සිතයි. එලෙස ඇලීමක් ගොඩ නැඟීම තුළිනුත් හිත දූෂ්‍ය කරයි.

අතීතය යනු කටයුතු නිමා වූ අවස්ථාවකි. අනාගතය යනු සිදුවන්නක් නොවෙයි. මේ අයුරින් අතීතය හා අනාගතය ගැන නොසිතීම සිත පිරිසුදු කරයි. අතීතය ගැන නොසිතන්න, අනාගතය ගැන නොසිතන්න වර්තමානය තුළ නො මුළාව ජීවත් වන්න.

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ තුළ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම පවතින බව දකියි. එසේ වූ කල සතුටින් වෙසෙන්නට හැකි වෙයි. එසේ දකියි නම්, ඒ තුළින් පෙනෙන්නේ යථාර්ථයයි. අතීතය ගැන සිතා පසු තැවිලිවීම හෝ අනාගතය තුළ සිහින මාලිඟා දැකිමින් ඒවා ළඟා වන තුරු බලා සිටීම හෝ වර්තමානයේ ආත්ම සංකල්පය තුළ මුළා වීම හෝ ජීවිතයට අර්ථයක් එක් නොකරයි. ජීවිතයට අර්ථයක් එකතු කරනුයේ පවතින මොහොත යථාර්ථවත් ව දැකීම තුළිනි. ඒ දැක්ම දියුණුවේ දැක්ම වෙයි.

ලොව සිටින ආර්යයන් වහන්සේ නොදකින, ආර්ය දහමෙහි අදක්ෂ, ආර්ය දහම තුළ සංවර නොවූ, සත්පුරුෂයා නොදුටු, සත්පුරුෂ දහමෙහි අදක්ෂ, සත්පුරුෂ දහමෙහි නොදැමුණු බොහෝ ඇසූපීරු තැන් නැති පුද්ලයා මෙලෙස වර්තමානය ආත්මවාදී ව දකියි. ආර්යයන් හා සත්පුරුෂයන් දකිනා ආර්ය හා සත්පුරුෂ දහමෙහි දක්ෂ එහි විනීත වූ හික්මුණු බොහෝ අත්දැකීම් ඇති පුද්ගලයා මෙලෙස මූළා නොවෙයි. ඔහු සැබෑ තත්ත්වය තුළ සිටියි.

අතීත පසුතැවිල්ල අප රෝගී කරයි. උමතු කරයි. අපව විනාශ කරයි. ලොව සිටිය මහා කෝටිපතියෙක් සිටිවනම රෝගි විය. මහා ධනයක් ලබා ඔහු සුවපත් කරන්නට වෙහෙසුණ ද සුවයක් නොවී ය. ඔහුගේ රෝගය හඳුනා ගතහැකි වූයේ මනෝ වෛද්‍යවරයකුට පමණි. කුමක් නිසා ඔහු රෝගි තත්ත්වයට පත්විණි ද?

දිනක් ඔහු හුදකලාව සිටිය දී ඔහුට මෙවන් කල්පනාවක් ඇති විණි. තමන් තම ජීවිතයේ ගමන් බිමන් යද්දී බස් රථවලින් මාරු කාසි නොමැති නිසා ගන්නට බැරි වූ සතයක් දෙකක් ආදි වූ සුළු මුදල් කොපමණ දැයි ගණන් බැලීය. ගණන් බලද්දී එය කෝටි ගණනක මුදලකි. මේ ගැන සිතන ඔහු මෙසේ රෝගී තත්ත්වයට පත්විණි.

අනාගත සිහින අප නොමඟ යවයි. එක ජන කථාවක මෙසේ දක්නට ලැබෙයි. ගෙදර ඉදිරිපිට ජම්බු ගහක් වෙයි. මිනිසෙක් මෙම ජම්බු ගහ දෙසබලා මෙසේ සිතයි. මේ ජම්බු ගහේ ගෙඩි හැඳුනාට පසු ඒවා විකුණා මා ධනවතෙක් වෙනවා, ගෙය සදනවා, ධනවත් පවුලකින් විවාහයක් කර ගන්නවා, පවුලේ පාවිච්චියට වාහනයක් ගන්නවා. ජම්බු ගහ නිසා වාහනය ගෙදරට ගන්න බැහැ. ඒ නිසා ජම්බු ගහ කපන්න ඕන කියා ඔහු පිහියක් රැගෙන එතැනට යයි.

මේ අයුරුම බණ කථාවක් ඇත. ඒ භාගිණෙය්‍ය සංඝරක්ඛිත තෙරුන්ගේ කථාව යි. තම මාමා ළඟ පැවිදි වූ මෙම තෙරුන් මාමා වන තම වැඩිහිටි තෙරුන්ට සිවුරක් පූජා කරයි. උන්වහන්සේ එය ගානකට ගත්තේ නැත. තම ගුරු තෙරුන්ට පවන් සළමින් මෙසේ සිතයි.

