අකුසල සිතිවිලි දුරැර කුසල ධර්ම වඩන මඟ

අකුසල සිතිවිලි දුරැර කුසල ධර්ම වඩන මඟ

“යෝ චෙ වස්ස සතං ජීවේ
දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යො
සීලවන්තස්ස ඣායිනෝතී”

බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කළ ප්‍රතිපත්ති පූජාවට ඇතුළත් වන භාවනාමය පින්කමක් පිළිබඳ ඉහත සඳහන් ගාථාව තුළින් අපට පැහැදිලි කර දෙනවා. මේ ගාථාව අඩංගු වන්නේ බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේයි.

මේ ධම්ම පදය පිළිබඳ කෙටියෙන් හෝ දැන ගැනීම වටිනවා. අපේ බුදුන් වහන්සේ බුදු වී අවුරුදු 45ක් වැඩ සිටියා. මේ අවුරුදු 45 පුරා ම ලෝකයට අනුකම්පාවෙන් ධර්මය දේශනා කොට වදාළා. එසේ දේශනා කොට වදාළ ධර්මය එකතු කළාම අසූහතර දහසක් වෙනවා (84000). ඒ නිසයි 84 දහසක් ධර්මස්කන්ධය කියන්නේ. බුදුන් වහන්සේ උපතින් 80 වැනි වියේ දී පිරිනිවන් පෑවා.

එදා, ඒ වෙලාවේ වයසට ගිහින් පැවිදි වුණ භික්ෂුවක් වැඩ සිටියා. උන්වහන්සේගේ නම සුභද්‍ර. මේ සුභද්‍ර භික්ෂුව තථාගතයන් වහන්සේගේ පිරිනිවීම පිළිබඳ සතුටු වුණා. දුකට පත් වී සිටින භික්ෂූන් වහන්සේ ළඟට ගිහින් කිවුවා, ඇයි මේ දුක් වෙන්නේ. සතුටු වෙන්න. අපිට නිතරම නීති පනවන කෙනා නැති වුණා. එය අපට සතුටක් නේද කියලා අභද්‍ර වචන කියන්න පටන් ගත්තා.

ඒ වෙලාවෙ මේ වචන අහගෙන හිටපු මහා කස්සප මහ රහතන් වහන්සේට ධර්ම සංවේගය ඇති වෙලයි, ප්‍රථම ධර්ම සංගායනාව සිදු කළේ. මහා කස්සප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මාස පහක් මේ ධර්ම සංගායනාව රජගහ නුවර (සප්තපර්ණි) කියන ගල් ලෙනේ මහ රහතන් වහන්සේ (500)ක් එකතු වෙලා මේ උතුම් ශාසනික කටයුත්ත සිද්ධ කළා. අජාසත්ත මහ රජතුමා තමයි ප්‍රධාන දායකත්වය දැරුවේ. ඒ ප්‍රථම ධර්ම සංගායනාවේ දී ධර්මයත්, විනයත් සංගායනා කළා. ආනන්ද මහ රහතන් වහන්සේ තමයි ධර්මය සංගායනා කළේ. උන්වහන්සේ තමයි ධර්ම භාණ්ඩාගාරික තනතුර දැරුවේ. උන්වහන්සේ තමයි බුදුන් වහන්සේ දේශනා කොට වදාළ සියලුම ධර්මය දැනගෙන සිටියේ. විනය සංගායනා කළේ විනයධරයන් අතර අග්‍රවුණ උපාලි මහරහතන් වහන්සේ යි. විසිර තිබුණ ධර්මය එක් තැන් වුණා. එහිදී ධර්මය කොටස් පහකට බෙදා දැක්වූවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය වශයෙන්. මේ නිකාය ග්‍රන්ථ පහේ අවසාන නිකාය වන ඛුද්දක නිකායට ඇතුළත් වෙනවා ධර්ම පොත් පහළොවක් (15) ඛුද්දක පාඨ, 2. ධම්ම පදය, 3. උදාන 4. විමාන වස්තු 5. ප්‍රේත වස්තු 6. ථෙර ගාථා 7. චුල්ල නිද්දේස 8. පටිසම්භිදාමග්ග 9. අපදාන 10. ඉති වුත්තක 11. සුත්ත නිපාත 12. ථෙරිගාථා 13. ජාතක 14. බුද්ධ වංස 15. චරියා පිටක.

