බුදු ගුණ දකින්නට ධර්මය දකින්න
ශාස්ත්‍රපති කලාශූරි
නාරම්පනාවේ නන්දරතන හිමි
බුදුගුණ අනන්ත ය. සාමාන්‍ය කෙනෙකුට තබා බුදු කෙනෙකුටවත් බුදුගුණ දේශනා කොට නිම කළ
නොහැක.
බුදු කෙනෙක් අන් කිසිවක් දේශනා නොකොට කල්පයක් මුළුල්ලෙහි ම බුදුගුණ පමණක් ම දේශනා
කළත් කල්පය අවසන් වේ. එහෙත් බුදුගුණ වර්ණනාව අවසන් නොවේ.
එසේ නම් අප වැනි පෘථග්ජනයින්ට බුදුගුණ දැකිය හැක්කේ අල්ප වශයෙනි.
බුදුගුණ අචින්ත්‍ය බව බුදු මුවින් ම දේශනා කොට ඇත. එහි අදහස සාමාන්‍ය කෙනකුට
බුදුගුණ සිතා නිම කළ නොහැකි බවයි. ඊට හේතුව බුදු කෙනෙක් යනු අනන්ත කාලයක් සමතිස්
පෙරුම් සම්පූර්ණ කොට ඇස්, ඉස්, මස්, ලේ, ජීවිතය දන් දී සවාසනා සකල ක්ලේෂයන්
මුලිනුපුටා දමා ලෝක සත්‍යය අවබෝධ කර ගත් හෙයින් එම පාරමිතා නොපිරූ, සත්‍යාවබෝධයක්
නොලැබූ කෙලෙස් කහටින් අපවිත්‍ර වූවකුට බුදුගුණ හඳුනා ගැනීම අසීරු ය. එහෙත් අප
බුදුගුණ දැකීමට නම් බුද්ධ ධර්මය ගැන දැන ගත යුතු ය. ධර්මය දැන ගන්නා තරමට බුදුන්
දැකිය හැකි ය.
යෝ ධම්මං පස්සති –
යමෙක් ධර්මය දකියිද?
සෝමං පස්සති – ඔහු මං දකියි
ඒ නිසා බුදුන් දැකීමට කැමති අය ධර්මය හොඳින් හැදෑරිය යුතුයි. ධර්මය දැන ගන්නා තරමට
බුදුන් දැකිය හැකි ය. ධර්මය දැන ගැනීම පමණක් ද ප්‍රමාණවත් නැත. එය පිළිපැදිය යුතු
ය. අනුගමනය කළ යුතු ය. බුදුරදුන් අනුගමනය කළ මාර්ගය අප ද අනුගමනය කළ යුතු ය. ශීල,
සමාධි, ප්‍රඥා වැඩිය යුතු ය. තෘෂ්ණාව අඩුවන තරමට මමත්වය හෙවත් මම ය, මාගේ ය යන
හැඟීම අඩුවන තරමට බුදුන් දැකිය හැකි ය. ඉහවහා ගිය ආශාවන් පොදි බැඳගෙන ඊර්ෂ්‍යාව,
ක්‍රෝධය පුරවා ගෙන, කුහකකම් හිතේ තද කරගෙන, සුදු කඩකින් හෝ ගුරු කඩකින් ගත වසාගෙන
ඉතිපිසෝ පාඨය මැතුරුවාට බුදුගුණ අවබෝධ නොවේ. ශ්‍රද්ධාව, භක්තිය හා බුද්ධිය ඇතිව
නිහතමානී ව උසස් ධර්මයක්, විමුක්ති මාර්ගයක් අවබෝධ කර ගැනීමේ අදහසින් සත්‍ය අවබෝධ
කර ගැනීමේ උත්සාහයක යෙදිය යුතු ය.
කලක් තිස්සේ කරන ලද ව්‍යායාමයක ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ඇති තතු වැටහේ.