ගුරු හාමුදුරුවන් මා සමඟ අමනාප ව ඇත. ඒ නිසා මා උපැවිදි වෙනවා, වෙළඳාමක නිරත වෙනවා, රැකියාවක නිරත වෙනවා එයින් මුදල් රැස්කොට ආවාහ විවාහ වී අඹුදරුවන් පෝෂණය කරනවා, දරුවන් බිරිඳ සමඟ කරත්තයක නැඟී නැඳීමයිලන් බලන්න යනවා, මේ යන අතර මඟ දී බිරිඳගේ නොසැලකිල්ල නිසා දරුවා වැටෙනවා. එවිට බිරිඳට පහර දෙනවා. මෙසේ සිතා පවන් සැලූ පවන් පතින් තම ගුරු හිමියන්ගේ හිසට පහර දුන්නේ ය. එවිට ගුරු හිමි භාගිණ්‍යෙ සංඝරක්ඛිත මා ඔබේ බිරිඳ නොවේ යැයි කීය. එවිට මේ තෙරුන් හිත තුළින් ගිය දුර මතක් වී සැබෑ ලෝකයට පිවිසිණි. එසේ නම් සිහින දැක දැක මුළාවීම දියුණුවට මඟ නොවෙයි.

ආත්ම දෘෂ්ටිය වූ කලි පුද්ගලයා උපහාසයට, අපහාසයට, මුළාවට ලක් කරන්නකි. මම, මගේ සංකල්පය, මගේ කුලය උසස්, මගේ කුලය පහත්, අන් අයට පෙර සිටිය යුත්තේ මා ය. මා සතු දේට හිරිහැර කරන්නට කිසිවකුට නොහැකි ය. මට පහර දුන්නා, මා සතු දේ පැහැර ගත්තා, මා පැරැද්දුවා මෙසේ මුළාව සිතීම සිත තුළ දූෂ්‍ය තත්ත්වය දියුණු කර ගැනීමකි. මුළාව විනාශයයි. අපගේ පන්සිය පනස් ජාතක පොත තුළ දක්නට ලැබෙන උපසාල්හක ජාතකය මීට කදිම නිදසුනකි.

උපසාල්හක කුමරු බමුණු කුලයෙහි උපත ලබා ඉසුරුමත් ජීවිතයක් ගත කරන්නෙකි. ඔහු කුලය අගයයි. ඉසුරුමත් බව අගයයි. ඔහු තම පුතුටත් එය අගයන්නට කියා දෙයි. දිනක් ඔහු තම පුතු කැඳවා තමා මළ පසු ඕනෑම තැනක මිහිදන් නොකරන ලෙසත්, ඒ තැන්වල කුලහීනයන්, දුගියන් මිහිදන් කර දූෂ්‍යව ඇති බැවින් කිසිවකු මිහිදන් නොකළ පාරිශුද්ධ ස්ථානයක මිහිදන් කරන ලෙසත් දැන්වීය. එවන් තැනැක් දැක්වුවහොත් එසේ කරන්නම් යැයි පුතු කීවේ ය.

දෙදෙනා ම එක්ව පිරිසුදු තැනැක් සොයන්නට විය. ගිජු කුළු පව්ව තරණය කරයි. එහිවූ කුඩා කඳු ගැටයකට නැඟ එතැන කිසිවෙකුත් මිහිදන් නොකළ, ශුද්ධ භූමියක් යැයි තීන්දු ගෙන තමා මළ පසු ඒ ශුද්ධ භූමියෙහි මිහිදන් කරන මෙන් දැන්වී ය. එවිට ඔවුන්ට හමුවන තාපසයෙක් තම පෙර දක්නා නුවණින් එතැන බලා එය ශුද්ධ බිමක් නොවන බවත්, දහස් ගණනින්, දස දහස් ගණනින් එතැන මිහිදන් කර ඇති බවත් දැන්වීය.

ආත්මවාදය තුළ සිටින මිනිසා තම පිම්බීම උදෙසා අනවශ්‍ය වෙහෙසක නිරත වෙමින් කටයුතු කළ ද ඒ වෙහෙසක් මිස ලැබෙන්නක් නොමැති බව මෙයින් කියයි.

අතීතය සිහිපත් නොකරමු. අනාගත සිහින තුළ කල් නොයවමු. මේ දැන් ජීවත් වෙමු.

වප්  අමාවක

නොවැම්බර් 12 ඉරිදා අ.භා.
 02.42 න් අමාවක ලබා 13 සඳුදා අ.භා. 02.55 න් ගෙවේ.
12 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]