මේ ග්‍රන්ථවලින් දෙවැන්න තමයි ධම්ම පදය කියන්නේ. ධම්ම පදයේ තිබෙනවා වග්ග 26ක්. 1. යමක 2. අප්පමාද 3. චිත්ත 4. පුප්ඵ 5. බාල 6. පණ්ඩිත 7. අරහන්ත 8. සහස්සා 9. පාප 10. දණ්ඩ 11. ජරා 12. අත්ත 13. ලෝක 14. බුද්ධ 15. සුඛ 16. පිය 17. කෝධ 18. මල 19. ධම්ම 20. මග්ග 21. පකිණ්ණක 22. නිරය 23. නාග 24 තණ්හා 25.භික්ඛු 26. බ්‍රාහ්මණ කියලා මේ වග්ග 26 ට අයත් වෙනවා. අප තෝරා ගත්තේ සහස්ස වර්ගය 110 වැනි ගාථාවයි. ලෝකයේ හැම ආගමක් ම බිහි වුණේ සැනසීම ලබා දීමට.

බෞද්ධයෝ සිතේ යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට වෙහෙස වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ භාවනා ක්‍රමය අනිකුත් භාවනා ක්‍රම අතරින් විශේෂයෙන් නවීන මනෝවිද්‍යාවට අදාළයි. ඒ වගේ ම මනස විකෘති නොවී තත්වාබෝධයක් ලැබීමට හේතුවන සරලවූත්, ඝෘජුවූත් ක්‍රමයක්. භාවනාව අයත් වන්නේ ප්‍රතිපත්ති පූජාවටයි. හිතේ මිනිස්කම ආරක්ෂා වීමට විශේෂයෙන් භාවනාව අවශ්‍යයි. සෑම කෙනකුගේ ම සිත තිරිසන්කමට හැරෙන්නට ඉඩ නොදී සිත සංවර කරන, දියුණු කරන උපාය මාර්ගය භාවනාවයි. සීලය තුළින් සංවර කරන්නේ කය, වචන දෙක පමණයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනක් සීලයෙන් රැකෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යනුයි. ඉතිරි මාර්ග පසම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේවා ආරක්ෂා වන්නේ භාවනාවෙන්. ත්‍රිවිධ ශික්ෂාව දියුණු කිරීමටත් භාවනාව අවශ්‍යයි.

මුලින් සඳහන් කළ ගාථාවෙන් ඉතා වැදගත් අදහසක් ප්‍රකාශ වෙනවා. භාවනාවෙන් සිත සංවර කර නොගෙන සිල්වත්කමක් නැතිව ජීවත්වන අවාසනාවන්ත පුද්ගලයා අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා සීල භාවනා සංඛ්‍යාත ප්‍රතිපත්ති මඟින් චිත්ත සංයමයක්, සිතේ සංහිඳියාවක් ඇතිව ජීවත් වන පුද්ගලයාගේ එක දවසක් ජීවත්වීම ඉතා වැදගත් බවයි, ඉන් ප්‍රකාශ වන්නේ.

ඉතා සරල ලෙස පැහැදිලි ලෙස කියනවා නම් විසිරී අවුල් වී තිබෙන අපේ සිත එක අරමුණක තබා ගෙන පිහිටුවා ගෙන සන්සුන් කිරීමටයි භාවනා කරනවා කියන්නේ. එය පැහැදිලි කර ගැනීමට එහි නිර්වචනය දෙස සිත් යොමු කරමු.

‘භාවෙති කුසල ධම්මෙ වඩ්ඪති එතායාති භාවනා’ කුසල ධර්මයන් වැඩෙන මඟ යනු එහි තේරුමයි. භාවනාව පිළිබඳ ප්‍රභේද ගැනත් අපි සලකා බලමු. සමථ විපස්සනා වශයෙන් කොටස් දෙකයි. ‘නිවරණ නී සමෙතීති සමතො කිලෙසෙ සමෙතීති සමථො. මේ නිර්වචනවලින් ප්‍රකාශ වන්නේ කාමච්ඡන්දාදී නීවරණ ධර්ම යහපත් කරන, අඩු කරන, නැති කරන, භාවනාව සමථයයි. සමථ භාවනාවෙන් සමාධිය දක්වා දියුණු කරන්න පුළුවන්. එහි දියුණු අවස්ථාව අටසමවත් නමින් ද, පඤ්චාභිඤා නමින් ද හැඳින්වෙනවා. සමථ භාවනාවට සමසතළිස් කර්මස්ථාන ම අයත් වෙනවා.