ඒ සඳහා අනනිත්‍යය ද වැටහිය යුතු ය. තම කය පිළිබඳ තිබෙන තෘෂ්ණාව අඩු කර ගෙන එහි
පිළිකුල් සහගත බව වටහා ගෙන ජීවිතය කෙරෙහි ඇති ඇල්ම දුරු කළ යුතුය.
සබ්බේ සංඛාරා අනිච්චාති –
යදා පඤ්ඤාය පස්සති
අත නිබිබින්දති දුක්ඛේ –
ඒස මග්ගෝ විසුද්ධියා
යන ක්‍රමයට සියලු දේ අනිත්‍ය බව යම් දිනක නුවණින් දකියි ද, ඊට පසුව දුකෙන්
අතමිදෙයි. නිවනට මඟ මෙයයි. මේ අවබෝධයෙන් යුතුªව බුදුන් දැකීමට උත්සාහ ගන්න. බුදුගුණ
අවබෝධ කර ගැනීමේ පහසුව සඳහා ගුණ කොටස් 09කට බෙදා දක්වා ඇතත්, එය සීමා කර ගත නොහැක.
දැන ගැනීම සඳහා පමණක් මෙසේ බෙදා වෙන් කර ඇති බැවින් එකී නව ගුණය පහත සඳහන් පරිදි
දැන ගත හැකිය.
ඉතිපි සෝ භගවා
අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජා චරණ සම්පන්නෝ, සුගතෝ, ලෝක විදූ, අනුත්තරෝ පුරිස ධම්ම
සාරථි, සත්තා දේව මනුස්සානං, බුද්ධෝ, භගවාති.
අරහං ගුණය
සෝ භගවා කිලේසේහි ආරකත්තා ඉතිපි අරහං
ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් අරහත් නම් වන සේක.
සෝ භගවා කිලේසානං හත්තා ඉතිපි අරහං
ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් නැසූ හෙයින් අරහත් නම් වන සේක.
සෝ භගවා සංසාර චක්කස්ස හතත්තා ඉතිපි අරහං
ඒ භාග්‍යවතුන් වහන්සේ සංසාර චක්‍රය සුදුසු වන හෙයින් අරහත් නම් වන සේක.
සෝ භගවා පූජානං අරහත්තා ඉතිපි අරහං
ඒ භාග්‍යවතුන් වහන්සේ පූජාවනට සුදුසු වන හෙයින් අරහත් නම් වන සේක.
සෝ භගවා රහසාපි පාපනං අකාරිතත්තා ඉතිපි අරහං
ඒ භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පව් නොකරන හෙයින් අරහත් නම් වන සේක.
අරහං යන ගුණයෙන් කියැවෙන්නේ අරහත් ලක්ෂණයකි. රහත් වීම යනු සියලුම කෙලෙසුන් නසා සසර
කෙළවර කළ බවයි. මෙහිදී සසර කෙළවර කළ අර්ථයෙන් අර්හත් බව දක්වා තිබේ. බුදු, පසේ
බුදු, මහ රහත් යන තුන්තරා බෝධිය ගැන කියන විට බුදු බව එකක් ලෙසත්, රහත් බව තව එකක්
ලෙසත් දක්වා තිබීමත් බුදුරදුන් තුළ ඇති රහත් බවක් ගැන මෙහි සඳහන් වීමත් කෙනෙකුට
ගැටලුවක් විය හැකි ය.
එහි ගැටලුවක් නැත . රහතුන් ද බුදුවරුන් ද යන දෙපිරිස ම සසර ගෙවා දැමුවෝ ය. ඒ
අරුතින් දෙවිදිය එක සමාන ය.
රහතුන් තුළ නොමැති බුදුරදුන්ට පමණක් සීමා වූ විශේෂ බුද්ධ ගුණ ගැන පසුව දැක්වෙයි.
මෙහිදී ආරම්භයක් ලෙස සසරින් එතෙර වීම හා පූජාර්භ භාවය ගැන දක්වා තිබේ.
