වප් අමාවක පෝ දා 2023-11-12
ආධ්‍යාත්මික දියුණුව
ජීවිතයට ම සුව සදයි
ආධ්‍යාත්මික සුවපත් බව ජීවිතයට ලබා දෙන සුවය, සැනසීම අපමණ ය. එවැනි සුවපත්
පුද්ගලයෙක් වෙතින් තමන් ජීවත්වන සමාජයට ලැබෙන්නේ ද සුවයකි. තමන් පාපයෙහි නොගිලී,
තමන් පව් කම් කරමින් අනුන්ට ද එහි අහිතකර පල භුක්ති විඳීමට ඉඩ සලසන්නේ නැති
පුද්ගලයා බලා සිටියදී ම කීර්තියට පැමිණේ. ගෞරවණීය වේ. කවර බාධක, ගැටලු හමුවේ වුව ද
බෞද්ධයන් ලෙස අප ද ඒ තැනට ළඟා වීමට උත්සාහ ගත යුතු වන්නේ ධර්ම මාර්ගය ම මිස ජීවිතයට
පිහිට, පිළිසරණ, රැකවරණය ලැබෙන අන් කිසිදු මඟක් නොවන නිසා ය.
මෙහිදී වඩාත් වැදගත් වන්නේ තමන්ට තමන් අවංක වීම ය. තමන් යහපත් යැයි ලොවට පෙන්වමින්
ලෝකයට රහසේ වැරැදි දේ, අනර්ථයන් සිදු කරනවා නම්, එයින් තමන්ට හෝ අනුන්ට වන යහපතක්
නැත. එහි අහිතකර පල කවර මොහොතක හෝ තමන් දවනු ඇත. අනුන් ද පීඩාවට පත් කරනු ඇත. තම
හදවතට එකඟ ව ක්‍රියා කළ යුතු එහෙයිනි.
බුදුරජාණන් වහන්සේ රාහුල කුමරුන්ට දේශනා කොට වදාළ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය තුළ
අන්තර්ගත මහෝපදේශ මේ ජීවිතය සේ ම පරලොව ජීවිතයට ද ආලෝකයක් ගෙන දේ. එහි සඳහන්
සදුපදේශයකට අනුව තමන් යම් කිසිවක් සිතීමේ දී, ක්‍රියාවට නැඟීමේ දී, කීමේ දී ඒ නිසා
වන ප්‍රතිඵල තමන්ට අහිතකර නම්, අනුන්ට අහිතකර නම් එය අකුසලයකි. පලය වේදනාවකි.
දැවීමකි. තැවීමකි. එහි විරුද්ධ පස ගනිමු. තමන් සිතන දෙයින්, කරන කියන දෙයින් තමන්ට
අනර්ථයක් නොවන්නේ නම්, අනුන්ට ද අයහපතක් නොවන්නේ නම්, ප්‍රයෝජනයක් ලැබේ නම්, සුවයක්
සතුටක් ලැබේ නම් එය කුසලයකි. මෙසේ ආධ්‍යාත්මික සුවය කුසලයක් නම්, එය මඟහැර විපතේ
වැටෙන්නේ කුමට ද යන්න සිතා බැලිය යුතු බොහෝ අය ආලෝකය දැක දැකත් අඳුරට ම යන්නට ගන්නා
උත්සාහය වර්තමානයේ සුලබ නිසා ය.
අහස උසට නැඟෙන මහල් ගණනින් යුතු විසල් ගොඩනැඟිල්ලක වුව ද ශක්තිමත් බව රඳා පවතින්නේ
එහි පදනම මත ය. පාදම සඳහා භාවිත කරන එකම අමුද්‍රව්‍යයක් හෝ ගුණාත්මක බවින් හීන වූයේ
නම් මුළු ගොඩනැඟිල්ලට ම නරක බලපෑම් ඇති කරයි. නුදුරු අනාගතයේ ම එය දෙදරා ඉරිතලා යනු
ඇත. මහා සමාජය ද එලෙස ය. එහි පාදම පවුල ය. පවුල හසුරුවන්නේ මව්පියන් ය. ඔවුන් ගුණ
ධර්මයන්ගෙන් පොහොසත් නොවූයේ නම් එය මුළු පවුලට ම බලපායි. විශේෂයෙන් එහි හැදෙන වැඩෙන
දරුවන් වෙතින් ද විද්‍යමාන වන්නේ ඒ හීන ගතිම ය. ඔවුන් සමාජ ගත වන්නේ ඒ නරක දායාද කර
ගනිමිනි. ඒ තුළ පලුදු වන්නේ සමාජයයි.
අද බොහෝ තන්හි දී අප අත්විඳින්නේ මේ අත්වැරදීම් ය. සමාජය තුළ සිදුවන විවිධ අකටයුතු,
නොපනත්කම්, ව්‍යසනයන් හමුවේ අපි ඒවාට සම්බන්ධ වූවන්ට දොස් නඟමු. ඔවුන් විවේචනය
කරමු. එහෙත් වරද සිදුවීමේ ආරම්භය සිදුව ඇත්තේ කලකට පෙර ය. එහෙයින් අනාගතයේ හෝ යහපත
උදා කර ගනු පිණිස අද සිට ම අප යහපත වැපිරිය යුතු ය. එවිට හෙට යහපත් අස්වනු ම නෙළනු
හැකි ය. එය අනුන් කරන තෙක් බලා සිටිය යුතු නැත. තමන්ගෙන් ආරම්භ කළ යුතු ය.
පන්සිල් සුරකිමින් සිත රැක ගැනීම වැදගත් ය. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තණ්හාව, මද
මානය තුළ වන නපුරු හැඟීම් පාලනය කොට ආධ්‍යාත්මික සුවය ළඟා කර ගන්නට හැකි නම්,
මනුෂ්‍ය ජීවිතය මොන තරම් භාග්‍ය සම්පන්න වනු ඇති ද? අප උත්සාහ කළ යුතු ඒ තැනට යන්නට
ය. අපගේ ශාස්තෘන් වහන්සේ ඒ සඳහා වන උතුම් මඟ පෙන්වා දී ඇත. |