ආරක්ෂක භාවනා හතරක් සඳහන් වෙනවා. බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති යනුයි. මේ සතර භාවනා නිරන්තරයෙන් ම කළ යුතු නිසා, සබ්බත්ථ කම්මට්ඨාන නමින් හඳුන්වනවා. බුද්ධානුස්සතිය වැඩීමෙන් ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. ප්‍රතිපත්ති පිරීමෙහි ළැදි වෙනවා. මෙත්තා භාවනාවෙන් හැම දෙනාට ම පි‍්‍රය පුද්ගලයෙක් වෙනවා. අසුබ භාවනාව තුළින් රාගයෙන් වෙන් වී විරාගය වර්ධනය වෙනවා. ලෝකාමිෂයෙහි ඇලෙන්නේ නැහැ. මරණානුස්සතියෙන් වීර්යයෙන් යුහුසුළුව ප්‍රතිපත්ති පිරීමට පොළඹවනවා. මේ නිසා හැම යෝගියෙක් ම දිනපතාම විනාඩි දහයක්වත් මේ භාවනා හතර පුරුදු කළ යුතුමයි. ලොකු ආරක්ෂාවකුත් සැලසෙනවා.

විදර්ශනා භාවනාව මඟින් මේ ආත්මයේදී ම නිවන් අවබෝධ කළ හැකි වන්නේ හොඳ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඇති පුද්ගලයන්ටයි. ආනන්තරිය කර්ම සිදු කර තිබේ නම් ඔහුට බෑ මේ ආත්මයේ දී මඟඵල ලැබීමට. මිථ්‍යා දෘෂ්ටිකයෙක් නම් ඔහුටත් අමාරුයි. ආයෙ¸පවාද කර තිබේ නම්, දුශ්ශීලයකු නම් මේ අත්භවේ නිවන් ලැබීම අමාරුයි. ඒ නිසා අපට මුණ ගැසී තිබෙන ශාසනයෙන් වටිනා ජීවිතයෙන් ප්‍රයෝජන ගැනීම පිණිස භාවනා කරමු.

දැන් භාවනාවට යෝග්‍ය ලෙස වාඩි වී හැකිතාක් කය ඝෘජු ව තබා ගන්න.

සිල් බැලීම -

සමාදන් වූ ශිලයේ සුළු හෝ අපිරිසුදුවක් තිබේ නම් පිරිසුදු කර ගෙන සීලය මෙනෙහි කොට සතුට උපදවා ගන්න.

ජීවිත පරිත්‍යාගය ( දොහොත් මුඳුනේ තබාගන්න)

කල්‍යාණ මිත්‍ර ආචාර්යයන් වහන්ස. මහෝත්තම රත්නත්‍රයට ද, ඔබ වහන්සේට ද ජීවිතය පරිත්‍යාග කරමි. දෙවනුව ද තෙවනුව ද ජීවිතය පරිත්‍යාග කරමි.

කමටහන් ඉල්ලීම -

ස්වාමිනි, සසර දුකින් මිදීම පිණිස කමටහන් භාවනාවක් ඉල්ලමි. දෙවනුව ද තෙවනුව ද සසර දුකින් මිදීම පිණිස කමටහන් භාවනාවක් ඉල්ලමි.

සමා කර ගැනීම -

සිත, කය, වචන යන තිදොරින් සිදු වූ සියලු වැරැදි කර්ම දෝෂවලින් මිදීම පිණිස ද, මාර්ග ඥාන, ඵලඥාන, නිවන් සැප ලබා ගැනීම පිණිස ද, බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් ද ගුරුවර මව්පියන් හා ගුණයෙන් වයසින් වැඩිහිටි උතුමන්හට ද නමස්කාර කරමි. වඳිමි, පුදමි. අතීත සංසාරයේ පටන් දැන් මේ දක්වා මා අතින් සිදු වූ සියලු වැරැදි කර්ම දෝෂවලට සමාව අයදිමි. සමා වේවා. මට ද සිදු වූ සියලු වරදට මම ද සමා වෙමි.