රහත් සංකල්පය බුද්ධ කාලයට පෙර සිටම පැවති අපේක්ෂාවකි. ලොව රහතන් වහන්සේ නමක් පහළ වේ
ය යන අපේක්ෂාව බුද්ධ කාලය වන විට අපේක්ෂා ගත වී තිබුණි. ඇතැම් තවුසන් තමන් රහත් වූ
කෙනෙක් ලෙස සිතා ගෙන කටයුතු කර ඇත.
එහෙත් ඔවුහු කෙලෙස් තුනී කළවුන් පමණි. මුල් තිබියදී අතු පතර කපා දැමූ රහත් බව
අපේක්ෂාවෙන් වනගත ව ධ්‍යාන භාවනා වැඩූ තවුසන් අතරින් (ක්‍රි.පූ. 6 වැනි සියවසේ)
ප්‍රථම වරට රහත් භාවයට පත් වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. “අහංගි අරහා ලෝකේ”
යනුවෙන් මම ලෝකයේ රහතන් කෙනෙක් යනුවෙන් උපක ආජීවකයාට තමන් වහන්සේ පිළිබඳ හඳුන්වා
දීමෙන් එහි අරුත මනාව වැටහේ. එහි අදහස තමන් වහන්සේ කෙලෙස් නැසූ සසර කතරින් එතෙර වූ
අයකු බවයි.
ඉහතින් දැක්වූ බුදුගුණ භාවනා යටතේ එන කරුණු පහෙන් තුනකින් කියැවෙන්නේ සසර බැමිවලින්
මිදුණු බවයි. එහි එන
1. කිලේසේහි ආරකත්තා 2. කිලේසානං හනන්තා 3.සංසාර චක්කස්ස හනතත්තා
යන තුන් ආකාරයකින් ම දක්වා ඇත්තේ එකම කාරණයකි. ඒ අනුව මෙහි අරහං ගුණය ලෙසින් දක්වා
ඇත්තේ බුදුවරුන්ට ද රහතුන්ට ද පොදු වූ ලක්ෂණය බව පැහැදිලි කර ගත යුතු ය. හතර වනුව
දැක්වෙන පුද පූජාවන් ලැබීමට සුදුසු බව අනුව ලෝකයේ යමක් පිදීමට සුදුසු ශ්‍රේෂ්ඨම
උත්තමයා බුදුරජාණන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ ආර්ය පුද්ගලයන් අතරින් අග්‍රය.
රහසින් වත් පව් නොකරන බව ද ආර්ය ලක්ෂණයකි. පෘථග්ජන පුද්ගලයෝ සමාජ බිය නිසා රහසිගත ව
පව් කිරීමට පෙළඹෙති. එහෙත් කෙලෙස් නැසුවන් අතින් රහසිනුදු පාපයක් සිදු නොවේ.
සම්මා සම්බුද්ධෝ
සෝ භගවා අභිඤ්ඤෙය්‍යානං ධම්මානං සම්මා අභිඤ්ඤාතත්තාඉතිපි සම්මා සම්බුද්ධෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් දත යුතු ධර්මයන් මනා කොට දන්නා හෙයින් සම්මා
සම්බුද්ධ වන සේක.
සෝ භගවා පරිඤ්ඤොය්‍යානං ධම්මානං සම්මා පරිඤ්ඤාතත්තා ඉතිපි සම්මා සම්බුද්ධෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දත යුතු ධර්මයන් මනාකොට පිරිසිඳ දත්
හෙයින් සම්මා සම්බුද්ධ වන සේක.
සෝ භගවා පහාතබ්බානං ධම්මානං සම්මා පහීනත්තා ඉතිපි සම්මා සම්බුද්ධෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ දුරු කටයුතු ධර්මයන් මනා කොට දුරු කළ හෙයින් සම්මා සම්බුද්ධ
වන සේක.
සෝ භගවා සච්ඡිකාතබ්බානං ධම්මානං සම්මා සච්ඡිකතත්වා ඉතිපි සම්මා සම්බුද්ධෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ සාක්ෂාත් කටයුතු ධර්මයන් මනා කොට සාක්ෂාත් කළ හෙයින් සම්මා
සම්බුද්ධ වන සේක.
සෝ භගවා හාවේතබ්බානං ධම්මානං සම්මා භාවිතත්තා ඉතිපි සම්මා සම්බුද්ධෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩිය යුතු ධර්මයන් මනා කොට වඩන ලද හෙයින් සම්මා සම්බුද්ධ වන
සේක.
මේ අනුව සම්මා සම්බුද්ධ යනු ස්වයං භූඥානයෙන් හෙවත් තමාගේම නුවණින් චතුරාර්ය සත්‍ය
ධර්මය අවබෝධ කර ගත් හෙයින් සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්ත වේ. මෙහිදි සත්‍යය අවබෝධ
කර ගැනීම පිළිබඳ විශේෂයෙන් දක්වා තිබේ.
දිනක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් ම සේල බමුණාට තමන් වහන්සේ කවුදැයි
හඳුන්වා දුන් ආකාරය මෙහිදී වැදගත් වේ.
අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤානං
භාවේ තබ්බඤ්චභාවිතං
පහාතබ්බං පහීනං මේ
තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ
බ්‍රාහ්මණය, මා විසින් මනාව දත යුතු දෙය මනාව දන්නා ලද්දේ ය. වැඩිය යුතු දෙය වඩන
ලද්දේ ය. පහ කළ යුතු දේ පහ කරන ලද්දේ ය. එහෙයින් මම බුද්ධ නම් වෙමි.
මෙම අදහස ම තවදුරටත් ගාම්භීර වශයෙන් දක්වමින් සම්මා සම්බුද්ධ ගුණය ගෙන හැර දක්වා
ඇත. ඒ අනුව පාඨයේ පළමු කරුණ ලෙස දක්වා ඇත්තේ ලෝකයේ දැන ගත යුතු ඉහළම, උසස්ම කාරණය
වන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත් බව මෙයින් අදහස් වේ.
දුක්ඛ, සමුද, නිරෝධ, මාර්ග සංඛ්‍යාත චතුරාර්ය සත්‍යය තමාගේ නුවණින් අවබෝධ කර ගත්
හෙයින් සම්මා සම්බුද්ධ නම් වන බව කියැවේ. දෙවැනි කරුණින් පරිඤ්ඤෙය්‍ය වශයෙන් ම එම
චතුරාර්ය සත්‍ය ධර්මයම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගත් බව කියැවේ. තුන්වෙනි
කරුණින් පහාතබ්බ වශයෙන් දුරු කළ යුතු ලෝභ දෝෂ මෝහාදී අකුසල සංඛ්‍යාත සියලු පාප
ධර්මයන් සහිත සවාසනා සකල ක්ලේෂයන් මුලිනුපුටා දැමීමෙන් භවක්ෂය කළ බව කියැවෙයි.
සිවුවෙනි කරුණින් සච්ඡිකාතබ්බ යනුවෙන් සාක්ෂාත් කළ බව කියවෙයි. සිවුවෙනි කරුණින්
සච්ඡිකාතබ්බ යනුවෙන් සාක්ෂාත් කළ යුතු සියලු ධර්මයන් සාක්ෂාත් කළ බවයි. සාරාසංඛ්‍ය
කල්ප ලක්ෂයක් මුළුල්ලේහි උන්වහන්සේගේ පරමාර්ථය වූයේ නිවන සාක්ෂාත් කර ගැනීමයි. එම
උතුම් පරමාර්ථය සාක්ෂාත් කර ගන්නා තුරු නොපසුබට වීර්යයෙන් හා අධිෂ්ඨානයෙන් එම
අරමුණෙහි යෙදුනහ.