බුදුගුණ සිහි කිරීම -

තමා ඉදිරිපිට බුදුරජාණන් වහන්සේ බුදුරැස් විහිදුවමින් වැඩ සිටින ආකාරය සිහි කරන්න. (දැන් මෙසේ සිහි කරන්න) මාගේ ස්වාමි වූ, භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ වූ මහත් ගුණ ඇති සේක.

සිතා නිම කළ නොහැකි, කියා අවසන් කළ නොහැකි වූ බුදු නුවණින් ම දත යුතු වූ අසිරිමත් ගුණ ඇති සේක.

මාගේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවින් ද, කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින් ද, රහසින්වත් පව් නොකරන බැවින්ද, දෙව් මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු බැවින් ද, සංසාර චක්‍රයෙහි බැමි කපා සිඳලු බැවින් ද, අරහං නම් වන සේක. ඒ අරහං නම් ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මෙසේ ගුණ නවයම සිතන්න.

මෙසේ අසම වූ, අසමසම වූ මහා කාරුණික වූ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා.

නව ලොව්තුරා ධර්ම රත්නයට ද මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයට ද මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. මාගේ සිතෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙත්වා.

මාගේ සිතෙහි සදහම් රුවන බැබළේවා. මාගේ සිතෙහි සඟ ගුණ සපිරේවා.

මෛත්‍රිය වැඩීම -

මම දූෂිත නොවූ සිත් ඇත්තෙක් වෙම්වා. වෛර නැත්තෙක් වෙම්වා.. පීඩා නැත්තෙක් වෙම්වා. නිදුක් වෙම්වා. නීරෝගි වෙම්වා. සුවපත් වෙම්වා. මෙසේ තමා පෙනෙන සේ වාර ගණනක් සිහි කරන්න.)

මා මෙන් ම මට හිතවත් වූ ද, මැදහත් වූ ද, සතුරු වූ ද සියලු සත්ත්වයෝ දූෂිත නොවූ සිත් ඇත්තෝ වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා. පීඩා නැත්තෝ වෙත්වා. නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා.

මරණය සිහි කිරීම -

ජීවිතය අනියතයි. මරණය නියතයි. මහත් සැපක් විඳි සියලු සත්ත්වයෝ ද මළාහු ය. මම ද මරණය කරා පැමිණෙමි. මරණය ඉපදීමෙහි සිට මෙතෙක් ඇති වූ ද, ඇති වන්නා වූ ද නාම රූප ධර්මයෝ ඒ ඇසිල්ලෙහි මැරෙති. මරණය, මරණය

ජීවිතේන්ද්‍රිය බිඳීමෙන් මේ භවයෙන් වෙන්වීම වූ මරණයට පැමිණෙමි. මරණය මහ යස තෙද පිනින් සෘද්ධියෙන් දිලුණු බුදු පසේ බුදු මහරහත් උතුමෝ ද පිරිනිවියහ. මම ද මරණය කරා පැමිණෙමි. මරණය, මරණය, මරණය

මෙසේ මරණය ගැන දිගටම සිහි කොට සංවේගය ලැබ මරණයෙන් මිදීමට භාවනා කිරීමට අප්‍රමාද විය යුතු ය.

අසුබ මනසිකාරය

දෙතිස් මහ කුණු ගොඩකින් යුක්ත වූ මේ ශරීරය මහා අසුබයෙකි. අසුබ ය අසුබ ය අසුබ ය.

මැරී දෙතුන් සතර දිනක් ගතවූවාට පසු නව දොරකින් කුණු ඕජා වැගිරෙන මළ සිරුරක් මෙන් අසුබයෙකි. අසුබ ය අසුබ ය අසුබ ය.

අසූචියෙහි පණුවකු මෙන් මවු කුස හටගත් මේ සිරුර ඇතුළත ද අසූචි පිරී ඇති හෙයින් අසුබයෙකි. අසුබ ය. අසුබ ය. අසුබ ය.