අවසාන ආත්මයේදීත් සය අවුරුදු දුෂ්කර ක්‍රියා කොට දෙවනුව මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ
ගමන් කොට බෝමැඩ මුලදී චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව නොනැඟිටින අධිෂ්ඨානයෙන්
යුතුව වැඩහුන්නේ මේසා දීර්ඝ කාලයක් අරමුණූ කර ගත් අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම පිණිස
ය. ඒ අනුව බුද්ධත්වයට පත් වීමෙන් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමෙන් ලබන ලද
පී‍්‍රතිය අනේක ජාති සංසාරං යන පී‍්‍රති වාක්‍යයෙන් පැහැදිලි වේ.
පස්වනුව භාවේ තබ්බපානං ධම්මානං වශයෙන් වැඩිය යුතු ධර්මයන් මනාව වැඩූ නිසා සම්මා
සම්බුද්ධ වන බව කියැවේ. එහි වැඩිය යුතු ධර්ම වශයෙන් ගත් කල ආර්ය අෂ්ඨාංගික මාර්ගය
නම් වු මධ්‍යම ප්‍රතිපදාව ශීල, සමාධී, ප්‍රඥා වශයෙන් වර්ධනය කළ යුතු බවත්, සිත
කෙලෙසුන්ගෙන් ආරක්ෂා කර ගෙන සර්වඥතා ඥානය දක්වා වර්ධනය කළ බවත් පැහැදිලි වේ.
මෙසේ සම්මා සම්බුද්ධ ගුණය තුළින් අවධාරණය කෙරෙන්නේ ස්වයංභූඥානයෙන් සකල ඥෙය්‍ය
මණ්ඩලය ම අතැඹුලක් සේ දැන වදාළ බවයි. තවදුරටත් සම්බුද්ධත්වය මෙසේ විස්තර වේ.
කතමෝච පුග්ගලෝ සම්මා සම්බුද්ධෝ
ඉධෙකච්චෝ පුග්ගලෝ පුබ්බෝ
අනනුස්සුතේසු
ධම්මමෙස සාමං සච්චාති
අභිසම්බුජ්ඣති තත්ථච
සබ්බාඤ්ඤුතං පාපුණාති
මෙයින් කියැවෙන්නේ පෙර නොඇසූ විරූ ධර්මය කෙරෙහි අවබෝධය ලබා සියල්ල දැනීමේ නුවණින්
හෙවත් සර්වඥාතා ඥානයට පැමිණෙන්නේ ද ඒ සම්මා සම්බුද්ධ කෙනෙකි.
එසේම, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා
උදපාදි ආලෝකො උදපාදි යනුවෙන් පෙර නො ඇසූ ධර්මය කෙරෙහි නුවණැස පහළ වූ බවත් ප්‍රඥාව ම
පස් ආකාරයකින් මෙහි දක්වා තිබීමෙන් සර්වඥතා ඥානයත් සමඟ ලැබු ප්‍රඥා මහිමය හිතාගත
හැකි ය. නුවණැස, ඥානය, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය යන පස් ආකාරයෙන් ම දක්වා ඇත්තේ
සර්වඥතා ඥානයේ ගාම්භීරත්වයයි.
විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා තීහි විජ්ජාහි සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිද්‍යාවෙන් සමන්විත හෙයින් විජ්ජාචරණ සම්පන්න වන සේක.
සෝ භගවා අට්ඨභී විජ්ජාහී සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ අෂ්ට විද්‍යාවෙන් සමන්විත හෙයින් විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා පණ්නරසහී චරණ ධම්මෙහි සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත හෙයින් විජ්ජාචරණ සම්පන්න වන
සේක.
මෙහි ප්‍රධාන අංක දෙකක් වේ.
බුදුරජාණන් වහන්සේ සියලු විද්‍යාවන් දත් සේක.
බුදුරජාණන් වහන්සේ චරණ ධර්මයන්ගෙන් සම්පූර්ණ වූ සේක.
ඒ අනුව විජ්ජා හෙවත් විද්‍යා යනු දැනුමයි. එනම් ත්‍රිවිද්‍යා හා අෂ්ඨ විද්‍යාවන්
පිළිබඳ දැනුම ප්‍රධාන වේ.
ත්‍රිවිද්‍යා යනු
පුබ්බේ නිවාසානුස්සති ඥානය
(පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ)
දිබ්බචක්ඛු ඥානය (දිවැස්)
ආශ්‍රවක්ෂය ඥානය (කෙලෙස් නැසීම)
අෂ්ට විද්‍යා
1. විදර්ශනා ඥානය 2. මනෝමය ඍද්ධි ඥානය 3. ඍද්ධි විධ ඥානය 4. දිව්‍ය ශ්‍රෝත ඥානය 5.
පරචින්තන ඥානය 6.පූර්වේ නිවාසානුස්මෘති ඥානය 7. දිව්‍යං චක්ෂුරභිඥාව 8. ආශවක්ෂයකර
ඥානය
පසළොස්චරණ ධර්ම
1. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය 2. ඉන්ද්‍රිය සංවර ශීලය 3. භෝජනයෙහි මාත්‍රඥතාව 4.
ජාගරියානුයෝගය 5. ශ්‍රද්ධාව 6.හිරිය 7. ඔත්තප්පය 8. බහුශ්‍රැතභාවය 9. පරාක්‍රමය
(විරිය) 10. සතිය 11. ප්‍රඥාව 12. ප්‍රථම ධ්‍යානය 13. ද්විතීය ධ්‍යානය 14. ප්‍රථම
ධ්‍යානය 15.චතුර්ථ ධ්‍යානය
සුගතෝ
සෝ භගවා සුගතත්තා ඉතිපි සුගතෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ සුන්දර වචන හෙයින් සුගත වන සේක.
සෝ භගවා සුගතත්තා ඉතිපි සුගතෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ සෝභන රූපකාය ඇති හෙයින් සුගත නම් වන සේක.
සෝ භගවා සෝභන ගමනත්තා ඉතිපි සුගතෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ සෝභන ගමන් ඇති හෙයින් සුගත වන සේක.
සෝ භගවා සුන්දරං ඨානං ගතත්තා ඉතිපි සුගතෝ
ඒ භාග්‍යවතුන් වහ්නසේ සුන්දර වූ ස්ථානය නම් වූ නිවනට පත් වූ හෙයින් සුගත නම් වන
සේක.
මෙම කරුණු අනුව බුදුරජාණන් වහන්සේ සුගත නමින් හැඳින්වීමට කරුණු 4ක් යොදාගෙන ඇත.
සුන්දර යහපත් වචන ඇති බව ඉන් එකකි.
ලෝකයේ වචන කතා කරන්නවුන් අතරෙන් ශ්‍රේෂ්ඨතම පුද්ගලයා බුදුරජාණන් වහන්සේයි. (යෝ වද
තං පවරෝ මනුජේසු) එමෙන් ම පුප්ඵභාණි, මධුභාණි ආදී වශයෙන් මල් මල් වචන මී පැණි වැනි
වචන කතා කිරීම ද උන්වහන්සේ කිසිවකුගේ හිත රිදෙන ලෙස කඨෝර වචන භාවිත නොකළ බවත්
සැලකිය යුතු ය.
දෙවැනි කරුණ අනුව උන්වහන්සේගේ රූප ශ්‍රීය ඉතා ශෝභමාන ය, දුටුවන් පි‍්‍රය කරන අංග
සම්පූර්ණ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් සමන්විත
හෙයින් ඉතා පිරිපුන් ය.
තුන්වනුව උන්වහන්සේගේ ගමන් විලාශය මනා ශෝභමාන ය. සාමාන්‍ය අය ගමන් කිරීමේ දී අත
පසුපසට විසි කරමින් අමනෝඥ පිළිවෙළට ගමන් කරති. එහෙත් බුදුරජාණන් වහන්සේගේ සන්සුන්
ගමන් ඉන්ද්‍රීය සංවරයෙන් යුක්තව ම සිදු විය. උන් වහන්සේගේ ගමන් විලාශය ඇතකුගේ ගමන්
විලාශයට උපමා කර ඇත. උන්වහන්සේ පාවා නුවර බලා වඩින අවසන් ගමනේ දී විශාලා මහනුවර දෙස
හැරී බැලූ අවස්ථාව ඉතා හැඟීම්බර ය. “නාග ලෝකනං අචලෝකෙත්වා ඉමං පච්ඡිමකං බෝ ආනන්ද
තථාගතස්ස වේසාලියං දස්සනං”
ආනන්දය මේ තථාගතයන් වහන්සේගේ විශාලා මහනුවර දකින අන්තිම අවස්ථාව යැයි පැවසූහ.