මෙසේ අසුබය මෙනෙහි කිරීමෙහි දී පැවැති විරාග සහගත සිතිවිලිවලින් යුතු වූ, සමාදන් වූ කර්මස්ථානයට බසින්න.

ආනාපාන සති භාවනාව

ආශ්වාස, ප්‍රශ්වාස දෙක අරමුණු කර ගෙන කරන භාවනාව ආනාපාන සතිය යි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ විසින් පවා බහුල ව වඩන ලද භාවනාව ආනාපාන සති භාවනාවයි. බෝසත් අවස්ථාවේදී ද උන්වහන්සේ බහුල ව වඩා ඇත්තේ මෙම භාවනාවයි. මේ භාවනාව නිසා කයට හෝ ඇසට හෝ කිසිදු පීඩාවක් වුණේ නැහැ. හිතත් ක්ලේශයන්ගෙන් මිදුණා. මහණෙනි ඔබත් කය ක්ලාන්ත නොවන, ඇස් ක්ලාන්ත නොවන, සිත කෙලෙසුන්ගෙන් මුදන මේ ආනාපාන සතිය වඩන්න.

මෙම භාවනාවට ව්‍යවහාර කරන නම් කීපයකි. ආරිය විහාර, බ්‍රහ්ම විහාර, තථාගත විහාර කියාත් ව්‍යාවහාර කරන්නේ මේ ආනාපාන සති භාවනාවට ම යි. මේ භාවනාව වැඩීම නිසා තමා හිඳගත් ආසනයේ දී ම කෙලෙසුන් නසා රහත් වෙනවා. එසේ නොහැකි වුණොත් මරණයත් රහත් වීමත් එකවරට ම සිදු වන සමසීසී නම් වෙයි. එසේ නූනොත් දෙව්ලොව ඉපිද එහි සිටින ධර්ම කථික දිව්‍ය පුත්‍රයාගෙන් බණ අසා රහත් වෙනවා.

බුදු කෙනකු නැති කාලයක දී නම් පසේ බුදු වීමට හේතු වෙනවා. එම භාවනාව වඩන පිළිවෙළ සඳහන් කරනවා නම් උදරයේ පෙකණිය වෙත සිහිය තබා ගන්න. උදරයේ පිම්බීම හැකිළීම හොඳින් සිහි කරන්න. පිම්බෙන විට පිබ්බෙනවා යැයි හිතන්න. හැකිළෙන විට හැකිළෙනවා යැයි සිතන්න. යම් තැනක තද වේදනාවක් දැනුණොත් වේදනාව බව සිතන්න. එසේ සිතන විට එය යටපත් වෙයි. යළිත් උදරයේ පිම්බීම්, හැකිළීම් සිහි කරන්න. ශබ්දයක් ඇසුණොත් ශබ්දයක් බව පමණක් දැන ගන්න. මේ ක්‍රමයෙන් පැය දෙකහමාරක තරම් හෝ ඊට වැඩි කාලයක් වෙනත් අරමුණක හිත නොදුවන සේ මේ භාවනාව වඩන්න. භාවනාව අවසන් කරන විට සිහියෙන් දෑත ඔසවා නළල මත තබා වැඳගෙන මෙසේ කියන්න

“ඉමාය පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය පටිපත්තියා ධම්මං පූජේමි. ඉමාය පටිපත්තියා සංඝං පූජේමි. අද්ධා ඉමාය පටිපත්තියා ජාති ජරා මරණම්හා පරිමුඤ්චිස්සාමි ඉදං මෙ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චති” මේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදමි. මේ ප්‍රතිපත්ති පූජාවෙන් ධර්මය පුදමි. මේ ප්‍රතිපත්ති පූජාවෙන් සංඝයා පුදමි. මේ භාවනා ප්‍රතිපත්තියෙන් ඒකාන්තයෙන් ම ජාති ජරා මරණාදී දුක්වලින් මිදෙන්නෙමි. මේ භාවනාමය පින කෙලෙස් නැති කිරීම පිණිස ඉවහල් වේවා. සියලු සසර දුකින් මිදේවා.

වප්  අමාවක

නොවැම්බර් 12 ඉරිදා අ.භා.
 02.42 න් අමාවක ලබා 13 සඳුදා අ.භා. 02.55 න් ගෙවේ.
12 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]