මෙහිදී නාගාවලෝකනය ලෙසින් දක්වා තිබෙන්නේ ඇතකු හැරි බැලීමේ දි මුළු කඳම හරවා බැලිය
යුතු ය. බුදුරජාණන් වහන්සේ ද බෙල්ල හරවා නොබලා මුළු සිරුරම හරවා ඒ දෙසට හැරී බැලූ
බව මෙයින් තේරුම් ගත යුතු ය.
සිවුවැනි කරුණ අනුව සුන්දර ස්ථානයට ගමන් කළ හෙයින් සුගත නම් වන බව දැක්වෙයි. සුන්දර
ස්ථානය නම් නිවනයි. නිවන් පුරය දක්වා ගමන් කළ යන අරුතින් මෙසේ දක්වා තිබේ.
ලෝක විදූ
සෝ භගවා සත්ත ලෝකස්ස සභාවතෝ සමුදයතෝ නිරෝධතෝ නිරෝධුපායතෝ විදිතත්ත ඉතිපි ලෝකවිදූ
ඒ භාග්‍යවතුන් වහන්සේ සත්ව ලෝකය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සත්‍ය වශයෙන් දත් හෙයින්
ලෝක විදූ වන සේක.
සෝභගවා ඕකාස ලෝකස්ස සභාවතෝ සමුදයතෝ නිරෝධතෝ නිරෝධුපායතෝ විදිතත්ත ඉතිපි ලෝකවිදූ
ඒ භාග්‍යවතුන් වහන්සේ අවකාශ ලෝකය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සත්‍ය වශයෙන් ද දත්
හෙයින් ලෝක විදූ වන සේක.
සෝ භගවා සංඛාර ලෝකස්ස සභාවතෝ සමුදයතෝ නිරෝධතෝ නිරෝධුපායතෝ විදිතත්තා ඉතිපි ලෝක විදූ
ඒ භාග්‍යවතුන් වහන්සේ සංස්කාර ලෝකය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සත්‍ය වශයෙන් දත්
හෙයින් ලෝක විදූ වන සේක.
සෝ භගවා සබ්බථා විදිත ලෝකත්ත ඉතිපි ලෝක විදූ
ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ආකාරයෙන් දක්නා ලද ලෝක ඇති හෙයින් ලෝක විදූ වන සේක.
ලෝක විදූ යන වචන දෙකේ අදහස ලෝකය දැනගත් බවයි. එම දැන ගැනීම සාමාන්‍ය වශයෙන් දැන
ගැනීමක් නොව එහි ස්වභාවය, හට ගැනීම, නැතිවීම සහ නැතිවන ආකාරය තත්වාකාරයෙන් දැන
ගැනීමයි.
1. සත්ත්ව ලෝකය 2. අවකාශ ලෝකය 3. සංස්කාර ලෝකය
සත්ත්ව ලෝක යනු ලෝකයේ මිනිසා ඇතුළු සියලු ම සත්ව සමූහයයි.
සත්ත්වයන් හැර ගස්, ගල්, පර්වත ආදී සෙසු ද්‍රව්‍ය ලෝකය අවකාශ ලෝකය ලෙස ද, රූප වේදනා
සඤ්ඤා සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය ලෝකය ලෙස ද මෙහි දක්වා තිබේ.
ලෝක පිළිබඳ විග්‍රහය ඉතා දීර්ඝ වන්නක් වන බැවින් මෙහිදී කෙටියෙන් සඳහන් කරනු ලැබේ.
|